ජාතික හා ආගමික සමගිය, රට පිළිබඳ හැඟිම, පරාර්ථකාමීත්වය, විනය ඇතුළු යහපත් ගුණාංගයන් දරුවන් තුළ ජනිත කරවීම සඳහා පාසල් හා ආගමික ස්ථාන ගැන විශේෂ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කෙළේය.
කතානායක කරූ ජයසූරිය මහතා මේ බව සඳහන් කෙළේ ශ්‍රි ලංකාවේ ආගමික සහ ජාතික සහජීවනය තහවුරු කිරීම සඳහා වූ පාර්ලිමේන්තු කමිටුවේ රැස්වීම අමතමිනි.
ත්‍රෛයිනික මහනායක හිමිවරුන් , හින්දු , ස්ලාම්, කිතුණු පූජකවරුන්, මැති ඇමැතිවරුන්,පොලිස් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික සහ ජාතික සහජීවනය තහවුරු කිරීම සඳහා වූ පාර්ලිමේන්තු කමිටුවේ රැස්වීම පැවැත් විණ.
එහිදි අදහස් දැක්වූ කතානායක කරූ ජයසූරිය මහතා වැඩිදුරටත් මෙසේද පැවසිය.
අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන සර්ව ආගමික, සර්ව පාක්ෂික සමුළුව ඓතිහාසික ගමනකට, දේශයේ අභිවෘද්ධියට මග පෑදෙන බීජයක් වේවායි ඉත සිතින් පතනවා. රටක යහ පැවැත්ම සඳහා ජාතික හා ආගමික සහජීවනය මෙන්ම විනය ද ඉතා වැදගත් . විනය නොමැති සෑම ක්ෂේත්‍රයකම පිරිහීම නොවැළැක්විය හැකියි.
පසුගිය දිනවල මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ අමිහිරි සිදුවීම් වලට හය හතර නොදත් නව යොවුන් තරුණ පිරිස් වැඩි වශයෙන් මැදිහත්ව ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.යුද්ධයේ භයානක අත්දැකීම් පිළිබඳව මෙන්ම නිදහස උදෙසා එකම ජාතියක් ලෙස සිංහල, දෙමළ ,මුස්ලිම් ජනතාව එක්ව සටන් කළ ආකාරය පිළිබඳව නව යොවුන් තරුණයින් දැනුවත් නම් මෙවැනි ගැටුම්වලට මැදිහත් වන්නේ නෑ.පසුගිය මාසයේ අම්පාරේත්, ඉන් පසුව මාර්තු මස නුවරත් ඇති වූ අවාසනාවන්ත සිද්ධීන් නිසා අපේ රටටත්, අපගේ ආර්ථිකයටත් විශාල හානියක් සිදු වුණා. එමෙන්ම, ලෝකයාගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වී සිටි අප රටේ කීර්තිනාමයටත් එයින් විශාල අවැඩක් සිදු වූවා.එමෙන්ම එම සිද්ධියෙන් පසු රටේ ඇතිවූ ජනතා කම්පනය අපව මෙවන් මගකට යොමු කිරීමට හැකිවීම සුභවාදී පියවරක් ලෙස අපි දකිනවා.
මෙයින් වඩාත් කැපී පෙනෙන සිද්ධිය වශයෙන් අපි දකින්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ ප්‍රධානීන්, මෙම මහා ජාතික ව්‍යසනය දුරු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම අත්‍යවශ්‍ය කාරණයක් ලෙස අවධාරණය කරමින් අදහස් ප්‍රකාශ කිරීමයි. එම අරමුණින් යුතුව නිවැරදිව ක්‍රියා කළහොත් එය රටේ අභිවෘද්ධියට වටිනා පිටිවහලක් වෙනු නොඅනුමානයි.
මෙම ජාතික ඉල්ලීමට කන්දෙමින් සර්ව පාක්ෂික නියෝජිත පිරිසක් මාර්තු 10 වැනි සෙනසුරාදා මහනුවරට ගියා. පළමුවෙන්ම නියෝජිත පිරිස මල්වතු මහ නාහිමියන් බැහැ දැක උන්වහන්සේගේ උපදෙස් ලබාගත් අතර, එම මගපෙන්වීම අතිශයින් වැදගත් වුණා. පසුව ගියේ අස්ගිරි මහා විහාරයටයි. එහිදී විදේශගතව සිටි මහනාහිමිපාණන් වෙනුවෙන් ගෞරවනීය අනුනායක හිමිපාණන්, මහා ලේඛකාධිකාරී හිමිපාණන් ප්‍රමුඛ අස්ගිරි සංඝ සභාවේ පූර්ණ ආශිර්වාදය අපට ලැබුණා. මෙය ජාතික ව්‍යාප්තියක් වශයෙන් නොනවත්වාම ඉදිරියට ගෙන යන ලෙස උන්වහන්සේලාගෙන් අපට ලැබුණු උපදේශය විශාල ශක්තියක් වුණා. ඉන්පසු අප හමුවූ මුස්ලිම් හා හින්දු ආගමික නායකයන් හා කතෝලික ක්‍රිස්තියානි ආගමික නායකයින් දේශපාලන බේදයෙන් තොරව මෙම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන ලෙස අපව දැඩි ලෙස දිරිමත් කළා.අද පාර්ලිමේන්තුවේ ආරම්භ වන මෙම සම්මේලනය පැවැත්වෙනුයේ එම ජාතික ඉල්ලීමට කන්දීමක් වශයෙන් බව ගෞරවයෙන් සිහි කිරීමට කැමතියි.
අද මෙම අති සම්භාවනීය සභාවට දේශයට මුහුණ දීමට සිදුවන අභියෝග රාශියක් ගැන අවධානය යොමු කිරීමට අදහස් කරනවා.අපගේ පළමුවැනි උත්සාහය විය යුත්තේ අද අප හමුවේ ඇති ජාතික ගැටලු වහාම අප විසින් විසඳීමට කටයුතු කිරීමයි. එය තරුණ පරපුරට හෝ නූපන් පරපුරට පවරා යෑම ජාතික අපරාධයක්. මෙම ආයාචනය අප විසින් රාජ්‍ය නායකයින්ට, හිටපු නායකයින්ට, විපක්ෂ ප්‍රධානීන්ට ඉදිරිපත් කර ඇත. ඔවුනගේ දරුවන්ට හෝ මුණුබුරු මිණිබිරියන්ට මෙම ගැටලුව අප විසින් නොවිසඳා, රටට බාර දෙන්නේ නම් එය බරපතළ අසාධාරණයක් ලෙස දකිනවා.මෙම උත්තරීතර සම්මේලනයේදී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට කැමතියි.
ජාතීන් අතර සමගිය ඇති කිරීම ප්‍රධාන කාර්යයක් වශයෙන් දකිනවා. ජාතීන් වශයෙන් බෙදුනු රටක් සෑම විටම පිරිහෙනවා.එවැනි රටකට අනාගතයක් නැත. ලෝකයේ දියුණු වූ සෑම රටක්ම එම ස්ථාවරය ලබා ගත්තේ එම ජාතික සමගිය උපදවමිනි.
විනය ඇති නිවෙසක්, ගමක්, නගරයක්, ප්‍රදේශයක්, රටක් දියුණු වෙනවා. එසේ නොවූ විට පිරිහීම ඇති වෙනවා.වේලාවට වැඩ නොකිරීම ලාංකික ජනතාවගේ දුර්වලකමකි. අප මෙම දුර්වලකම වහා දුරු කළ යුතු වේ.මෙම ආදර්ශය ඉහළින් ලැබුණොත් එය නිතැතින්ම පහළට යැවෙනු ඇත.
ප්‍රජා අයිතිය රැකදීම අනිවාර්යයෙන් සිදුවිය යුතුයි.මෙය මූලික මිනිස් අයිතිය ඉක්මවූ අයිතියකි. ප්‍රජා අයිතිය යනු ඡන්දය දීමේ අයිතිය පමණක් නොව, රටේ සෑම පුරවැසියකුටම රජය සපයන සෞඛ්‍ය පහසුකම්, ගමනාගමන පහසුකම්, අධ්‍යාපන පහසුකම්, ජලය, විදුලිය ආදිය ලබාගැනීම් සඳහා ඇති අයිතිය ලෙස අප දකිනවා. ජනතාව මෙම සේවාවන් සඳහා දුප්පත් පොහොසත් භේදයකින් තොරව තමන් උපයන මුදලින් බදු ගෙවනවා. අද අසරණ ජනතාවට සමහර පුද්ගලයින්ගේ අදූරදර්ශී ක්‍රියාදාමය නිසා මෙම අයිතින් ලැබෙන්නේ නැහැ. ඒ හේතුවෙන් ඔවුන්ට අසීමිත දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවූ අවස්ථා බොහෝයි. මේ තුළින් අසරණ වන්නේ ධනවතුන් නොවෙයි. නැති බැරි අහිංසක මිනිසුන්ය.
වෛද්‍ය වර්ජන නිසා අසරණ ජනතාවට ඇතිවන පීඩාව හා ජීවිත හානි අති මහත්ය. දැනුම් නොදී කරන වර්ජන නිසා ජනතාවට, පාසල් දරුවන්ට ඇති වන පීඩනය සුළුපටු නොවේ. මෙම සිද්ධීන් අප දකින්නේ මිනිසා විසින් මිනිසාගෙන් පලිගැනීමක් ලෙසයි. ලෝකයේ වැඩිම විරෝධතා ඇති රටක් වශයෙන් ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත. කිසිම වැදගත්කමක් නොමැති කරුණු කීපයක් මුල් කරගෙන කීප දෙනෙකුට අද පාර මැද ටයර් පුච්චමින් සම්පූර්ණ ගමනාගමනය පැය ගණනකට බාධා කළ හැකියි. අප එය දැන් දකින අලුත් රටාවකි. එවැනි සිදුවීම් මහා පරිමාණ ලෙස හුවා දැක්වීමට සූදානම් ජාත්‍යන්තර මාධ්‍යය පැය ගණනක් තුළ ලෝකයටම එම කරුණු අනාවරණය කිරීම නිසා අපේ රට වියවුල් සහගත රටක් ලෙස ලෝකය පුරාම ප්‍රචලිත වෙනවා. එවැනි රටකට සංචාරකයෝ පැමිණේද ? ආයෝජකයෝ පැමිණේද ? මෙය අප වහා නිම කළ යුතු පිළිලයක්.
අද රටක් වශයෙන් ආර්ථිකය විශාල වශයෙන් පසුබා ඇත. එයට හේතුව අපේ රටේ ඇති වූ ජාති ආගම් හා දේශපාලන භේද නිසයි.අප නිදහස ලබන විට ජපානයත් අප රටත් අතර දළ ජාතික ආදායමේ වෙනස එක් ඩොලරයක් පමණි. අද වෙනස ගව් ගණනින්.ලෝකයේ වැඩිම නිවාඩු ඇත්තේ අපේ රටේ. ලෝකයේ විශාලතම රාජ්‍ය සේවය ඇත්තේ අපේ රටේ.
මෙම කරුණු පිළිබඳව අපෙන් පසුව මෙම රට භාර ගන්නා පරම්පරාව තුළ හැඟීමක් ජනිත කිරීමේ පදනම මෙතැනින් ඇති කළ හැකි යැයි මා දැඩිව විශ්වාස කරනවා. ජාතික ආගමික සමගිය, රට පිළිබඳ හැඟිම, පරාර්ථකාමීත්වය, විනය, මනුෂ්‍යත්වය මේ සියල්ල අධ්‍යාපනික, ආගමික සංස්ථාවන් තුළින් දරුවන් තුළ ජනිත කරවීම සඳහා විශේෂ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන් පසුගිය දිනවල ඇතිවූ අමිහිරි සිදුවීම්වලට හය හතර නොදත් නව යොවුන් තරුණයන් විශාල ලෙස මැදිහත් වී ඇති බවට තොරතුරු ලැබුණා. ඔවුන් යුද්ධයක භයානක අත්දැකීම් හරියට දන්නේ නැහැ. ඉතිහාසයේ අප නිදහස උදෙසා එකම ජාතියක් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එක්ව සටන් කළ ආකාරය පිළිබඳව දන්නේ නැහැ. ඔවුන් ගැටුම් වලට මැදහත් වන්නේ අනවබෝධය නිසයි.
අද ඔබ වහන්සේලා වෙත ගෙනහැර දැක්වූයේ පාර්ලිමේන්තුව තුළින් අපි දකින රටේ දැවෙන ගැටලු රාශියකි. මේවා දියවන්නාවෙන් පමණක් විසඳිය නොහැකි අති විශාල ජාතික අභියෝග රැසකි.රට හා ජනතාව වෙනුවෙන් මෙම දැවෙන ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කොට රටට සෙතක් සැලසීමට පෙරමුණ ගන්නා ලෙස ඔබ වහන්සේලාට ආයාචනා කරනවා.
ජාතික සංවාද, රාජ්‍ය භාෂා , හා ආගමික සහජීවන ඇමැති මනෝ ගනේෂන් මහතා- අපේ පාසල් පද්ධතිය වැඩි වශයෙන් ජාතීන් වශයෙන් බෙදී වෙන්වන ආකාරයටයි පවත්වාගෙන යන්නේ.කුඩා කළ සිටපු ජාතීන් වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් පාසල් වශයෙන් බෙදී වෙන් වී අධ්‍යාපනය ලබනවා. වැඩිහිටි තත්ත්වයට පත්වන විට ජාතීන් ලෙස එකට ජීවත් වන්නට කතා කරනවා. කුඩා කළ සිට බෙදී වෙන්වී ජීවත්වී ජාතීන් වශයෙන් එකට ජීවත් වීම යථාර්ථයක් බවට පත්කරන්නේ කොහොමද. ඒ නිසා සියළු ජාතීන් එකට ජීවත් වන ප්‍රදේශවල පාසල් වල සියළු ජාතීන්ට අයත් දරුවන්ට අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා.
සියළු ජාතීන්වල දරුවන් එකම වහලක් යට එකට අධ්‍යාපනය ලැබිය යුතුයි.එවිටයි කුඩා කළ සිටම ජාතීන් අතර සමඟිය , සහජීවනය ගොඩ නැඟෙන්නේ. කොළඹ රාජකීය පාසල තුළ සියළු ජාතීන්ට අයත් දරුවන් එකට අධ්‍යාපනය ලබනවා. ඒ නිසා අනෙකුත් ජාතීන්ට අයත් පන්ති ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා මම අධ්‍යාපන ඇමැතිවරයා සමඟ කතා කළා. නමුත් එතුමා එයට එතරම් යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ.ආගමික සහජීවනය ඇති කිරීම සඳහා පාසල හා ආගමික ස්ථාන කේන්ද්‍රස්ථාන බවට පත්විය යුතුයි.
ඡායාරූපය-සමන් ශ්‍රී වෙදගේ
0 Comments