වසර 3කට පසුව ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට සූදානම් වෙයි. හොකී නිලවරණය ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේ පැවැත්වීමට අද හෙටම දින තීරණයවීමට නියමිත අතර නිලවරණ කමිටුව වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව නියෝජිතයන් තිදෙනකු නම් කර ඇත. නිලවරණ කමිටුව වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිතයන් දෙදෙනකු ලබන සදුදා නම් කිරීමට නියමිතය.
ජාතික ඔලිම්පික් කමිටුව නම් කළ නිලවරණ කමිටු සාමාජිකයන් වන්නේ හිටපු ක්‍රිඩා අමාත්‍යාංශ ලේකම්වරු වන එස්. විරිතමුල්ල, එස්. ලියනගමගේ හා ඔලිම්පික් කමිටු ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝෂප් කෙනී යන මහත්වරුන්ය.
2015 වසරේ සිට පැවැත්වීමට නොහැකි වූ ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නිලවරණය සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තෆා මහතා හොකී සම්මේලනයේ අර්බුදකාරී පාර්ශ්ව සමග සාකච්ඡා පවත්වා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් රැගෙන නිලවරණය කඩිනමින් පැවැත්වීමට තීරණය කළේය.
ක්‍රීඩා පනතේ බලතල ප්‍රකාරව අමාත්‍යවරයා විසින් මේ විධානය ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව වෙත ලබාදී ඇති අතර ඒ අනුව ඉක්මණින්ම නිලවරණය පැවැත්වීමේ පසුබිම නිර්මාණයවී ඇත.
නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොණු කොට තිබූ නඩුව එකඟතාවයකට පත්ව ඇති අතර ඒ අනුව නිලවරණය පැවැත්වීම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකයන් තිදෙනෙක් හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් දෙදෙනෙකුගෙන් සමන්විත නිලවරණ කමිටුවක් යටතේ සිදුකළ යුතු බව ක්‍රීඩා ඇමැතිවරයා නියෝග කොට ඇත.
ශ්‍රී ලංකා හොකී සම්මේලනයට නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කර ගැනීම සඳහා නිලවරණයක් කැඳවීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා ගත් තීරණයට එරෙහිව හොකී සංගම් කිහිපයක් ගොනු කළ රිට් පෙත්සමක් හේතුවෙන් නඩුව ගොණුවී තිබිණි.
නිලවරණයක් කැඳවීම නීති විරෝධී යැයි පවසමින් රාජ්‍ය සේවා හොකී සංගමය, කළුතර හොකී සංගමය, ගම්පහ හොකී සංගමය ඇතුළු හොකී සංගම් කිහිපයක් ගොනු කර තිබූ මේ පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නම් කෙරුණි.
හොකී සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට නොහැකි වීමෙන් වසර 3කට ආසන්න කාලයක් මෙරට හොකී සම්මේලනය ක්‍රියාකාරීත්වය අණහිටි අතර පරිපාලන කටයුතු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතට පත්කර තිබිණි.


0 Comments