දැහැමි සමාජයක් ගොඩනැඟීමට කටයුතු කරමු
- ඇමැති ගාමිණී ජයවික්‍රම
මෙවර වෙසක් උත්සවය පිළිවෙත් මූලික දැහැමි සමාජයක් ගොඩනැගීම සඳහා යොමුකොට ඇති අතර ථෙරවාදී බුදුදහම ස්ථාපිත සිංහල සමාජය දැහැමි විය යුතු බවත් ආගමානුකූල දිවිපෙවෙතට අවතීර්ණය විය යුතු බවත් බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සිය වෙසක් පණිවිඩයෙන් කියා සිටී. ඒ මහතා නිකුත්කළ වෙසක් පණ්විඩයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන්වෙයි.
වෙසක් දින රාජ්‍ය උත්සවය පසුගිය 26 හා සිට මැයි 2 දින දක්වා කුරූණෑගල දිස්ත්‍රික්කයේ ඓතිහාසික බිංගිරිය දේවගිරි රජමහා විහාර පරිශ්‍රයේදී පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කොට ඇත.
වෙසක් උත්සවය ප්‍රථමව එය පැවැත්වෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන කේන්ද්‍රකොට ගෙන වෙසක් පූර්ව වැඩසටහන් බොහෝමයක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් පැවැත්විය. එම භාවනා වැඩසටහන් බුදුදහම හා පරිසරය, බුදුදහම සහ සෞඛ්‍ය, සිංහල සාහිත්‍ය, හෙළ කලාව ආදිය පිළිබඳ දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීමෙන් බලාපොරොත්තු වූයේ ආගමානුකූලව මිනිසාගේ මනස සෑදීමය. සෞභාග්‍යයෙන් පිරි තිරසර සමාජයක් සඳහා බුදුදහම මූලික කොට ගැනීම මෙම ක්‍රියාදාමයේ පරමාර්ථයයි.
මෙම වෙසක් උත්සවයෙන් පසුව බිංගිරිය දේවගිරි රාජමහා විහාර පරිශ්‍රය දැයේ දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය වූ භාවනා වැඩසටහන්, පරිසර වැඩසටහන්, වෘත්තීමය වැඩසටහන්, සමාජීය කලා වැඩසටහන් ආදිය පැවැත්වීම සඳහා වන කේන්ද්‍රස්ථානයක් වන්නේය.
ආගමික හා සංස්කෘතික වෙනස්කම් නොතකා වෙසක් දිනය සමරමු!
- ඇමැති ජෝන් අමරතුංග
සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව මෙන්ම ශ්‍රී ලංකාවාසී බෞද්ධයන් මෙන්ම අන්‍ය ආගමික ජනකොටස් ද ඒකරාශිවී වෙසක් තෙමඟුල සැමරීම අතිශයින්ම අගයකළයුතු පුණ්‍ය කටයුත්තක් බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා වෙසක් දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත්කරමින් කියා සිටී. ඒ මහතාගේ වෙසක් දින පණිවිඩයේ වැඩිදුරටත් මෙසේද කියා සිටී.
බෞද්ධ දිනපොතේ ඉතාමත් සුවිශේෂී දිනයක් වන බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පිරිනිවන් පෑම සමරන උතුම් වූ වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් මෙම පණිවිඩය ඉදිරිපත් කරනුයේ ඉතාමත් සතුටිනි.
ශ්‍රී ලංකාවේ ඇති බහුතරයක් ථෙරවාදී බුදු දහම අනුගමනය කරමින් සටහන් කරනුයේ මෙහි අතිශයින්ම බෞද්ධ රටක් ලෙසිනි. එසේ නමුත් ආගමික සහ සංස්කෘතික වෙනස්කම් නොසලකා රටේ විවිධ ජන කොටස් එක්සේසත් කරමින් වෙසක් අසිරිය සමරන්නේ ඉතාමත් ගෞරවයෙන් හා උනන්දුවෙනි.
අද ලොව පුරා මිනිස් ජීවිතවල වටිනාකම් කෙලෙසමින් ශීඝ්‍රයෙන් වර්ධනය වන ආගමික අන්තවාදී ගමනට එරෙහිව බලාපොරොත්තුවේ පහන් ටැඹ ලෙස බුදු දහමේ ඉමහත් කරුණාව, දයාව, සංහිඳියාව සහ ප්‍රේමය මහ පවුරක් ලෙස නැගී සිටීමට දායක වී ඇත.
වෙනස්කම් තිබුණ ද ආගමික සංහිඳියාවේ සන්දර්භය තුළ බෞද්ධ හා ක්‍රිස්තියානි ධර්මයන් අන්‍යෝන්‍ය මුසු වන අවස්ථා බොහොමය. මිනිස් වටිනාකම් ඉස්මතු කරමින් දක්වන මෛත්‍රී, දයාව, කරුණාව, ආදරය යන මූලික න්‍යායන් තුළින් බෞද්ධ සහ ක්‍රිස්තියානි ධර්මයන් පොදු වේදිකාවක් මත නැගී සිටීම ඉතාමත් සතුටට කරුණකි.
සැමට ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවායි පතමි!
සිතට පමණක් නොව සොබා දහමටත් අසිරිමත් කාලයක්
- ඇමැති දයා ගමගේ
චතුරාර්ය සත්‍ය ධර්මය තුළින් සකල ජනයාගේ විමුක්තිය උදාකරලීම සඳහා අසූහාරදහසක් ධර්මස්කන්ධය දේශනා කළ අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිදුවූ වෙසක් සමය මුළු මහත් බෞද්ධ ජනතාවගේ සිත පමණක් නොව සමස්ත සොබාදහමත් අසිරිමත් නවෝදයකින් ඇලළී යන සමයක් බව ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතා නිකුත්කළ වෙසක් පණිවිඩයෙන් කියා සිටී. එහි වැඩිදුරටත් මෙෙස් ද සඳහන් වෙයි.
ආමිස පූජාවන්ගෙන් විචිත්‍රවත්වන වෙසක් සැමරීමේ උත්කර්ශවත් ආනන්දය බුදු දහමේ ගැඹුරින් දැකීමත් සදාචාර සම්පන්න ප්‍රතිපත්තිමය නැඹුරුවක් සමඟ උදාකර ගැනීමට අප සැම ක්‍රියාකළ යුතුය.
‘පුඤ්ඤහ බුද්ධ ශාසනේ - සෝ ඉමං ලෝකං සභාසේති අබ්භා මුත්තෝච චන්දිමා” “යමෙක් බුදු දහමේ මනාව යෙදේද ඔහු වළාකුලින් මිදුණු සඳක් මෙන් බබළයි.”
වෙසක් සතිය පුරාවට බෞද්ධ ජනතාව දාන, ශීල, භාවනා වැඩකටයුතුවල යෙදීමට වැඩි කැමැත්තක් දැක්වුවද, වසර පුරාවටම බෞද්ධ දර්ශනයේ අගය මනාව වටහාගෙන ඵලදායිව ජීවිතය හැඩගස්වා ගැනීමට සිත් පහන් වේවායි ප්‍රාර්ථනා කරමි.


0 Comments