ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ වැඩිම කාලයක් සභාපතිධුරය දැරූ කිංග්ස්වුඩ් විදුහලේ හිටපු විදුහල්පති රංජිත් චන්ද්‍රසේකර මහතා නැවතත් එම සංගමයේ මුල් පුටුවට පත්විය. පසුගියදා කොළඹ රාජකීය විදුහල් ශාලාවේ පැවැති පාසල් රග්බි සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී චන්ද්‍ර සේකර මහතා සභාපති තනතුරට පත්වූයේ වැඩි ඡන්ද 30කිනි. ඔහු සමග සභාපති තනතුරට තරග වැදුණු ඉසිපතනයේ විදුහල්පති ප්‍රේමසිරි ඈපා මහතා ඡන්ද 18ක් ලබාගනිද්දී චන්ද්‍රසේකර මහතා ලැබූ ඡන්ද සංඛ්‍යාව 48කි. පාසල් රග්බි සංගම් නිලවරණයේදී සභාපති සහ භාණ්ඩාගාරික තනතුරු හැර සෙසු තනතුරු සියල්ල නිතරගයෙන් පත්වීම විශේෂත්වයක් විය. එම සංගමයේ හිටපු ලේකම්වරයකු වූ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ විදුහල්පති සුසන්ත මෙන්ඩිස් මහතා මෙවර නියෝජ්‍ය සභාපතිධුරයට පත්වීය.
ලේකම් තනතුර සඳහා හිටපු භාණ්ඩාගාරිකවරයකු වූ නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ නිරෝධ විජේරාම මහතා පත්වූ අතර මහනුවර ශ්‍රී සුමංගල විදුහලේ ශ්‍රීනාත් ද සිල්වා මහතා උපලේකම් තනතුරට පත්විය.
භාණ්ඩාගාාරික තනතුර සඳහා හිටපු භාණ්ඩාගාරික කේ.එස්.පී.කරුණාරත්න මහතා සහ හිටපු ලේකම් අමල් ජයසූරිය මහතා තරග වැදුණු අතර එහිදී ඡන්ද 30ක් ලැබූ කේ.එස්.පී. කරුණාරත්න මහතා භාණ්ඩාගාරික තනතුරට පත්විය. ජයසූරිය මහතාට හිමිවූයේ ඡන්ද 26ක් පමණි.
උපභාණ්ඩාගාරික තනතුර සඳහා මරදාන සාන්ත ජෝශප් විදුහලේ ප්‍රසන්ත රණවීර මහතා පත්විය.
වසර 1999 පාසල් රග්බි සංගමය ස්ථාපිත කිරීමෙන් පසුව වැඩිම කාලයක් එහි සභාපතිධුරය හෙබවූ රංජිත් චන්ද්‍රසේකර මහතා මෙවර තනතුරට පත්වූයේ තුන්වැනි වරටය. මීට පෙර ඔහු 2003 සිට 2006 දක්වා සහ 2012 සිට 2016 දක්වා සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
මේ වනවිට මීපේ, පාදුක්ක දකුණු ආසියානු ගුරු පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන රංජිත් චන්ද්‍රසේකර මහතා සියලු පාර්ශ්ව සමග සහයෝගයෙන් කටයුතු කරමින් පාසල් රග්බි ක්‍රීඩාව නැවතත් නිවැරැදි දිශාවට රැගෙන යාමට බලාපොරොත්තු වන බව ‘දිනමිණ‘ කළ විමසුමකදී කියා සිටියේය.
‘තරගාවලි පැවැත්වීමට වඩා මෙවර අපේ අරමුණ වන්නේ පාසල් රග්බි ක්‍රීඩාව තව දුරටත් සංවර්ධනය කිරීමයි. වැඩිපුර පුහුණු සැසි පවත්වමින් පාසල් රග්බි ක්‍රීඩාවට වැඩි පාසල් සංඛ්‍යාවක් එක් කරගැනීමටයි අපේ බලාපොරොත්තුව. ඒ වගේම පාසල් රග්බි ක්ෂේත්රය තුළ සිටින නිලධාරින් පුහුණු කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කළ යුතුයි. ඔවුන්ට රග්බි පරිපාලනය ගැන මනා පුහුණුවක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් හැටියටයි මං දකින්නේ.‘ නව සහාපතිවරයා පැවැසීය.
පාසල් රග්බි සංගමයේ උපසභාපතිධුර 9ක් සඳහා ඉසිපතන විදුහල්පති ප්‍රේමසිරි ඈපා, ලුම්බිණි විදුහල්පති කේ.ජි.විමලසේන, නුගේගොඩ සාන්ත ජෝන් විදුහල්පති බුද්ධික අත්තනායක, ලලිත් ඇතුලත්මුදලි විදුහල්පති නදිත් ජයවීර, මරදාන සහිරා විදුහල්පති ට්රිස්ලි මරික්කාර්, ත්‍රිත්ව විදුහල්පති ඇන්ඩෘ ෆවුලර්, රිච්මන්ඩ් විදුහල්පති සම්පත් වේරගොඩ, මලියදේව විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න සහ ඇහැලියගොඩ ජාතික පාසලේ විදුහල්පති ගාමිණී රාජදාස මහත්වරු පත්වූහ.
0 Comments