රතන හිමිත් සාකච්ඡාවට එක්වෙති
විශ්වාස භංග යෝජනාවට එරෙහිව ඡන්දය ලබා දීමට එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කරයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාස භංගය රජයට එරෙහි විශ්වාස භංගයක් වශයෙන් හැදින්වූ රාජ්‍ය ඇමැතිවරයා රජයට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ පාලක කණ්ඩායමට සම්බන්ද මැති ඇමැතිවරු ඇතුළත් වන බවද කීය.
රාජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ(02) කොළඹ අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අජිත් පී පෙරේරා රාජ්‍ය ඇමැතිවරයා-
පසුගිය පාලන කාලයේ සිදුවූ බරපතල අපරාධ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූයේ නැහැ. ඒවා සැඟවීමයි සිදු කළේ. වත්මන් රජය මේ වන විට බැදුම්කර සිද්ධියට සම්බන්ධ වරඳ කරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රටින් පිටවූ පුද්ගලයාටත් රතු වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. ඒ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කළ පසු රජයට එරෙහිව විශ්වාස භංගයන් ගෙන ඒම අර්ථ විරහිත දෙයක්.
පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය බෑරෑරුම් ප්රතිසංවිධාන ක්‍රියා වලියකට ලක්විය යුතුයි. අද දින අගමැතිවරයා අපට දැනුම් දුන්නා එක්සත් ජාතික පක්ෂය පූර්ණ ප්රතිසංවිධානයකට ලක් කිරීමට එතුමාගේ කැමැත්ත ප්‍රකාශ කරන බව. ඒ පිළිබඳව 07-08 දෙදින තුළ පක්ෂයේ කළමණාකරනය සහ ප්‍රතිපත්ති පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමත් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ඒකාබද්ධව රැස් වී සාකච්ඡා කිරීමට තීරණය කළා. ඒ පිළිබඳව නිළ නිවේදනයක් අද නිකුත් කළා. පක්ෂයේ වෙනසක් සිදුවිය යුතුයි. අප ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.
දූෂිත ප්රතිගාමී බලවේග වළින් ඉදිරිපත් කළ මේ විශ්වාස භංග යෝජනාව දැවැන්ත ලෙස පාර්ලිමේන්තුවේදී 04 දින අප පරාජයට පත්කරනවා. 05 දින දූෂණ විරෝධි මහාධිකරණය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට රැගෙන විත් එය සම්මත කර වරදකරුවන්ට එරෙහිව කඩිනමින් දිනපතා නඩු විභාග කර රටේ ජනතාව අපේක්ෂා කරන යුක්තිය ඉෂ්ඨ කරනවා.
විශ්වස භංග ගැටලුව පිළිබඳ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සමඟ අප දිගින් දිගටම සාකච්ඡා කළා. ඒ හමුවීම් වලදී එකඟතාවයන් තමා අද හමුවේදී ප්‍රකාශ වුණේ. දෝෂාභියෝගයට මුහුණ දෙන අන්දම පිළිබඳ මේ වන විට අප සියල්ල සාකච්ඡා කර තිබෙනවා. ඒ පිළිබඳ අද දින අපේ මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නා. අද දින පැවැති මෙම සාකච්ඡාව සඳහා රතන ස්වාමීන් වහන්සේද සහභාගි වුණා. මෙහිදි අපේ මතයට වෙනස් මතයක් උන් වහන්සේ ප්‍රකාශ කළේ නැහැ. ඒකමතික මතයක් අපේ කණ්ඩායම තුළ තිබෙනවා. අපට කිසිම ගැටලුවක් නැහැ. අප සතුටින් ඉන්නෙ.
ජනාධිපතිවරයා මේ ආණ්ඩුවේ නායකයා. මේ විශ්වස භංගය පරාජය වුනොත් ජනාධිපතිවරයාත් පරාදයි. අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යාමේ මාර්ගය අප නිර්මාණය කර තිබෙනවා.
ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ජේ.සී අලවතුවල මහතා-
අද දින ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම පැවැත්වූවා. මේ සඳහා විශාල ප්‍රමාණයක් පැමිණියා. මෙහිදී විශ්වාස භංගය පරාජය කරන සියලු දෙනාම ඒකමතික තීන්දුවක් ගත්තා. හතර දින විශ්වාස භංගයට එරෙහිව කතා කරන්නත් විශාල කථික සංඛ්‍යාවක් ඉදිරිපත් වුණා. එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ බොහෝ නායකයින් මෙම සාකච්ඡාවට සහභාගිවුණා. මීට පෙර එක්සත් ජාතික පෙරමුණේ අනෙකුත් නායකයින් හමුවුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා-
අප සියලු දෙනාම 04 දින පාර්ලිමේන්තුවේ රැදී සිටිමින් විශ්වාස භංගය පරාජය කරන්න කටයුතු කරනවා. අපට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය තිබෙනවා. කීපදෙනෙක් සම්බන්ධවයි අපට ගැටලු තිබෙන්නෙ. ශ්‍රීලනිපයේ 15-20ක් අතර ප්‍රමාණයක් අපට උදව් කරනවා. ටී.එන්.ඒ එකේ සහයෝගය අපට තිබෙනවා.
අප නොසිතන පොහොට්ටු පක්ෂයේද දෙතුන් දෙනෙක් අපට උදව් කරන්න ඉඩ තිබෙනවා. පාඨලී චම්පික රණවක ඇමැතිවරයා අපත් සමඟ කිසිම ගැටලුවක් නැහැ. සහයෝගය ලබා දෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා-
අප අද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය පිළිබඳවත් කතා කළා. තනතුරු පිළිබඳ පුද්ගලයින්ගේ නම් සඳහන් කරමින් සාකච්ඡාවක් අද සිදුවුණේ නැහැ. 04 දින අප ලබන ජයග්රහණයෙන් පසු රජය සහ එක්සත් ජාතික පක්ෂය ඉතා ශක්තිමත් වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කළේ, විශ්වාස භංගය අනිවාර්යයෙන්ම පරාජය කරන බවයි.
උපාලි කරුණාරත්න සහ චන්දිමා කරුණාරත්න
0 Comments