Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දිල්ලි පිලට ඩිවිලියර්ස්ගෙන් සුපිරි ප්‍රහාරයක්

ඒ.බී. ඩිවිලියර්ස්ගේ සුපිරි පිති හරඹය හේතුවෙන් අයී.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ 19වැනි තරගයේදී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල පරදවා කඩුලු 6ක ජයක් අත්කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සමත් විය.

බැංගලෝර්හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි පිල ලකුණු 174කට සීමාකළ සත්කාරකයෝ පන්දු 12ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 4ක් පමණක් අහිමිකර ගනිමිනි.

වේගවත් පිති හරඹයක් දියත් කළ ඩිවිලියර්ස් මෙවර තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය ලෙස ‍නොදැවී ලකුණු 90ක් රැස් කළේ පන්දු 39ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 10කින් සහ හයේ පහර 5කින් වර්ණවත් විය. නායක විරාට් කෝලි ලකුණු 30කට දැවී ගිය අතර ඩිවිලියර්ස් සමග එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 39කින් ලකුණු 63ක් එක් කිරීමට ඔහුට හැකිවිය.

රිෂාබ් පාන්ට් පන්දු 48කින් ලකුණු 85ක් රැස්කරමින් පළමුව පන්දුවට පහරදුන් දිල්ලි ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ලකුණු 23කට කඩුලු 2ක් බිඳ වැටී තිබියදී ‍ශ්‍රියාස් අයියර් සමග එක්වූ පාන්ට් තෙවැනි කඩුල්ලට ලකුණු 75ක සබඳතාවක් ගොඩනැගුවේ පන්දු 49ක් පමණක් වැය කරමිනි. පාන්ට්ගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 7ක් ඇතුළත් වූ අතර අයියර් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමගින් පන්දු 31කින් ලකුණු 52ක් රැස් කළේය.

දිල්ලි - 174/5 (ඕවර 20) රිෂාබ් පාන්ට් 85, ශ්‍රියාස් අයියර් 52 (යුස්වේන්ද්‍ර චහල් 22/2)

බැංගලෝර් - 176/4 (ඕවර 18) ඒ.බී.ඩිවිලියර්ස් නොදැවී 90, විරාට් කෝලි 30

පන්ජාබ් පිලට ජය

මේ අතර තරගාවලියේ 18 වැන්න ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් පිල සමග පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 9ක ජයක් හිමිකර ගැනීමට කිංග්ස් ලෙවන් පන්ජාබ් පිලට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා පිල කඩුලු 7ක් දැවී ලකුණු 191ක් රැස්කළ අතර පන්ජාබ් පිළිතුරු ඉනිම වර්ෂාවෙන් බාධාවීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තරගය ජය ගැනීම සඳහා ඕවර 13කදී ලකුණු 125ක ඉලක්කයක් හිමිවිය.

එම ඉලක්කය එක් කඩුල්ලක් දැවී තිබියදී සපුරාගත් පන්ජාබ් පිල පන්දු 11ක්ද ඉතිරිකර ගත්තේය.

වේගවත් පිති හරඹයක් දියත් කළ පන්ජාබ් ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ලකුණු 116ක් එක්කළේ පන්දු 58ක් පමණක් වැය කරමිනි. ලෝකේෂ් රාහුල් පන්දු 27කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 60ක් රැස්කළ අතර ක්‍රිස් ගේල් නොදැවී ලකුණු 62ක් රැස්කළේ පන්දු 38කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 6ක් සමගිනි.

පළමුව පන්දුවට පහරදුන් කොල්කටා පිලට වේගවත් ආරම්භයක් ලබාදුන් ක්‍රිස් ලයන් පන්දු 41කින් ‍ලකුණු 74ක් රැස්කළ අතර නායක ඩිනේෂ් කාර්තික් ලකුණු 43ක් හා ‍රොබින් උතප්පා ලකුණු 34ක් ඉනිමට එක් කළහ.

කොල්කටා - 191/7 (ඕවර 20) ක්‍රිස් ලයන් 74, ඩිනේෂ් කාර්තික් 43, රොබින් උතප්පා 34 (ඇන්ඩ්‍රි ටයි 30/2, බාරින්ද ස්‍රාන් 50/2)

පන්ජාබ් - 126/1 (ඕවර 13) ක්‍රිස් ගේල් නොදැවී 62, ලෝකේෂ් රාහුල් 60 

 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();