රට හමුවේ ඇති ජාතික ගැටලුවලට විසඳුම් ලබා නොදී තරුණ මෙන්ම නූපන් පරපුරට ද එම ගැටලු දායාද කරන්නේ නම් එය ජාතික අපරාධයක් බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.
එබැවින් සියලු ජාතින්, දේශපාලන පක්ෂ, භේදයෙන් තොරව එක්වී මෙම ප්රශ්නයට විසඳුම් සෙවිය යුතු කාලය එළඹ ඇති බවත් කතානායකවරයා සඳහන් කළේය. මෙම අර්බුදයට විසඳුම් සෙවීම දියවන්නාවේ පිහිටි පාර්ලිමේන්තුවට පමණක් සිදුකළ නොහැකි බැවින් සියලු ආගමික නායකයන් ද මේ වෙනුවෙන් පෙරමුණ ගත යුතු බවත් කතානායකවරයා පැවසීය.
කතානායක කරූ ජයසූරිය මහතා මේ බව සඳහන් කළේ ආගමික සහජීවනය ගොඩනැගීම වෙනුවෙන් සංවිධාන කර තිබූ සර්ව ආගමික සමුළුව අමතමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ අපෙන් පසුව රට භාර ගන්නා පරම්පරාවට රට, ජාතිය ආගම සහජීවනය සාමුහිකත්වය පිළිබඳ හැඟීමක් ජනිත කිරීමේ පදනම ඇති කිරීම, ජාතික හා ආගමික සහජීවනය තහවුරු කිරීම සඳහා වූ පාර්ලිමේන්තු කමිටුව මඟින් අපේක්ෂා කරන බවයි. මහනුවර දිගන ඇතුළු ආසන්න ප්රදේශවල පසුගිය දිනවල ඇති වූ සිදුවීම් කිසිසේත් අනුමත නොකරන අතර යුද්ධයේ කුරුරු අත්දැකීම් නොමැති මෙන්ම, නිදහස් අරගලයේදී සියලු ජාතීන් එකාවන්ව නැගී සිටි අයුරු නොදන්නා නව යොවුන් පිරිස් මෙම සිදුවීම් වලට අනවබෝධයෙන් යුතුව සම්බන්ධ වූ බවත් කතානායකවරයා පැවසීය.මෙවන් ගැටළු වලට දියවන්නාවෙන් පමණක් විසඳිය නොහැකි බැවින් රට හා ජනතාව වෙනුවෙන් මෙම දැවෙන ප්රශ්න කෙරෙහි අවධානය යොමු කොට රටට සෙතක් සැලසීමට පෙරමුණ ගන්නා ලෙස සියලු ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටින බවත් කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේය.
0 Comments