සසිත සියාත්ගේ විශිෂ්ට උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් මහනුවර ත්‍රිත්ව විදුහල් පිල පරාජයේ පතුලටම ඇද දැමූ කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩකයෝ දෙපිල අතර වාර්ෂිකව පැවැත්වෙන බ්‍රැඩ්බි පලිහ තරග ද්විත්වයේ දෙවැනි අදියර ලකුණු 27-19කින් ජයගනිමින් බ්‍රැඩ්බි පලිහ පිට පිට දෙවැනි වරටත් අත්පත් කරගත්හ. මහනුවර පල්ලෙකැලේ පිටියේ පෙරේදා පස්වරුවේ පැවැති මේ තරගයේ ආරම්භයේ සිටම පෙරළිකාර ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ සාබිත් ෆෙරෝස්ගේ නායකත්වයෙන් යුතු රාජකීය විදුහල් පිල තරගය ජයගැනීමත් සමග තරග 2දීම ලකුණු සංඛ්‍යාව 66 දක්වා ඉහළ දමාගනිමින් පසුගිය වසරේ දිනූ පලිහ රැක ගැනීමට සමත්වෙද්දී ත්‍රිත්ව විදුහල් පිල ලැබුවේ සමස්ත ලකුණු 26ක් පමණි. දෙපිල අතර පසුගියදා කොළඹ රාජකීය විදුහල් පිටියේ පැවැති පළමු අදියරේ තරගයේ ජය රාජකීය විදුහල් පිලට හිමිවූයේ ලකුණු 39-7ක් ලෙසිනි.
74 වැනි වරටත් පැවැති බ්‍රැඩ්බි පලිහ තරග ද්විත්වය රාජකීය විදුහල් පිල ජයගත්තේ 33 වැනි වරටය. එහෙත් ත්‍රිත්ව විදුහල් පිල වැඩිම වාරයක් බ්‍රැඩ්බි පලිහට හිමිකම් කී කණ්ඩායම ලෙස තවමත් පෙරමුණේ පසුවන්නේ අවස්ථා 39කදි පළිහ දිනාගනිමිනි.
තරගයේ 15 වැනි මිනිත්තුවේදී සිය පළමු උත්සාහක දිනුම තැබූ සසිත සියාත් අනතුරුව පළමු භාගය නිමාවීමට මිනිත්තු 4කට පෙර සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ අතර දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තුවකට පසුව තුන්වැනි උත්සාහක දිනුමත් තබමින් රාජකීය විදුහල් පිල ඉහළට ඔසවා තැබුවේය.
ඔහුගේ මේ විස්මිත දස්කම් නිසා පළමු භාගය නිමාවෙද්දී ලකුණු 13-5කින් පෙරමුණ ගත් රාජකීය විදුහල් පිල තරගය පුරා උත්සාහක දිනුම් 4ක් තැබීමට සමත්වූ අතර ඉන් දෙකක් ගෝල බවට පත් කිරීමට දුලාන් ගුණවර්ධන සහ මලීෂ පෙරේරා සමත්විය. රාජකීය විදුහල් පිල වාර්තා කළ දඬුවම් පහරට හිමිකම් කියනු ලැබුවේ දුලාන් ගුණවර්ධන විසිනි.
ත්‍රිත්ව විදුහල් පිල උත්සාහක දිනුම් 3ක් තැබූ අතර ඉන් දෙකක් ගෝල බවට පත්කිරීමට අකිත සකලසූරිය සමත් විය. ත්‍රිත්ව විදුහල් පිල වෙනුවෙන් ප්‍රවීන් විජේතිලක උත්සාහක දිනුම් 2ක් ද, විශ්ව රණරාජා උත්සාහක දිනුමක් ද තැබූහ.
අවසන් භාගයේදී පිට පිට උත්සාහක දිනුම් 2ක් තබමින් නැවත තරගයට අවතීර්ණ වූ ත්‍රිත්ව විදුහල් පිල 65 වැනි මිනිත්තුව වෙද්දී පසුපසින් සිටියේ රාජකීය විදුහල් පිලට වඩා එක් ලකුණක් පසුපසිනි. එහෙත් තරගය නිමාවීමට මිනිත්තු කිහිපයකට පෙර රාජකීය විදුහල් පිලේ උපනායක මලීෂ මධුමෙවන් තැබූ අනගි උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළ මලීෂ පෙරේරා සිය කණ්ඩායමේ ජයග්‍රහණය පමණක් නොව බ්‍රැඩ්බි පලිහේ හිමිකාරීත්වයත් තහවුරු කර දුන්නේය.
0 Comments