‘දැමුණු සිත සුව ගෙන දේ’
ශ්‍රී බුද්ධවර්ෂ 2562ක් වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අති පූජනීය වන්දනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේලා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරු 2.00ට බිංගිරිය දේවගිරි ඓතිහාසික රජමහා විහාරස්ථානයේ දී අභිමානවත්ව ආරම්භ වෙයි. අද සහ හෙට (29) දෙදින පුරා පුණ්‍ය කටයුතු රැසක් මේ නිමිත්තෙන් පැවැත්වෙයි.
බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් සියලුම කටයුතු සිදුවෙයි.
රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිති කරගෙන විශේෂ මුද්දරයක් අද දේවගිරි රජමහා විහාරස්ථානයේ දී නිකුත් වෙයි.
රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිති කරගනිමින් දිස්ත්‍රික්කයේ විහාරස්ථාන දෙසිය විසිපහකට රුපියල් මිලියන හැටතුනක් සහ දහම් පාසල් තුන්සියයකට රුපියල් මිලියන හතළිස්පහක් ප්‍රදානය කිරීම සිදුවෙයි. මේ අවස්ථාව සංකේතවත් කරමින් අද දින ජනාධිපතිවරයා විසින් ස්වාමීන්වහන්සේලා කීප නමකට ඊට අදාළ ලිපි ප්‍රදානය සිදුකරන බවත් බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා ‘දිනමිණ’ට පැවැසීය.
හෙට සවස හතට කොළඹ හත විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති උඩුදුම්බර කාශ්‍යප නාහිමියෝ දේවගිරි රජමහා විහාරස්ථානයේ දී ධර්ම දේශනාවක් පවත්වනු ලැබේ.
දිස්ත්‍රික්කය පුරා ආගමික වැඩසටහන් රැසක් වෙසක් සතිය නිමිති කරගෙන ඉකුත් 26දා ඇරැඹුණ අතර, මැයි 2දා දක්වා එම වැඩසටහන් පැවැත්වෙයි.
‘චිත්තං දන්තං සුඛාවහං’ (දැමුණු සිත සුව ගෙන දේ) තේමාව ප්‍රධාන කරගනිමින් රාජ්‍ය වෙසක් මහෝත්සවය පැවැත්වෙයි. අධ්‍යාත්මික කේන්ද්‍රස්ථානයේ මූලස්ථානය ගමේ පන්සල බවට පත්කර ගනිමින් ප්‍රඥාවන්ත බෝසත් සමාජයක් ඇති කිරීමේ උතුම් සත්කාර්ය මුදුන් පමුණුවා ගැනීම මෙවර වෙසක් මහෝත්සවයේ මූලික අරමුණ වී තිබේ.
රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිතිකරගෙන අමාත්‍යාංශයේ ලේකම් ගමගේ සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ජනක කොටවලගෙදර මහත්වරුන් විසින් අදාළ සියලු කටයුතු සංවිධානය කර තිබේ. අද පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවයට මහා සංඝරත්නය ඇතුළුව මැති ඇමැතිවරුන් සහ විශාල පිරිසක් සහභාගිවනු ලැබේ.


0 Comments