අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ 32වැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් පිලට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 4ක ජයක් අත්කර ගැනීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.
මේ ජය සමගින් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් (8) ස්ථානයේ සිට ස්ථාන 2ක් ඉදිරියට ඒමට දිල්ලි පිලට හැකිවිය. රාජස්ථාන් පිල 7 වැනි ස්ථානයේ පසුවෙයි. තරග 9කට එක්වූ දිල්ලි පිලට හිමිවූ තෙවැනි ජය මෙයයි.
දිල්ලිහිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි පිල ඕවර 17.1කදී කඩුලු 6ක් දැවී ලකුණු 196ක් රැස්කළ අතර තරගයට වර්ෂාවෙන් බාධාවීම නිසා රාජස්ථාන් පිලට ඕවර 12කදී ලකුණු 151ක ඉලක්කයක් හිමිවිය. එහෙත් ඔවුන්ට ලබාගත හැකිවූයේ කඩුලු 5ක් දැවී ලකුණු 146ක් පමණි.
රාජස්ථාන් පිළිතුරු ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ජොස් බට්ලර් වේගවත් ලකුණු 67ක් රැස්කළේ පන්දු 26ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 4කින් සහ හයේ පහර 7කින් වර්ණවත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් ඩී ආකි ෂෝර්ට් පන්දු 25කින් ලකුණු 47ක් රැස්කරමින් පළමු කඩුල්ලට ලකුණු 82ක සබඳතාවක් පිහිටුවීය. තරගයට වර්ෂාවෙන් බාධාවනවිට රාජස්ථාන් පිල ඕවර 12කදී කඩුලු 5ක් දැවී ලකුණු 146ක් රැස්කරගෙන සිටියේය. පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් දිල්ලි පිල වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිතරවූ රිෂාබ් පාන්ට් පන්දු 29කින් ලකුණු 69ක් රැස්කළේ හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමගිනි. ඔහු නායක ශ්‍රෙයාස් අයියර් සමගින් එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 92ක් එක් කළේය. අයියර් ඉන් පෙර දෙවැනි කඩුල්ලට ප්රිතිව් ෂෝ සමගින් ලකුණු 73ක් එක්කර තිබිණි.
අයියර් පන්දු 35කින් ලකුණු 50ක් සහ ෂෝ පන්දු 25කින් ලකුණු 47ක් ඉනිමට එක් කළහ.
0 Comments