Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘නයනාලෝක ගමට’ පසුව දෘශ්‍යාබාධිත ජනතාවට පැවරෙන ‘සියනෙතුගම’ මහා පුණ්‍යකර්මයක්

නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස

එක් වරක් ඉල්ලං කෑ අප නැවත වරක් එසේ නොවන්නට වගබලා ගත යුතු යැයි නිවාස සහ ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම, ජුල්පල්ලම ඉදිකළ ‘සියනෙතුගම’ උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එසේ පැවැසීය.

එහිදී ඇමැතිවරයා මෙසේද පැවැසීය.

යහපාලන රජය ආරම්භ කළ ‘යළි පිබිදුනු උදා ගම්මාන’ වැඩපිළිවෙළ යටතේ අද දින ජනතා අයිතියට පත්වූයේ 55 වන ආදර්ශ ගම්මානයි. එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහරාමය, ජුල්පල්ලම ප්‍රදේශයේදී ඉදිවූ ‘සියනෙතුගම’යි. මෙහි විශේෂත්වය වන්නේ මෙම ගම්මානය දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් ඉදිකළ ගම්මානයක් වීමයි. එමෙන්ම මෙය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතා අයිතියට පත්කළ 24 වන ආදර්ශ ගම්මානයද වනවා.

අද මගේ දේශපාලන ජීවිතයේ ඉතාම වැදගත් දිනයක්. දිවංගත මගේ ආදරණීය පියාණන් මෙරට නිවාස ඇමැතිවරයා ලෙස කටයුතු කරන සමයේ දෘශ්‍යාබාධිත ජනතාව වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රදේශයේ ‘නයනාලෝකගම’ නමින් උදාගම්මානයක් ආරම්භ කළා. එය නිවාස 25 කින් සමන්විතයි. එතුමා එදා ආරම්භ කළ එම ගම්මානයෙන් පසුව අද දින ජනතා අයිතියට පත්වූයේ දෙවන දෘෂ්‍යාබාධිත උදා ගම්මානයයි. ‘සියනෙතුගම’ උදා ගම්මානය නව නිවාස 29 කින් සමන්විතයි.

අප උදා ගම්මාන ඉදිකරන්නේ ප්‍රජා සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩසටහන යටතේයි. එනම්, මෙහි නිවාසලාභීන්ට නොමිලේ ඉඩම අප ලබාදෙනවා. තමන්ගේ ඉඩමේ නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ප්‍රතිලාභින්ට ඉතා අඩු පොළී ණය මුදලක්ද අප ලබාදෙනවා. එයට තමන්ගේ මුදල්ද එකතු කර ඔවුන් ඉතා වටිනා අලංකාර නිවාස ඉදිකර ගන්නවා. නමුත් මෙම දෘශ්‍යාබාධිත ජනතාවට එලෙස තම නිවාස සාදා ගැනීමට අපහසුයි. මේ නිසා මෙම දෘශ්‍යාබාධිත ප්‍රජාවට තම නිවාස සාදාගැනීම සඳහා උපකාර කිරීමට අපේ අමාත්‍යාංශයේම ආයතතනයක් වන ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සභාපතිතුමා වන මහසෙන් පැල්පොල මහතා කැමති වුණා.

ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ 25 වන සංවත්සරයට සමගාමීව මෙම ගම්මානය එහි වියදමින් ඉදිකර දුන්නා. ‘සියනෙතුගම’ උදාගම්මානය නිවාස 29 කින් සමන්විතයි. ඒ පිළිබඳව ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සභාපතිතුමා ඇතුළු එහි සියලුම නිලධාරින්ට මා විශේෂ ස්තුතිය පුද කර සිටිනවා. ඔවුන් මේ සිදුකළේ ඉතාම වැදගත් පුණ්‍යකර්මයක්. එමෙන්ම මෙම ආයතනය රැකගැනීම සඳහා මට කළ හැකි සියලුම දේ සිදුකරන බවද ප්‍රකාශ කරන්නට කැමැතියි.

අද මෙම ගම්මානය විවෘත කරන මොහොතේ විශේෂ පුද්ගලයකුටත් මා ආරාධනා කළා. ඔහු හම්බන්තොට සිරියාගම ප්‍රදේශයේ උපත ලබා තෙලුල්ල විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා, යුද හමුදාවේ ගැමුණු රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවකු ලෙස කටයුතු කර රට දැය වෙනුවෙන් තම දෙඇස් දායාද කළ ජේ. පී. ඩී. රවින්ද්‍ර රණවිරුවායි. ඔහු ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ උපනායකයා, ඔහු ඉතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට ලෝකයේ තුන්වන ස්ථානයට පත්ව තිබීම සතුටට කරුණක්.

අප මේ වනවිට සතියට දෙක බැගින් උදා ගම්මාන විවෘත කරමින් සිටිනවා. පසුගිය දින කිහිපය තුළ අප රට පුරා උදාගම්මාන රැසක් විවෘත කළා. මේ මොහොත ‍වනවිටත් දිවයින පුරා උදාගම්මාන 618 ක පමණ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබෙනවා. අපේ ඉලක්කය වසර 2020 වනවිට උදා ගම්මාන 2500 ක් රට පුරා ඉදිකිරීමයි. එම ඉලක්කය වෙත ගමන් කිරීම සඳහා 2018 වසරේ තවත් ගම්මාන 650 ක් සහ 2019, 2020 වසරවල ගම්මාන 650 බැගින් ඉදිකළ යුතුයි. ඒ අනුව අප මීළග ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට ඉදිරිපත් ව‍න්නේ රටේ උදාගම්මාන 2500 ක් ඉදිකිරීමෙන් පසුව බව මා වගකීමෙන් ප්‍රකාශ කරනවා. යහපාලන රජය යටතේ ඓතිහාසික නිවාස සංවර්ධන වැඩසටහනක් හරහා වසර 2025 වනවිට ජාති, ආගම්, කුල මල පංති භේදයෙන් තොරව රටේ සැමට සෙවණ ලබාදීම මගේ ඒකායන අරමුණයි. අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ද්විත්ව නායකත්වය යටතේ එය අනිවාර්යයෙන්ම සැබෑ කරන්නට මා ඇප කැප වී කටයුතු කරන බව සතුටින් ප්‍රකාශ කරනවා.

පිරිසිදු පානීය නළ ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් ‘සියනෙතුගම’ උදා ගම්මානය සමන්විතයි. මේ සියල්ල හරහා අප බල‍ාපොරොත්තු වන්නේ මෙම ගම්මානයේ ජීවත්වන දෘෂ්‍යාබාධිත ජනතාවගේ ජීවන මට්ටම උසස් කරලීමටයි.

අද දවස තුළ තවත් ප්‍රතිලාභීන් රැසකට අප සහන ලබාදෙනවා. පවුල් 29 කට නිවාස අයිතිය හිමිවනවා. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 100 කට රුපියල් ලක්ෂ 110 ක් වටිනා ‘විසිරි නිවාස ණය’ ලබාදෙනවා. තවත් ප්‍රතිලාභීන් 100 කට රුපියල් ලක්ෂ 200 ක් වටිනා “සොඳුරු පියස නිවාස ණය” ලබා දෙනවා. “ශිල්ප සවිය” වැඩසටහන යටතේ තරුණ තරුණියන් 125 දෙනෙකුට රුපියල් ලක්ෂ 62 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම් සහ වෘත්තීය පොත් කට්ටල ‍ලබාදෙනවා. පුහුණුව නිම කළ ශිල්පීන් 45 දෙනෙකුට සහතිකපත් ලබාදෙනවා. දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් 176 දෙනෙකුට රුපියල් 140,800/- වටිනා ඇස් කණ්ණාඩි ලබාදෙනවා. එමෙන්ම ගම්මානයේ නිවාස සමිතිය සඳහා රුපියල් 22,300/- වටිනා පුටු කට්ටලයක් ද අද දින ලබාදෙනවා. ‘සියනෙතුගම’ උදාගම්මානය ජනතා අයිතියට පත්වීමත් සමඟ මෙම ප්‍රදේශයේ ජනතාවට හිමිවන ප්‍රතිලාභ මේවායි.

ජීවිතයේදී අප සමහර ඉලක්කය ජයගන්නා අතර තවත් විටක ඇතැම් ඉලක්ක පරාජය වනවා. ජය හෝ පරාජය අප ඉතාම නිහතමානීව බාරගත යුතුයි. සමහර අවස්ථාවලදී සමහරු “ඉල්ලං කනවා” පසුගියදා අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළා. පළාත් පාලන මැතිවරණයේදී නව දේශපාලන බලවේගයක් යටතේ නොසිතූ පරිදි ජයග්‍රහණය ලැබූ පිරිසක් එම ජයග්‍රහණයෙන් උදම් වී, බලයෙන් මත්වී විශ්වාසභංගයක් ගෙනාවා. ඔවුන් සූදානම් වුණේ කූට දේශපාලන කුමන්ත්‍රණයකින් පාර්ලිමේන්තුවේ බලයක් ලබාගන්නටයි. ඔවුන් එසේ සිදුකළේ රට ගැන සිතා නොව තමන් ගැන හිතලයි. නමුත් සිදුවුණේ ඔවුන්ට ඉල්ලං කන්නටයි. විවිධ අය තට්ටු මාරු ක්‍රමයට ඉල්ලං කනවා. මෙයින් අප සියලුදෙනාම පාඩමක් ඉගෙන ගත යුතුයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();