Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රේඛීය අමාත්‍යාංශත් පළාත් සභාත් සුහදව වැඩ කළ යුතුයි

 

ජනපති
මේ ආයතන ගැටුණොත් පීඩාව ජනතාවටයි

රේඛීය අමාත්‍යාංශ සහ පළාත් සභා සුහදතාවෙන් හා එකඟතාවෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

අයිතිවාසිකම් සහ වරප්‍රසාද පිළිබඳ මෙම ආයතන දෙක අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවුවහොත් ඉන් පීඩාවට පත්වන්නේ ප්‍රතිලාභ ලබන ජනතාව බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ 30 දා පෙරවරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවැති පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම පිළිබඳ වැඩසටහනකට එක්වෙමිනි.

කුමන ආණ්ඩුවකට වුවද කුමන දේශපාලනඥයකුට හෝ රාජ්‍ය නිලධාරියකුට වුවද රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සැකසී ඇති ආයතන ව්‍යුහය මත සුහදතාවෙන් සහ එකඟතාවෙන් යුතුව කටයුතු කිරීමේ වගකීම පැවරෙන බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

මෙම හමුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ ජාතියේ දරුවන් උගතුන් කිරීමේ වගකීම ඉටුකිරීමේ දී සියලුදෙනා සාමුහිකත්වයෙන් සහ අවංක කැපවීමෙන් යුතුව වගකීම් ඉටුකළ යුතු බවයි. අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍ය සම්පත් ලබාදෙනවා සේම දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් සහ සදාචාරවත් සමාජයක් සඳහා නිසි මඟපෙන්වීමක් ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

පොළොන්නරුව දිස්ත්‍රික්යේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය, ප්‍රගතිය, ගැටලු සහ අභියෝග මෙන්ම අඩුපාඩු හඳුනාගනිමින් හෙට දවසේ වඩා ගුණාත්මක මෙන්ම උසස් ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීම අරමුණු කර ගනිමින් මෙම හමුව කැඳවා තිබුණි.

දරුවන්ගේ අධ්‍යාපනික දැනුම වර්ධනය කිරීම මෙන්ම සදාචාර සම්පන්න යහපත් දරු පිරිසක් ගොඩනැඟීම සඳහා දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ආරම්භය ලෙස මෙය හැදින්විය හැකි බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා ඉදිරියේ දී මාස තුනකට වරක් මෙවන් හමුවීම් පවත්වමින් මෙම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර දිස්ත්‍රික්කයේ පාසල්වල විභාග ප්‍රතිඵල සාධනය පිළිබඳ විග්‍රහයක් ද සිදු කෙරිණි.

අධ්‍යාපන නිලධාරීන්, අධ්‍යාපන උපදේශකවරුන් සහ විදුහල්පතිවරුන් මෙහිදී දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳ කරුණු ඉදිරිපත් කළහ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරචිචි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();