Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රේෂ්ඨ රණවිරුවන් පටු අරමුණු වෙනුවෙන් භාවිත නොකරන්න

පටු අරමුණු සහ පුද්ගලික න්‍යාය පත්‍රයන් සඳහා ශ්‍රේෂ්ඨ රණවිරුවන් භාවිත නොකළ යුතු බවත්, ආවේගශීලී හා සමාජ විරෝධී ක්‍රියාවන් ගෙන් තොරව රණවිරුවන්ට කෘතගුණ සැලකිය යුතුබවත් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එහි මෙසේද සඳහන්වේ.

ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර ඩයස්පෝරාවේද සහය ඇතිව ත්‍රස්තවාදී ක්‍රියාදාමයකට දැඩිව අවතීර්ණව සිටි එල්ටිටිඊ සංවිධානය පරාජය කරමින්, මිනිස් පළිහක් ලෙස භාවිත කළ ලක්‍ෂ සංඛ්‍යාත වු අහිංසක දමිළ වැසියන් ඉන් මුදවාගැනීමට යුද, නාවික සහ ගුවන් හමුදාවන්හි අප්‍රතිහත කැපවීම, ධෛර්යය සහ මනා සැලසුම් සහගතභාවය හේතුකොටගෙන හැකියාව ලැබුණි. ඒ අනුව ත්‍රස්ත ග්‍රහණයට නතුව තිබු අන්තිම බිම් අඟලත් වර්ෂ 2009 මැයි මස 19 වන දින මුදවාගැනීමත් සමගම ත්‍රස්තවාදය ලංකාද්වීපයෙන්ම මුලිනුපුටා දමනු ලැබීය. මේ සදහා ශ්‍රී ලංකා පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක බළකායේද අනුපමේය වු දායකත්වය හිමි වු බව මෙහිදී සිහිපත් කළ යුතුමය.

සියලු ලක්වාසීන් වර්තමානයේ භුක්තිවිදින නිදහස වෙනුවෙන් යුද්ධ හමුදාවේ 23962 ක් ද, නාවික හමුදාවේ 1160 ක් ද, ගුවන් හමුදාවේ 443 ක් ද වශයෙන් වු ත්‍රිවිධ හමුදාවේ වීරෝධාර භටපිරිස් විශාල ප්‍රමාණයක් පමණක් නොව, ශ්‍රී ලංකා පොලීසියේ 2568 ක පිරිසක් සහ සිවිල් ආරක්‍ෂක බළකායේ 456 සාමාජිකයන් පිරිසක් ද අප මාතෘ භුමිය වෙනුවෙන් සටන් වැද දිවි පුදා ඇත. ඔවුන් සියලුදෙනා අපගේ අද දවස වෙනුවෙන් ඔවුන්ගේ හෙට දවස කැපකරනු ලැබුයේ ශ්‍රී ලංකාද්වීපයේ ස්වෛරීභාවයත්, භෞමික අඛණ්ඩතාව සහ ඒකීයභාවය සුරක්‍ෂිත කිරීම සඳහාය.

ත්‍රස්තවාදය මුලිනුපුටා දමා 2018 මැයි මස 19 දින වන විට වසර 09 ක් ගතවී හමාරය. ලැබු නිදහස භුක්තිවිඳිය යුත්තේ ඒ පිළිබඳ පුරසාරම් දෙඩවීමෙන්වත්, වඩ වඩාත් උදම් වැනීමෙන්වත් නොවන බව මා තරයේ විශ්වාස කරන අතර, එය සැමරිය යුත්තේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිමේදී මිය ගිය ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්‍ෂක බළකා සාමාජිකයන් සහ සිවිල් ජනතාව වෙනුවෙන් කෘතගුණ සැලකීමෙන්ය. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළයුතු කරුණක් වන්නේ පටු අරමුණු සහ පුද්ගලික න්‍යාය පත්‍රයන් සඳහා ශ්‍රේෂ්ඨ රණවිරුවන් භාවිත නොකළ යුතු බවත්, ආවේගශීලී හා සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා ඔවුන් පෙළඹවීම්, අනුබලදීම් නොකළ යුතු බවත්ය.

පුරා තිස් වසරක් මුළුල්ලේ අප සියලුදෙනාගේම අනාගතය නිර්මාණය කරනු පිණිස අභීත රණවිරුවෝ රැසක් සිය වටිනා ජිවිත, දහදිය මහන්සිය පුජා කරන ලදී. ඔවුන් විසින් එදා සිය අවසන් හුස්ම පොද හිස් වා තලයට මුදා හරින ලද්දේ මේ දිවයිනේ සදාතනික සාමය හා සංහිදියාව සුරැකේවායි ප්‍රාර්ථනා කරමින්ය. නැවත නැවතත්, උපදින කිසිදු ආත්මයකත් ඔවුහු කිසිවිටෙක යළිත් යුද්ධයක්නම් සිහිනෙකින්වත් බලාපොරොත්තු නොවන්නට ඇත. එබැවින් අප විසින් සිදුකළ යුත්තේ ඔවුන් එදා බලාපොරොත්තු වු ආකාරයෙන් කිසිදා යළිත් මෙරට තුළ යුද්ධයක් ඇතිවීම සඳහා ඉඩහසර ඇති නොවන අයුරින් බුද්ධිමත්ව කටයුතු කිරිමයි. දිනාගත් නිදහස එලෙසින්ම අනාගත පරපුර උදෙසාද රැගෙන යාමට කැපවීමෙන් යුතුව ක්‍රියා කිරීමයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();