විශ්වාස භංගයේ ඇත්ත නැත්ත දැන ගැනීම සඳහා ස්වාධීන රූපවාහිනී සේවයේ ක්‍රියාකාරී අධක්ෂ විමල් කැටපෙආරච්චි මහතා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා සමඟ ඊයේ (2) ඇමැතිවරයාගේ නිල නිවෙසේදී පැවැත් වු සම්මුඛ සාකච්ඡාවකි මේ.
ප්රශ්නය- මොකක්ද මේ විශ්වාස භංගය?
පිළිතුර- මම හිතනවා හතර වැනිදා රාත්‍රියේ මේ සම්බන්ධයෙන් ඡන්දය පැවැත් වෙනවා. යළි වතාවක් මේ අවස්ථාව දෙස හැරී බලන කොට මෙය තේ කෝප්පයක කුණාටුවක් හැටියට සලකන බව ස්ථීරයි.නමුත් තේ කෝප්පයක කුණාටුවක් වුණත් මේ විශ්වාසභංගය හරයා මේ රටේ අනාගතය ගැන තීන්දු රාශියක් යළි ගන්න අවස්ථාවක් අපිට ලැබිලා තිබෙනවා.
ඇත්ත වශයෙන්ම ජනවාරි අට වැනිදා, 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටේ විධායක ජනාධිපතිවරයා විදිහට පත් වෙලා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් කර ගෙන අන්ධකාරයෙන් ආලෝකය කරා යන ගමනක් අපි ආරම්භ කළා. ඒ ගමන අපි අභියෝග රාශියක් මැද්දේ ඉදිරියට ගෙනල්ලා තිබෙනවා. හතර වැනිදා අපි තීන්දු කරන්නේ ඒ ආලෝකය කරා යන ගමන ඒ ආකාරයටම එදාටත් වඩා වේගවත්ව එක්සිත්ව ,එක්සත්ව ඉදිරියට යනවාද එහෙම නැත්නම් යළි වතාවක් අන්ධකාරය දිහාවට මේ රට ඇද ගෙන යන්න ඉඩ දෙනවාද කියන තීන්දුවයි.
ප්රශ්නය - සමහරු මේක අර්ථ දක්වන්නේ, අගමැතිවරයා ඉවත් කිරීම කියන කාරණයට ලඝු කරලා. ඔබ කියන විදියට 2015 ජනවාරි අට වැනි දාට මේක සෘජුවම සම්බන්ධයි.
පිළිතුර- අනිවාරයෙන්ම. මොකද ජනවාරි මාසේ අට වැනිදා ඒකාධිපතිත්වය කරා යන රටක් ඒකාධිපති වියරුවෙන් ,පවුල්වාදයේ වියරුවෙන් ,ඒ වගේම චෞරවාදයේ වියරුවෙන්, මහා විනාශයක් කරා ගිය ගමනක් අපි මේ රටේ ජනතාව සමඟ අත්වැල් බැදගෙන නවත්වලා ප්රජාතන්ත්රවාදය, සංවර්ධනය සහ සංහිදියාව කියන ප්‍රධාන කුළුණු තුන මුල් කර ගෙන යන ගමනක් ආරම්භ කළා. නමුත් ඒ මොහොතේ සිටම ඒ පසුගිය චෞර රාජ්‍ය ක්‍රමයෙන් වාසි ගත්ත අය බලයේ හිටපු අය ඒකේ හිටපු අනෙකුත් අනුග්රහයකයන් දිගින් දිගටම ආණ්ඩුව දුර්වල කරන්න විනාශ කරන්න විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඒ තනතුරෙන් නෙරපන්න කුමන්ත්‍රණය කළා කියන එක අපිට රහසක් නොවේ. නමුත් ජනවාරි අට වැනිදා විතරක් නෙවෙයි යළි වතාවක් මේ අයව මහා මැතිවරණයේදීත් ජනතාව ප්‍රතික්ෂේප කළා.
ඉන් පසුව තමයි මේ කණ්ඩායම විවිධ උපක්‍රම යෙදමින් මේ ආණ්ඩුව දුර්වල කරන්න උත්සහ කරන්නේ. විශේෂයෙන්ම අද මේ අයගේ හොරකම් මැරකම් දූෂණ ගැන සොයමින් තියෙන මොහොතක්. කොහොම හරි අපි ඒවා උසාවිවලට දැන් ක්‍රමක් ක්‍රමයෙන් ගෙනත් තියෙනවා.. ඒ කරපු හොරකම් මැරකම් මිනී මැරුම් ආදිය එක රාත්‍රියකින් අවුරුද්දකින් දෙකින්වත් හොයා ගන්න පුළුවන් දේවල් නොවේ. නමුත් දැන් ඒවා එන නිසා තවත් කළබල වෙලා.
මේ නඩු සියල්ල යටපත් කර ගන්න තියෙන වුවමනාවට යළි බලයට ඇවිල්ලා චෞර රාජ්‍ය ක්‍රමය ඇති කරන්න මේ අය දැන් කටයුතු කරනවා. මෙහි තිබෙන අලුත්ම උපක්‍රමය තමයි අගමැතිවරයාට පමණක් නොවෙයි ,විශ්වාස භංගය ආණ්ඩුවටත් එරෙහි විශ්වාස භංගයක් කියන එක පැහැදිලිවම සඳහන් වෙනවා. ආණ්ඩුව ඇතුළේ ඉන්න ඒකාබද්ධ විපක්ෂයේ ඒජන්තවරුත් සමඟ එකතු වී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට විශාලම ශක්තියක් වෙන, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කරන්න පරිත්‍යාගයක් කළ අවංකවම මහා කැපවීමක් කරපු අගමැතිතුමා ඒ අයගේ ප්‍රථම ඉලක්කය වෙලා තියෙනවා. අගමැතිතුමා මෙතනින් අයින් කර ගත්තොත් ඒ අයට ඡන්දය දෙවතාවක් පැරදිච්ච මේ කණ්ඩායම්වලට පස්ස දොරෙන් ජනාධිපති පුටුවට ඒමේ වැඩපිළිවෙළේ පළමු වැනි පියවර හැටියට තමයි මම දකින්නේ.
ප්රශ්නය- සමහරු විශ්වාස කරනවා ජනාධිපතිතුමා සහ ආණ්ඩුව අතරත් ගැටුමක් තිබෙනවා කියලා. ඒක ඇත්තක් තියෙනවාද. මොකක්ද මේක.
පිළිතුර - ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා සහ ආණ්ඩුව අතර ගැටුමක් කිසිසේත්ම නැහැ. මොකද පක්ෂ දෙකේම අය ජනාධිපතිතුමාට ඉතාමත් ගරු කරනවා .එතුමා බොහෝම ප්‍රසන්න හැම දේටම අහුම්කන් දෙන පුද්ගලයෙක්. නමුත් ජනාධිපතිතුමාගේ පැත්තෙනුත් තමන්ගේ පක්ෂය තුළ කණ්ඩායම් කිහිපයක් සමතුලනය කරන්න එතුමාට සිදු වෙලා තිබෙනවා.
ඒ නිසා විශේෂයෙන්ම ඡන්දයෙන් පස්සේ ඡන්දය දිනුවාට පස්සේ එතුමා ජනාධිපතිවරයා වන දවස වෙනකනුත් එතුමාට අභූත චෝදනා කරපු එතුමාට බැනපු එතුමාට කුණු හරුප කියපු පිරිසක් ඇමැතිධූර සඳහා ආණ්ඩුවට එකතු වුණා. ඒ අය තමයි ඇත්ත වශයෙන්ම මේ කණ්ඩායම මෙහෙය වීමේ කටයුත්ත මෙහෙයවන්නේ. නමුත් එතනදී ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට පොදු ජන එක්සත් පෙරමුණේ නායකයා හැටියට මධ්‍යස්ථ පිළිවෙතක් ගෙන යන්න සිදු වෙලා තිබෙනවා.
ප්රශ්නය- දේශපාලන විචාරකයෝ මේ ආණ්ඩුවට විවිධ විවේචන ගෙනවා. ඒ අතර අතුරුදන් වුවන් සම්බන්ධව ආණ්ඩුව කටයුතු කිරීමට ගත් නව පියවර, තොරතුරු දැන ගැනිමේ පනත, ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ගත් අලුත් පියවර, මේවා සාධනීය ලක්ෂණ හැටියටත් විචාරකයෝ දකිනවා. දැන් විශ්වාස භංගයෙන් පස්සේ මේ ඔක්කොම හොඳ වැඩ රිවස් වෙයි ද කියන ප්රශ්නය තිබෙනවා.
පිළිතුර- නැහැ. කොහොමද රිවස් වෙන්නේ. රිවස් වෙන්න අපි පරදින්න එපායැයි. කිසිම හේතුවකින් මේ විශ්වාස භංගය අපි පරදින්නේ නැහැ. මම කේන්දර බලලා, සාස්තර බලලා, තාරකා දිහා බලලා කියන දෙයක් නොවේ. ප්‍රායෝගිකව පාර්ලිමේන්තුව ඇතුලේ තිබෙන තත්ත්වය දැනගෙන කියන දෙයක්. මොකද එක පැත්තකින් පාර්ලිමේන්තුව තුළ රනිල් වික්‍රමසිංහ ඇගමැතිතුමාට විශාල ගෞරවයක් තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළත් ඒ ගෞරවය සමහරුන් තුළ තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා විය යුතුයි, පක්ෂ නායකයා විය යුතුයි, කියන තීන්දුව අරගෙන තිබෙනවා.
ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම ඒ අය මෙම යෝජනාවේ දී ගන්න තීන්දුව ගැන මට කතා කරන්න බැහැ. ඒ ගැන දන්නෙත් නැහැ. නමුත් ඒ අය අපිට කියලා තිබෙනවා කිසිම හේතුවකට යළි අර චෞර යුගයට යන පාර ලෑස්ති කරන්න සම්මාදන් වෙන්නේ නැති බව. ඒ වගේම ටීන්. එන්. ඒ. සංවිධානය ආගම්වාදී ,ජාතිවාදී පසුගිය යුගය පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරන නිසා ඒ අයගේ සහයෝගය නොලැබෙන බව අපි දන්නවා. මෙතන ප්‍රධාන සාධකය තමයි කවුරු මොනවා කිව්වත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා.
ඒතුමා කරපු කැපවීම ජනාධිපතිතුමා හොඳින් දන්නවා. මොකද ඉතිහාසය දිහා බැලුවාම පෙන දෙයක් තමයි පක්ෂ නායකයෙක් තමන්ගේ අපේක්ෂකත්වය, සාමාන්‍යයෙන් දින්නත් පැරදුනත් ලෙහෙසියෙන් අත් හරින්නේ නැහැ. මට මතකයි 1988 ජනාධිපතිවරණය. මම මාතර ආසනයේ සංවිධායකවරයා හැටියට මුල් වතාවට පත් වෙච්ච අවස්ථාවේ මීට අවුරුදු තිහකට ඉස්සෙල්ලා ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණයට මුහුණ දෙන්න ඒකාබද්ධ විපක්ෂයක් ඇති කරන්න සාකච්ඡා කළා. මුස්ලිම් කොන්ග්රසය, ලිබරල් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ මේ සාකච්ඡාවට සහභාගී වුණා.
මේ යුගයේ අපි අලුතින් ආපු අය. අපිට තවම මතකයි මේ වගේ පොදු වේදිකාවක් හදන්න සාකච්ඡා කරපු වෙලාව. සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියට මම ඉතාමත් ගරු කරනවා. මම ඉතාමත් ආදරය කරන නායිකාවක්. නමුත් ඒ වෙලාවේ එතුමිය හැරෙන්න වෙන පොදු අපේක්ෂකයෙක් දාන්න කැමැති වුණේ නැහැ. ඒක ප්‍රතික්ෂේප වුණා. අපිට මතකයි 1982 දී මැතිණියට ප්‍රජා අයිතිය දුන්නේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු අපේක්ෂකයා හැටියට හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමා ආවා.නමුත් ඇත්ත වශයෙන්ම කියන්න ඕනෑ දාලා පැරැද්දුවා.
දාන්න වුවමනාවට දාලා පක්ෂය විසින්ම කොබ්බෑකඩුව මහත්මය පැරැද්දුවා. ඕනැනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එහෙම දෙයක් කරන්න තිබුණා. එක්කෝ දින්නත් පැරදුනත් මට මේ අපේක්ෂකත්වය ඕනෑමයි කියලා එතුමාටත් කියන්න තිබුණා. ඕනෑ නම් එතුමාට ඉල්ලන්න තිබුණා. මොකද ඒකටත් හොඳ කතාවක් මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනවා මට මතකයි. 2005 ජනාධිපතිවරණයට ඉස්සේල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අපේක්ෂකත්වය තීන්දු කරන්න රැස් වුණා.
ඉස්සේල්ලා අපි කතා කර කර ඉන්න කොට මහින්ද රාජපක්ෂ හිනා වෙවී කිව්වා මට මේ අපේක්ෂකත්වය ගත්තයින් පස්සේ මට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ජනාධිපතිපති අපේක්ෂකයෙක් වුණාම දින්නත් දිනුම් , පැරදුනත් දිනුම් කිව්වා. මොකද ඒකෙන් අදහස් කෙළේ .ඇත්ත වශයෙන්ම ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයෙක් වුණාම පුදුම සල්ලි ප්‍රමාණයක් මැතිවරණයට හම්බු වෙනවා. පරාද වුණත් ඒ මැතිවරණ ආධාර විශාල ප්‍රමාණයත් සමඟ ගෙදර යනවා.ඒකත් දිනුමක්. ඉතින් රනිල් වික්‍රමසිංහ මහතා එහෙම හිතුවා නම්, එතුමාට ඒ කටයුත්ත ඒ විදිහට 2015 දී කරන්න තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්තුමා පොදු අපේක්ෂකයා විය යුතුයි කියපු වේලාවේම බොහොම සන්තෝෂයෙන් ඒකට එකඟ වුණා.
බොරුවට එකඟ වෙන්න තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම මුළු එක්සත් ජාතික පක්ෂයම එකාමෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළා. කබීර් හෂීම් , මලික් සමරවික්‍රම, සජිත් ප්‍රේමදාස මැතිතුමන්ලා මට මතකයි එදා තමන්ගේම අපේක්ෂකයෙක් දිනවන උනන්දුවෙන් කටයුතු කරලා. මෛත්‍රිපාල සිරිසේන දිනෙව්වා. එතනදී අනිවාර්යෙන්ම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ තිබෙන චරිත ලක්ෂණ බලපෑවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ තිබෙන අවංක භාවය ,පිරිසිදු භාවය නිසා දිනන්න අනිවාර්යෙන්ම හේතුවක් වුණා. නමුත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ කැපවීම තිබුණේ නැත්නම් ඒ ජයග්‍රහණය ඔය තරම් පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙයි කියා මම හිතන්නේ නැහැ.
ආණ්ඩුව ගත්තායින් පස්සේ මට මතකයි ජෝන් කේරී ලංකාවට ආවා.අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඔබාමාගේ රාජ්‍ය ලේකම්තුමා. එතුමා ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා මමත් එක්ක එළියට එනකොට එතුමා කිව්වා මට නම් හිතෙනවා මංගල, ඕගොල්ලන්ගේ ජනාධිපතිතුමා කියන්නෙත් තවත් නෙල්සන් මැන්ඩලා කෙනෙක් කියාලා .එහෙමම කිව්වා. එහෙම කියලා කිව්වා මම අගමැතිතුමාත් හම්බවුණා එතුමාත් ඉතාමත්ම දක්ෂ පුද්ගලයෙක්. එතුමාට සිංගප්පූරුවේ ලී ක්වාන් යු ගේ ලක්ෂණ තිබෙනවා. එහෙම නම් ලංකාවට පුදුම වාසනාවන්ත මොහොතක් උදා වෙලා තිබෙන්නේ.
නෙල්සන් මැන්ඩෙලායි, ලී ක්වාන් යුයි එකම ආණ්ඩුවකට ඇවිල්ලා රට හදනවා කිව්වා. ඒතරම් බලාපොරොත්තු තිබුණා.අපි ඒ බලාපොරොත්තු සියල්ල ඉටු නොකළත් ඇත්ත වශයෙන්ම මේ කාලය තුළදී විශේෂයෙන්ම අපේ ආර්ථිකය දැන් ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. ජනාධිපතිතුමාගෙත් උපෙදස් මත රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා තමයි ඇත්ත වශයෙන්ම ආර්ථිකය මෙහෙය වන්නේ.
එතුමා මහා ණය බරකින් හෙම්බත් වෙච්ච රටක් භාර ගත්තා. නමුත් ඒ ණය බරටත් කර ගහලා මේ අවුරුද්දේ ලංකා ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණය අපි ගෙවනවා. ට්‍රිලියන එකයි දශම නමයක්. එන අවුරුද්දේ ට්‍රිලියන හතරයි ගානක් ගෙවන්න වෙනවා. නමුත් ඒවාටත් මුහුණ දෙන්න පුළුවන් විදිහට ආර්ථිකය හැදුවා .ඒ හදපු නිසා තමයි නිදහසින් පස්සේ එක්දහස් නවසිය පනස් ගණන්වලින් පස්සේ අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පෙන්නුවේ. 2017 තමයි අපි අපනයනය වැඩියෙන්ම කෙළේ.
ඒ වගේම විදේශ ආයෝජන වැඩියෙන්ම ආපු වසර හැටියට වාර්තා ගත වුණේ 2017යි . මෙන්න මේ විදිහට ආර්ථිකය මහා කුණු කන්දකින් වැහිලා තිබුණා. ආර්ථිකය දැන් අපි ක්‍රමක් ක්‍රමයෙන් ගොඩ නගමින් සිටිනවා. ඒ වගේම ඉදිරි වසර එක හමාර තුළදී මේ ආර්ථිකයේ තවත් ප්රතිලාභ රාශියක් ජනතාවට දැක ගන්න පුළුවන් වෙයි. අපි ඇත්ත වශයෙන්ම කුහක වෙන්නේ නැතිව අපේ අගමැතිතුමාට ගෞරව මුලිකව දීලා ඉන්න ඕනෑ. මේ ගොල්ලන් විශ්වාස භංග යෝජනාව ගෙනැල්ලා තිබෙන්නේ මොකටද.
මහ බැංකුවේ බොන්ඩ් එක ගැන කතා කරනවා. ඔව් අපිත් කියනවා එතන විශාල වංචාවක් වෙලා තිබෙනවා කියලා. නමුත් ඒ වෙච්ච වංචාව ගැන හොයන්න අපේ ආණ්ඩුව තමයි ඒ අවශ්‍ය චෙක්ස් ඇන්ඩ් බැලන්සස් ලබා දුන්නේ. විශේෂයෙන් මට මතකයි 2015 අගෝස්තු මාසයේ ඡන්දේට ඉස්සේල්ලා මම ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් කිහිප දෙනෙක් හමුවෙලා කිව්වා ඕගොල්ලන් වෙනම තරග කළත්, අපි කැමැති පාර්ලිමේන්තුවේ තිබෙන මුල්‍ය ගිණුම් සම්බන්ධයෙන් තිබෙන කාරක සභාවල සභාපතිත්වය විපක්ෂයට දෙන්න. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට දෙන්න එහෙම කියලා මම විහිළුවක් කළා. මොකද ජනතා විමුක්ති පෙරමුණ අපටත් වඩා දක්ෂයිනේ හොරු අල්ලන්න.
ඒ අගමැතිතුමාගේ පණිවිඩය මම ජවීපී එකට ගෙනිච්චේ. හොරකම් කරන්න බලාපොරොත්තු වුණ ආණ්ඩුවක් නම් අපි විපක්ෂයට ඕක දෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ වගේම ආණ්ඩුවේ කීකරු ගෝලයෙක් ඇමැතිවරයෙක් ඔතන සභාපතිත්වයේ තියා ගෙන අපිටත් මේ කාලය යන්න තිබුණා. නමුත් මේ ගැන මුලින්ම පරික්ෂණයක් ඉල්ලුවේ අගමැතිතුමා පමණක් නොවෙයි. පරීක්ෂණය ඉල්ලා නිහතමානීව ජනාධිපති කොමිසමට ගියා.
ගිහිල්ලා සාක්කිත් දුන්නා. ඒ විතරක් නොවෙයි ,අන්තිමට මේකේ නැති වුණයි කිව්ව ඒ විශාල මුදල තාමත් බැංකු ගිණුමක අත්හිට වෙලා. ඒ මුදල තිබෙනවා. දැන් අපි නීති රීති ගෙනැල්ලා ඒ මුදල ලබා ගන්න පුළුවන්. නමුත් අද වෙන කොටත් හිටපු මුදල් ඇමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතාගේ එහෙම නැත්නම් හිටපු මහ බැංකු අධිපති ඒ කාලේ මේ වගේ වංචා ට්‍රිලියන ගණනක් වෙලා තාමත් ඒවා ගැන හොයා ගන්න මුකුත් නැහැ.
ඒවා ගැන හොයන්නේ නැතිව හොරු අල්ලන්න වංචා දූෂණ අල්ලන්න ක්‍රමවේදයන් නිර්මාණය කරපු පුද්ගලයාට එරෙහිව ඇගිලි දික් කරන්නේ කවුද?. ඇත්ත වශයෙන්ම මේකට ඇගිලි දික් කරන අය මේකට වැඩිපුර මහන්සි වෙන දුවන ඔය විපක්ෂයේ අය බහුතරයක් ඒ අයට තිබෙන ලොකුම ප්රශ්නය තමයි ඒ අයට වංචා දූෂණ රාශියක් තිබෙනවා.
ඒවා හොයන්න ඉස්සේල්ලා මේ ආණ්ඩුව පෙරළා ගන්නයි ඒගොල්ලන්ට ඕනෑ. දැන් එක පැත්තකින් ඒ අය චෝදනා කරනවා අගමැතිතුමා මේ ආණ්ඩුව රාජපක්ෂලාව රකිනවා කියලා. නමුත් රාජපක්ෂලාව රකිනවා නම්, රාජපක්ෂලා අත්සන් කරපු මහින්ද රාජපක්ෂ උන්නැහේ අත්සන් නොකරපු එක ඇත්ත .නමුත් නාමල් රාජපක්ෂ ඇතුලු අනිත් අය සියල්ල අත්සන් කරපු ඒ අයගේ පුර්ණ අනුග්‍රහය ලැබෙන විශ්වාස භංගයක් තමන් ආරක්ෂා කරන අගමැතිවරයාට එරෙහිව ගෙනෙයිද කියලා මම අහනවා. ඉතින් මේ ඔක්කොම බොරු කතා. මේකේ පිටිපස්සේ තිබෙන්නේ අගමැතිතුමාගේ කතාවක් නෙමෙයි. ඊට වඩා බරපතළ මේ රට ආපස්සට ගෙන යාමේ කුමන්ත්‍රණයක්.
ප්රශ්නය- මේ සියලු තත්ත්වයන් මැද ඔබ කියන්නේ විශ්වාස භංගය ඔබේ පාර්ශ්වය නියත ජයග්‍රහණයකින් ජය ලබනවා කියලද.
පිළිතුර- ඔව් .අනිවාර්යයෙන්ම.
ප්රශ්නය - මම අහන්න කැමැතියි විශ්වාස භංගයෙන් ඔබ කියන ආකාරයෙන් ඔබේ ජයග්රහණයෙන් පසු ආණ්ඩුවටත් විවේචන නොතිබුණා නෙමෙයි .මේ අවුරුදු දෙක තුන තුළ.
පිළිතුර.- අනිවාර්යයෙන්ම විශාල විවේචන ප්‍රමාණයක් තිබෙනවා. ඒක මම පිළිගන්නවා.
ප්රශ්නය - ඒ විවේචන කුමන ආකාරයකින්ද තේරුම් ගෙන මෙතනින් එහාට ගමන් කරන්නේ.
පිළිතුර - ඇත්ත වශයෙන්ම ආණ්ඩුවක තිබෙන ප්‍රධනතම විවේචනය අපි ජනවාරි අට බලයට ගෙනා බලවේගයන් හුදකලා කිරීම. ආණ්ඩුවට තිබෙන ප්‍රධානම විවේචනය තමයි අපි ජනවාරි අට බලයට ගෙනා ප්‍රතිපත්ති මාලාවෙන් ඈත්වීම. මොකද ඇත්ත වශයෙන්ම අපිට පසුගිය මේ මෑතකදී තිබුණ ගම් සභා මැතිවරණයේ ප්‍රතිඵල වලින් පේනවා. ඒකාබද්ධ විපක්ෂය ගම් මට්ටමින් විශාල ජයග්‍රහණයක් ලබා ගත්තයි කිව්වත් ඇත්ත වශයෙන්ම ඒ අයට ජාතික මැතිවරණයක් ජයග්‍රහණය කරන්න තවමත් බෑ.
තවමත් මේ රටේ ශ්‍රී ලාංකිකයන්ගේ බහුතරයක් ඒ අයට 2015 මෙන්ම අදත් විරුද්ධයි. නමුත් ඒ බහුතරයේ විශ්වාසය අපි ගැනත් අඩුවෙමින් තිබෙනවා. නමුත් අන්න ඒ නිසා මම නම් හිතන්නේ අපේ මුල්ම පියවර වෙන්න ඕනෑ ඒ 2015 අපේ මැතිවරණයේ පදනමට ගිහිල්ලා විශේෂයෙන්ම මේ රටේ ඉන්න අහිංසක දුප්පත් ජනතාවට සහන සලස්වලා අනිත් පැත්තෙන් දියුණු ලෝකයත් එක්ක ඉදිරියට යන්න පුළුවන් ආර්ථිකයක් නිර්මාණය කිරීම කියලා. ජාතිවාදය පරාජය කිරීමට අවාසනාවකට වගේ අපේ කාලයේ ජාතිවාදී කෝලහල එතනදීත් මේ කුමන්ත්රණයේ මුලාශ්රයටම යන්න පුළුවන්.
ජාතිවාදී කෝලහල වල මුලාශ්‍රය තිබෙන්නේ මේ විශ්වාස භංගයේ මුලාශ්රයමයි. ඉතින් ඒ අය පරාජය කරන්න කටයුතු කරන්න ඕනෑ. මම ඇත්ත වශයෙන්ම කියනවා පොලිසිය එහෙම ඒ වේලාවේ බොහොම හෙමින් කටයුතු කෙළේ. අපේ දියුණුව ආපස්සට අදින්න අපි කාටත් ඉඩ දෙන්නේ නැහැ. මින් ඉදිරියට එවැනි දෙයක් කෙළොත් අපි මිටත් වඩා තද තීන්දු ගන්න වෙයි.
ප්රශ්නය - ජනවාරි අට අභිලාශයන් පරදවන්න එන කුමන්ත්රණයේ කොටසක් හැටියට තමයි ජනමාධ්‍ය හා මුදල් ඇමැති මංගල සමරවීර මැතිතුමා මේ විශ්වාස භංගය හදුන්වන්නේ. මම කැමැතියි අවසාන වශයෙන් හෙට දවසේ ඔබට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජනාතා නියෝජිතයන්ට සහ ලංකාවේ ජනතාවට අවසන් වශයෙන් කෙටියෙන් කියන්න තිබෙන්නේ කුමක්ද කියලා අහන්න.
පිළිතුර - ඇත්ත වශයෙන් අපි දිනපු නිදහස අපි දිනා ගත්ත ජයග්‍රණය ඒ වගේම අපි පදනමක් ලබා දි තිබෙන මේ යහපාලන ක්‍රමය වඩ වඩාත් ශක්තිමත් කරන්න හැම කෙනෙක්ම ඒක රාශී වෙන්න ඕනෑ. විශේෂයෙන්ම අතීතයේ මේ රට බංකොළොත් කරපු විනාශ කරපු මේ රටේ සම්පත් සුරා කාපු මේ රටේ ජාතින් අතර බේද භින්න කරපු ඒ අවතාරයන්ට යළි ඉඩ නොදෙන්න කියන ඉල්ලීමයි මම කරන්නේ.
සටහන - රක්ෂණ ශ්‍රියන්ත
ඡායාරූප - මාලන් කරුණාරත්න
0 Comments