Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අන්තර් සමාජ සත් සාමාජික රග්බි ජූනි 2 සහ 3 තුරඟ තරග පිටියේදී

Author(s): 
ෆවුස් මොහොමඩ්

වසරේ අන්තර් සමාජ රග්බි තරගවාරය ආරම්භ කරමින් අන්තර් සමාජ පළමුපෙළ සත් සාමාජික රග්බි තරගාවලිය ලබන ජූනි මස 2 සහ 3 දෙදින කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙයි.

සුපිරි ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා සමාජ අතර හුවමාරුවීම් මේ දිනවල සිදුකෙරෙන අතර දස්කම් සපිරි විශිෂ්ට ක්‍රීඩකයන් තම ක්‍රීඩා සමාජයට එක් කරගැනීමේ සටන දැන් ඇරැඹී තිබේ.

ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලිය සහ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය ලබන අගෝස්තුවේ සහ සැප්තැම්බර් මස පැවැත්වෙන බැවින් මෙවර අන්තර් සමාජ පළමුපෙළ සත් සාමාජික රග්බි තරගාවලිය වේලාසනින් පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය පියවර ගෙන ඇත.

සත් සාමාජික පළමුපෙළ තරගාවලිය ජූනි මාසයේදිත්, දෙවැනි පෙළ තරගාවලිය ජූලි මාසයේදිත් පැවැත්වීමට නියමිතය.

පසුගිය වසරේදී නාවික හමුදා රග්බි කණ්ඩායම වෙතින් ක්‍රීඩකයන් රැසක් තම ක්‍රීඩා සමාජයට අත්පත් කරගත් සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය මෙවර හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ තවත් සුපිරි ක්‍රීඩකයන් රැසක් තම කණ්ඩායමට එක් කරගෙන ඇත. මීට අමතරව සී.ආර්.ඇන්ඩ් එෆ්.සී, ක්‍රීඩා සමාජයත් හැව්ලොක්ස් පිලේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් තම කණ්ඩායමට බඳවා ගෙන තිබේ.

ජාතික සත් සාමාජික රග්බි පිලේ සාමාජිකයන් වන කෙවින් ඩික්සන්, හිරන්ත පෙරේරා සහ සුදම් සූරියආරච්චි මෙවර තරගවාරයේදී හැව්ලොක්ස් පිල හැරයාමට නියමිතය. හිරන්ත සහ සුදම් සී.එච්.පිලටත්, කෙවින් ඩික්සන් සී.ආර්.පිලටත් ක්‍රීඩා කරනු ඇත. මිට අමතරව නාවික හමුදා පිලේ දුලාංජන විජේසිංහ සහ ඉසිපතන විදුහල් පිලෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩක සුමුදු රන්කොත්ගේ ද සී.ආර්.පිලට එක්වීමට නියමිතය. පසුගිය වසරේදී මේ තරගාවලියට එක් නොවූ මහනුවර ක්‍රීඩා සමාජය මෙවර රිචඩ් ධර්මපාලගේ නායකත්වයෙන් තරගබිමට පිවිසෙන අතර කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස මෑතකදී ක්‍රීඩාවෙන් සමුගත් ජාතික කණ්ඩායමේ හිටපු නායක සහ මහනුවර පිලේ හිටපු නායක ෆාසිල් මරිජා සහ හිටපු ක්‍රීඩක සාලිය කුමාර පත් කර තිබේ.

පසුගිය වසරේදී නාවික හමුදා පිල අන්තර් සමාජ පළමුපෙළ සත් සාමාජික රග්බි කිරුළට හිමිකම් කී අතර සී.ආර්.පිල අනුශූරයෝ බවට පත්වූහ. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();