රුපියල් සතවලට මුල්තැන දී දූෂිත-අවිනීත ක්‍රියා සිදුවන්නේ නම් රජය කුමන ඉඩම් ප්‍රතිපත්තියක් අනුගමනය කළත් පළක් නෑ
ජනපති පොළොන්නරුවේ දී කියයි
රටේ ජනතාවගේ ඉඩම් අයිතිය පිළිබඳ ගැටලූවේ දී දේශපාලන පක්ෂ බේදයකින් තොරව සියලූදෙනාට සමාජ සාධාරණත්වය ඉටුවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
එය ජනතාව වෙත ක්‍රියාත්මක වන්නේ රුපියල් සතවලට මුල්තැන දෙමින් සහ දුෂිත සහ වෙනත් අවිනීත අන්දමින් නම් රජයක් ලෙස ඉඩම් පිළිබඳ කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කළද පළක් නොවන බව ජනාධිපතිතුමා කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට නීත්‍යානුකූල ඉඩම් ඔප්පු 1053ක් ප්‍රදානය කිරීම වෙනුවෙන් පසුගිය දා (30) පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවැති උත්සවයක් අමතමිනි.
රටම සමෘද්ධිමත් කරමින් රටට බත සපයන ගොවි ජනතාව වෙත තමන් දීර්ඝ කාලයක් පුරා භුක්ති විදින ඉඩම් කොටසේ නීත්‍යානුකූල අයිතිය ලබාදෙමින් රට පුරා ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු 1053ක් බෙදාදීම මෙලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
තමන්කඩුව, ලංකාපුර, පොළොන්නරුව, ඇළහැර සහ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවි ජනතාව වෙනුවෙන් මෙම ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම සිදුවූ අතර ඊට සමඟාමීව ශ්‍රී ලාංකීය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා විහාරස්ථාන 3කට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමත්, ආගමික සංහිඳියාව පුළුල් කරමින් ඉස්ලාම් දේවස්ථානයකට භූමිය වෙන්කර දීමත්, රජයේ කාර්යාල පිහිටි ඉඩම්වල එම කාර්යාලවල කළමනාකරණය කාර්යක්ෂම කිරීම සඳහා ඉඩම් පැවරුම් 14 ක් ලබාදීම සහ, පාසල් පද්ධතියේ උන්නතිය උදෙසා පාසල් සඳහා ඉඩම් ලබාදීමත් සිදු කෙරිණි.
පොළොන්නරුව වකුගඩු රෝහල ඉදිකෙරෙන භූමියට අදාළ ඉඩම් පැවරුම ද මෙහි දී විශේෂ හිමිකම් පත්‍රයක් මගින් වෛද්‍යාධිකාරි සම්පත් ඉන්දික කුමාර මහතා වෙත භාරදීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය.
ඉඩම් පිළිබඳ තිබෙන විවිධ ගැටලූ සම්බන්ධයෙන් රජය ගෙනියන පුළුල් ජාතික වැඩසටහනේ දී ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමා අවශ්‍ය නායකත්වය දෙමින් දීපව්‍යාප්තව ගෙනියන වැඩසටහනේ එක් වැදගත් අවස්ථාවක් වන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනට එක්වීමට ලැබීම පිළිබඳ මා ඉතාමත් සතුටු වෙනවා.
මානව සමාජයේ දීර්ඝතම ඉතිහාසයේ මිනිසුන් අතර සටන්වලට මුල්වුණේ ඉඩම් පිළිබඳ අයිතියත් සමඟයි. අතීතයේ ඉඩම් හිමි රදළ පැළැන්තිය ලෝකයේ රටවල්වල ධනේෂ්වර පන්තිය මහා විශාල ඉඩම් හිමියන් බවට පත් වෙමින්, ඒවා අත්පත් කර ගනිමින් තම ධනය සහ බලය යොදා මිනිසුන් පීඩාවට පත් කිරීමේ ඉතිහාසයක් මුළු ලෝක ඉතිහාසයේම ඉඩම් පිළිබඳ කතා කිරීමේ දී කියවෙනවා.
ඇති නැති පරතරය මෙන්ම ලෝකයේ මිනිසාගේ සටන්වල ආරම්භය සිදුවුණේ ඉඩම් මුල්කර ගනිමින් බව මාක්ස්වාදය බොහෝම පැහැදිලිව කියනවා. බ්‍රිතාන්‍ය පාලනයට අපේ රට යටත්ව තිබූ යුගයන්හි ඉංග්‍රීසි පාලකයෝ මුඩු බිම් පනත සම්මත කර සාමාන්‍ය ජනතාවගේ ඉඩම් රජයට අර ගත්තා වගේම මහා ධනපතින්ට රදළයන්ට ඒවා ලබා දුන්නා. මහා ව්‍යාපාරිකයන්ට ලබා දුන්නා. ඔවුන් අදත් භූක්ති විඳින ඇතැම් ඉඩම් සාමාන්‍ය පොදු ජනතාවගේ ඉඩම්.
ඩී. එස්. සේනානායක අගමැතිතුමාගේ ගොවි ජනපද ව්‍යාපාරය මේ රටේ ඉඩම් පිළිබඳ ඓතිහාසික පෙරළියක් ඇති කළ අවස්ථාවක්. වසර තිහක එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ යුද්ධය තුළත් උතුරු නැඟෙනහිරින් ත්‍රස්තවාදීන් උතුරු මැද පළාතට රට ඇතුළට වගේම අනිත් පැත්තෙන් වයඹ, පුත්තලම පළාතට ඌව පළාතට ඇතුළු වෙන්න තිබුණු ඉඩකඩ ඇසුරුණේ මිනිස් පවුරක් විදියට ජනපදවල ජීවත්වුණු මිනිසුන් ඒවාට මුහුණ දුන්න නිසායි. ඩී. එස්. සේනානායක මැතිතුමාගේ ගොවි ජනපද ප්‍රතිපත්තියෙන් නව ගොවි ජනපද සංස්කෘතියක් බිහි වුණා.
ඇති නැති පරතරය එයින් ඉවත් වුණා. රජරටත් වගේම නැඟෙනහිර පළාත මුල් කරගත් ඉඩම් ප්‍රතිපත්තියේ දී වඩාත් සතුටු විය හැකි කරුණු රාශියක් තිබෙනවා. මේ ඉඩම් සඳහා පැමිණි සෑම කෙනෙක්ම රටේ විවිධ ප්‍රදේශවල විවිධ මාදිලියේ ආර්ථික පසුබිම් සහ සමාජ සංස්කෘතික පසුබිම්වල අයයි. අපේ රටේ සංස්කෘතියේ තවමත් ඇතැම් දුර්වල අංශ තිබෙනවා. කුලවාදය, කුල භේදය වගේ දේවල්. පිටස්තරින් පැමිණි සෑම කෙනෙක්ම එක් කෙනෙකුට ලැබුණු සමාන ඉඩම් ප්‍රමාණයත් එක්ක ඒ ගමේ ඒ සෑම කෙනෙක්ම සහෝදරත්වයෙන් ජීවත් වන එකම ආර්ථික පසුබිමක පිරිසක් බවට පත් වුණා. ආගම, කුලය, භාෂාව ඒ සියල්ලම ගොවි ජනපද සංකල්පයෙන් ඉවත් වුණා.
ඩී.එස් සේනානායක මැතිතුමාගේ ගොවි ජනපද ව්‍යාපාරයේ විශාල වැදගත්කමක් ඇති වුණේ ඒ මතයි. ඉන්පසුව මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් ගාමිණි දිසානායක ඇමැතිතුමා මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ නව මහවැලි ශිෂ්ටාචාරයක් ඇති කළා.
එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුතමා මේ රටේ පොඩි මිනිසා උඩට ගන්න කළ මහා සමාජ ආර්ථික සංස්කෘතික පසුබිමත් එක්ක එතුමාගේ කාලසීමාවේ ගොවි ජනපද සංකල්පය ප්‍රමුඛව ගොඩනැඟුවා. මැදිරිගිරිය ගොවි ජනපද ව්‍යාපාරය, ජයන්තිපුර, ගිරිතලේ ගොවි ජනපද ව්‍යාපාරය සඳහා එදා සී.පී ද සිල්වා මැතිතුමා නායකත්වය දුන්නා. ඉඩමක අයිතිය හිමිවීම ඕනෑම කෙනෙකුගේ හිතට ලැබෙන විශාල සහනයක්, සැනසිල්ලක් සහ නිදහසක්.
ඉඩම් පිළිබඳ කටයුතු කරන මේ රටේ සියලූ අංශ පිළිබඳ ජනතාවගේ තිබෙන්නේ ප්‍රසාදයක් නොවෙයි. ඒක අද ඊයේ ප්‍රශ්නයක් නොවෙයි. ඉඩම් අමාත්‍යාංශය වේවා, ප්‍රදේශීය ලේකම් කාර්යාල, පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාල වේවා මහවැලි ඉඩම් කාර්යාල වේවා මේ සෑම ඉඩම් අංශයකම කටයුතු පිළිබඳ ජනතාවගේ ප්‍රසාදයක් නැහැ. ඒක අපි විශේෂයෙන් හිතන්න ඕනෑ. මහවැලි ගොවි ජනපදවල එක ඉඩමට තුන්දෙනෙකුට බලපත්‍රය දීලා තිබෙනවා. පොළොන්නරුවේ නව නගරයේ ප්‍රශ්නයක් තිබෙනවා.
අද උදෙත් ගෙදරින් පිට වෙන්න එනකොටත් ඒ පවුල්වල අය ආවා. අපේ ප්‍රාදේශීය ලේකම්තුමා මෙතන ඉන්නවා මම ඒ ගැන මෙතනදිම ඔබතුමාට කියන්න ඕනෑ. ඒ ඉඩම පිළිබඳ ප්‍රශ්නය තිබෙන්නේ ඒ ඉඩමේ මුල් හිමිකම තිබුණු අයගෙන් වෙනත් කෙනෙකුට ඉඩම විකුණලා තිබෙනවා. පවුලේ අනික් දරුවන්ගේ කිසිම අනුදැනුමක් නොමැතිව තමයි ඒ ඉඩම විකුණලා තිබෙන්නේ. ඒ විකිණුවායින් පසුව වෙනත් අයට පදිංචි වීමට මේ ඉඩම දීලා. ඒ පදිංචි වුණු අය ඒ ඉඩමේ ගෙවල් දොරවල් හදලා පදිංචි වුණා.
ඊළඟට මේ ඉඩමේ මුල් අයිතිය තියෙන අයිතිකරු දැන් පදිංචිවෙලා ඉන්න අයට නඩුවක් දාලා තිබෙනවා ඒ සියලූ පවුල් එයින් ඉවත් කරන්නයි කියලා. මේක මොනතරම් අමානුෂික කාරණයක් ද? මම ප්‍රාදේශීය ලේකම්තුමාටත්, දිසාපතිතුමාටත් විශේෂයෙන්ම කියන්නට ඕනෑ එතන දරු පවුල් ගණනාවක් අද අනාථ වෙලා ඉන්නවා. පසුගිය මාස ගානේ වරින් වර මා ළඟට ආවා. ඔබතුමාලා ගාවට යොමු කළා. දැන් අදත් අපේ ගෙදරට ඇවිල්ලා හිටියා . මේවගේ ප්‍රශ්නවල දි මානුෂිකත්වය විශේෂයෙන් සලකන්නට ඕනෑ.
නැත්නම් ඒ අහිංසක දරු පවුල් ගණනාවක් මහ පාරට වැටෙනවා. එවැනි කටයුත්තකදි ඒ ඉඩම් අංශ කොහොමද කටයුතු කළේ. ඒ ඉඩම් අංශයේ වගකිව යුත්තන් මේ ප්‍රශ්නයේ දී කොහොමද කටයුතු කළේ. එය මොන විදියටද නිර්මාණය වුණේ. මේවා සොයා බැලිය යුතු ප්‍රශ්න. ඒකයි මම කියන්නේ ඉඩම් අංශ සම්බන්ධයෙන් පොදුවේ ගත් කළ රටේ ජනතාවගේ පැහැදීමක් නැහැ කියලා. අපි දන්නවා ඇමැතිතුමාලා, අමාත්‍යාංශ ලේකම්තුමාලා, කොමසාරිස්තුමාලා මේ ප්‍රශ්න පිළිබඳ උත්සාහයෙන් කටයුතු කරනවා.
මූලික වශයෙන්ම අහිංසක දුප්පත් ජනතාවගේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නවලදි දේශපාලන පක්ෂ භේදයෙන් තොරව ඒ සමාජ සාධාරණත්වය මිනිසුන්ට ඉෂ්ට වෙන්න ඕනෑ. එය අපි සෑම කෙනෙකුගේම වගකීමක්.
ඒක ඉෂ්ට වෙන්නේ රුපියල් ශතවලින් නම්, ඒක ඉෂ්ට කරන්නේ වෙනත් සම්පත් ලබාගෙන නම්, ඒක ඉෂ්ට කරන්නේ වෙනත් දූෂිත ආකාරයෙන් නම්, ඒක ඉෂ්ට කරන්නේ අවිනීත ආකාරයෙන් නම් අපි රජයක් විදියට මොන ප්‍රතිපත්ති හැදුවත් ආයතන ප්‍රධානීන් මොන විදිහේ කටයුතු කරන්න ගියත් වඅඩක් නෑ. පහළ සිද්ධ වෙන මේ සිදුවීම් සීලාචාරකමින් ඉතාමත් බැහැර වුණු දේවල්. ඉඩම් පිළිබඳ කතා කළොත් කඳුළු වැටෙන දේවල් කියන්න පුළුවන්. ඒවා මේ ඊයේ පෙරේදා සිද්ද වුණු දේවල් නොවෙයි.
උසාවිවල නඩු ගොඩගැහිලා තිබෙන්නේ ඉඩම් ආරවුල් එක්කයි. භික්ෂූන්වහන්සේලා, සාමාන්‍ය ජනතාව, රජයේ නිලධාරීන් ඉඩම් ආරවුල්වලදි මොනතරම් උසාවි යනවද?. ඉඩමක් පිළිබඳ නිරවුල් තීන්දුවක් දෙන විට හැමවේලේම එය ඉතාම සාධාරණ තීන්දුවක් වෙන්න ඕනෑ. එහෙම නැත්නම් මුළු පරම්පරාවක් එළියට යනවා.
මුළු පරම්පාරවක් පාරට වැටෙනවා. ඉතාම අවංකව නිවැරැදිව තීන්දු ගත යුතු දේවල් තමයි ඉඩම් පිළිබඳ ආරවුල් නිරවුල් කිරීම. ඔප්පු ලබාදෙන විට ඒ පිළිබඳ අවශ්‍ය පසුබිම කොයි ආකාරයෙන් ද කියා සොයලා බැලීම වැදගත්. මේ තත්ත්වය අද ඊයේ තත්ත්වයක් නොවෙයි. ඊයේ පෙරේදා තත්ත්වයක් නොවෙයි. මේ කාරණා ඉඩම් ක්ෂේත්‍රයේ කටයුතු කරන අංශවල තිබෙනවා.
අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය අමාත්‍ය ටී.බී ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් රැසක් සහ දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය
0 Comments