Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොල්අතුමෝදර පාලම විවෘතයේදී කලහකාරීව හැසිරුණු පොජපෙ මන්ත්‍රීවරු දෙදෙනා රිමාන්ඩ්

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති හා මන්ත්‍රීවරුන් පොලීසිය සමග උණුසුම් තත්වයක් ඇතිකරගත් අවස්ථා.

ජපාන සහයෝගීතා අරමුදලේ ආධාර මත ඉදි කළ වැලිගම පොල්අතුමෝදර පාලම පසුගිය 11 දින පෙරවරුවේ විවෘත කිරීමට යෑමේදී කලහකාරීව හැසිරීම නිසා වැලිගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලීසිය පවසයි.

පෙලිසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු දෙදෙනෙකි. අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරු දෙදෙනා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 17 දින දක්වා රක්ෂිත බණ්ධනාගාර ගතකර ඇත.

ව්‍යාපෘති කළමනාකරණ, යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාලම විවෘත කිරීම සදහා කටයුතු කර තිබියදී පෙරවරු නවයයි තිහට පමණ මන්ත්‍රී කණ්ඩායමත් සමග පැමිණි වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කළ එකක් බව පවසමින් පාලමේ සමරු ඵලකය නිරාවරණය කිරීමට යාමේදී පොලීසිය එය වැළැක්වීමට ක්‍රියාකිරීමත් සමග උණසුම් තත්වයක් ඇතිවිය. පොලිසිය පිරිස ඉවත් කිරීමට යාමේදී පොරබැදීම් සහිත කලබලකාරී තත්වයක් ඇතිවූ අතර එහිදී පොලිස් නිලධාරියෙකු තමාට හිරිහැර කළේ යැයි පුෂුපකුමාර බැට්ටගේ මහතා චෝදනා කළේය.

කලබලකාරී තත්වය පොපිසිය මගින් පාලනය කිරීමත් පසු එහි පැමිණි අමාත්‍ය සාගල රත්නායක මහතා ඇතුළු ආරාධිතයෝ පාලම විවෘත කළහ. අනතුරුව මධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ දක්ෂිණ අධිවේගී මාර්ගය මහින්ද රාජපක්ෂ මහතා විවෘත කළා. මහින්ද රාපක්ෂ මහතාගේ කාලයේ ආරම්භ කළ මෙම පාලම සකසා අපි අද විවෘත කළා. තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාව වෙත ලබාදී ඇති නිසා පසුගිය රජය සමයේ පාලමක් විවෘත කරන උත්සවයක් පැවැත්වීමට පවා කෙතරම් මුදලක් වියදම් කර ඇත්ද යන්න ජනතාවට සොයා බැලිය හැකිව තිබෙනවා. වත්මන් රජය පාලම් විවෘත කිරීමට නිස්කාරණයේ මුදල් වැය කරන්නේ නෑ. එම මුදල්ද ජනතාව වෙනුවෙන් වැය කරනවා. රාජපක්ෂ රජය මෙන් කුහක දේශපාලනයක තම රජය නිරත වන්නේ නෑ.

මෙම අවස්ථාවට ජපානයේ මෙරට තානාපති කෙනිචි සුගනමා මහතාද එක්ව සිටි අතර උත්සවයට සමගාමීව ජපාන රජයේ ආධාර මත ඉදි කරන ලද තවත් පාලම් තුනක් නිරීක්ෂණය කිරීමටද අමාත්‍යවරයා ඇතුළු පිරිස එක්වූහ.

ගන්දර සමූහ  

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();