* ආර්ථික බලවේගයක් බවට ආසියාව පත්වෙලා
* ඉන්දීය සාගර කලාපයේ පිහිටීමේ වාසිය අපිටයි
* සාගරය පොදු මානව උරුමයක් හා වගකීමක්
* පරිසරයට වන බලපෑම අවම කිරීමට කටයුතු කළා
ලෝකයේ නව ආර්ථික බලවේගයක් බවට ආසියාව පත්ව ඇති පසුබිමක් තුළ විශේෂ ස්ථානීය පිහිටීමේ වාසිය සහ කේන්ද්‍රිය පිහිටීම අනුව ශ්‍රි ලංකාව ව්‍යවසායකයන්ගේ අවධානය ලක්ව ඇති බවත්, එමඟින් තිරසර සංවර්ධනය පිළිබඳ ඉලක්කයන්ට ළඟා වීමට අප රටට හැකියාව ලැබී ඇති බවත්, පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19දා) බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී ප්‍රකාශ කර සිටියේය.
පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව ආමන්ත්‍රණය කරමින් ජනාධිපතිවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කර සිටියේය. තිරසර සංවර්ධනය යනු සංවර්ධනය සම්බන්ධයෙන් යොදාගන්නා යෙදුමකි. එබැවින් සෑම ආණ්ඩුවක්ම ඒ කෙරෙහි අවධානය යොමු කරයි. තිරසාර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද ප්‍රධානතම අරමුණකි.
දිවයින් ජාතියක් වශයෙන්, අපගේ මතු පරපුරෙහි ප්‍රයෝජනය උදෙසා, අප භූමිය, වනාන්තර, ගංගා සහ සමුද්‍රය සඳහා තිරසර අනාගතයක් සනාථ කිරීම කෙරෙහි ශ්‍රී ලංකාවට විශේෂ උනන්දුවක් පවතී.
ශ්‍රී ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම පිළිබඳ බොහෝ සාකච්ඡා පැවතුණි. භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක පිහිටා ඇත. නැඟෙනහිර - බටහිර කාර්යබහුල නාවික මාර්ගය පිහිටා ඇත්තේ අප දිවයිනට දකුණු දෙසින් නාවික සැතපුම් 10ක් ආසන්නයේය.
සෑම වසරකම 60, 000කට වැඩි සංඛ්‍යාවක් නැව් මෙම මාර්ගය භාවිත කරන අතර එමඟින් ලෝක තෙල්වලින් තුනෙන් දෙකක් සහ බහලුම් සංඛ්‍යාවෙන් අඩක් ප්‍රවාහනය කරනු ලැබෙයි.
ලෝකයේ මතුවෙමින් පවතින ආර්ථික බලවේගයක් බවට ආසියාව පත්වන බව රහසක් නොවේ.
ආසියා කලාපය මෙලෙස ආර්ථික උත්පාතයක් ලද අවධියක ශ්‍රී ලංකාව විසින් ස්වකීය විශේෂ ස්ථානීය වාසිය සහ කේන්ද්‍රිය පිහිටීම උපයෝගී කරගෙන ප්‍රාග්ධන උත්පාදන උදෙසා අනිවාර්ය සැලකිල්ලක් දැක්වීම පුදුම විය යුතු කරුණක් නොවේ.
දරිද්‍රතාවයෙන් මිදීම, රැකියා උත්පාදනය, සමානාත්මතාවය ප්‍රවර්ධනය සහ තිරසර සංවර්ධනය යනාදී ඉලක්කයන්ට ළඟාවීම සඳහා අපගේ ජනතාවන්ට අපගේ සාගර කලාපයෙන් අවශ්‍යය ප්රතිලාභ සලසා දිය හැකිය. මෙය ස්ථාවර සහ තිරසර අනාගතයක් ළඟා කරගැනීමට ඇති මාර්ගයයි.
එක්සත් රාජධානිය විසින් යෝජිත “පිරිසිදු සාගර සඳහා වූ ගිවිසුම” වෙනුවෙන් පූර්ණ සහයෝගීතාව දැක්වීමට අප දිගටම කැපව සිටී. මෙකී කරුණු සම්බන්ධයෙන්, උදාහරණයක් වශයෙන් කාලගුණ වෙනස්වීම් සම්බන්ධයෙන්, අපි අන්තර්ජාතික ප්‍රජාව සමඟ එක්ව කටයුතු කරන්නෙමු.
මෙවන් පසුබිමක “පොදු රාජ්‍ය මණ්ඩලීය නීල-ප්රඥප්තිය” සතුටින් පිළිගනු ලබන්නේ සාගරය පොදු වගකීමක් සහ පොදු මානව උරුමයක් ලෙස ඒකාබද්ධ ප්රයත්නයන් තුළින් සුරක්ෂිත කර ගැනීමටය.
“නීල-ප්රඥප්ති ශූරතාවය” ලෙස සේවය කිරීම සඳහා ලැබුණ අවස්ථාව ශ්‍රී ලංකාවේ ඉමහත් සතුටට හේතුවේ.
මෙරට සෘජුව පැරිස් සම්මුතිය මුළුමනින් ක්‍රියාවට නැංවීමට කැපවී සිටින අතරම 2030 තිරසර සංවර්ධන සැලසුම් සඳහා ද කැපවී සිටී. මෙය තිරසර අනාගතයක් ප්‍රවර්ධනය සඳහා අවැසි මෙවලමකි.
වර්ෂ 2016 දී මා නීල-හරිත සංවර්ධන උපාය මාර්ගයක් ශ්‍රී ලංකාව සඳහා නිරාවරණය කළෙමි. අප නීල-හරිත මූලාරම්භය යටතේ වායු දූෂණය අවම මට්ටමක පවත්වා ගනිමින් ආර්ථික සංවර්ධනය කිරීමේ ක්‍රමවේද දිරිමත් කිරීමට කටයුතු යොදා ඇත.
අධික පොලිතින් සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් පරිසරයට වන බලපෑම අවම කිරීම සඳහා රජය විසින් මයික්‍රෝන 20ක් හෝ ඊට අඩුවෙන් වූ පොලිතින් භාවිත කිරීම තහනම් කොට ඇත.
මගේ කාර්යාලය විසින් එළිදක්වන ලද වෙනත් වැඩසටහන් සහ ව්‍යාපෘතීන් යටතේ ජල නළ පද්ධති සහ වැව් සංවර්ධනය කිරීමෙන් පරිසරය දූෂණය වීම වළක්වා ගැනීම සඳහා කටයුතු කරයි.
සමුද්‍රීය සහ ජල සම්පත් තිරසර බවකින් යුතුව භාවිත කරන අතර කාබනික කෘෂිකාර්මික ක්‍රමවේද සහ පිරිසිදු, නැවත භාවිතයට ගත හැකි බලශක්ති උත්පාදනය අපගේ ප්‍රමුඛතා අතර වෙති.
තිරසර අනාගතයක් සඳහා වූ අපේ පොදු අරමුණ වන්නේ කිසිවකු අත් නොහැර විශ්වසනීයබවකින් සහ ප්‍රමෝදයෙන් යුතුව අප සියලු දෙනාටම එකට නැඟී සිටීමට සහ ප්‍රගතිය ළඟාකර ගැනීමට හැකියාව ලැබීමයි. පොදු රාජ්‍ය මණ්ඩලය මේ පිළිබඳ අනෝයන්‍ය වශයෙන් වාසි සහගත වූ පරමාදර්ශයන් අවබෝධ කර ගැනීම සඳහා වැදගත් වේදිකාවක් සපයයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ මෙම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා අප කැපවීමෙන් කටයුතු කළ යුතු වනුයේ මෙය තිරසර අනාගතයක් සපථ කිරීම සඳහා අතිශයින් වැදගත් නිසාය.
ඡායාරූප-ජනාධිපති මාධ්‍ය අංශය
පොදුරද මඬුලු රාජ්‍ය නායක සමුළුවට ජනපති එක්වෙයි
පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වැනි රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාව බ්‍රීතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ බකිංහැම් මාලිගාවේ දී අභිමානවත් අයුරින් පැවැත්වූණු අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්විය.
සමුළුවට පැමිණි රාජ්‍ය නායකයින් පිළිගැනීම චාල්ස් කුමරු විසින් සිදුකළ අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානී ලෙස රාජ්‍ය නායකයින් ඇමතූ බ්‍රිතාන්‍ය මහ රැජින කියා සිටියේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රාජ්‍යයන්හි ජනතාවට දැනෙන ප්රතිලාභ ගෙනදීමට සාමාජික රටවල් සාමුහිකව සමත්වී ඇති බවයි.
තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමෙන් තම ව්‍යාපාර සහ වෙළෙඳාම මෙන්ම සමස්ත ජනතාවගේ ජීවිත වඩාත් යහපත් කිරීමට නව මාවත් සොයාගත හැකිවනු ඇති බව ද බ්‍රිතාන්‍ය මහ රැජින ප්‍රකාශ කළාය.
පොදු අනාගතයක්, තේමාව යටතේ පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වැනි රාජ්‍ය නායක සමුළුව ඊෙය් ඇරැඹුණු අතර සෞභාග්‍යය, සුරක්ෂිත බව, සාධාරණත්වය, තිරසර බව යන අංශ යටතේ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.
පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අවසන් වරට පවත්වන ලද්දේ මෝල්ටා රාජ්‍යයේ වන අතර, දැනට එහි සභාපති ධූරය දරන මෝල්ටාව මෙවර සැසියේදී එම සභාපතිත්වය එක්සත් රාජධානිය වෙත පැවරීමට නියමිතය.
මේ අතර එරට වේලාවෙන් ඊයේ පස්වරු 4.00ට පමණ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතා රාජ්‍ය නායක සැසිය අමතා කෙටි අදහස් දැක්වීමක් කෙළේය.
0 Comments