Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එජාපයේ නව නිල මඬුල්ලට කෘත්‍යාධිකාරියේ ඒකමතික අනුමැතිය

Author(s): 
ශිරෝමි අබයසිංහ

එක්සත් ජාතික පක්ෂයේ තනතුරු සඳහා පක්ෂයේ දේශපාලන උපදේශන මණ්ඩලය පෙරේදා තෝරා ගත් නව නිලධාරී මණ්ඩලයට පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල ඒකමතික අනුමැතිය ඊයේ (26) ලැබී ඇත.

ඒ අනුව පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස, සභාපති ලෙස අමාත්‍ය කබීර් හෂීම්, මහ ලේකම් ‍ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක ලෙස අමාත්‍ය නවීන් දිසානායක, මහා භාණ්ඩාගාරික ලෙස රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහත්වරුන් අදාළ තනතුරු සඳහා ඒකමතිකව තේරී‍ පත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පක්ෂයේ උප නායක ධුරයට පත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජික හිටපු කතානායකවරයකු වු ජෝශප් මයිකල් පෙරේරා මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විරුද්ධ වූ නමුදු අදාළ පත් කිරීමේ කිසිදු වෙනසක් සිදු නොවු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේ දි ඊයේ රැස් වුයේ දේශපාලන උපදේශන මණ්ඩලය තෝරා ගැණුනු නිලධාරි මණ්ඩලයට අනුමැතිය ලබා දීම සඳහාය.

රවි කරුණානායක මහතා උප නායක තනතුරට පත් වීමට පෙර ඔහුට ඇති චෝදනාවලින් නිවැරිදිකරු විය යුතු බව ජෝශප් මයිකල් පෙරේරා මහතා පැවසිය. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට පෙරේරා මහතා අවස්ථාව ඉල්ලා සිටිය ද අනුමත තනතුරකට විරෝධය පළ කිරීම සඳහා පක්ෂ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තුනෙන් එකක් සිටිය යුතු බැවින් රවි කරුණානායක මහතාගේ පත්වීමට තුනෙන් එකක විරෝධයක් දක්වන ලෙස දැනුම් දුන් අවස්ථාවේ දී අත උස්සා විරොධය පළ කරනු ලැබුවේ රන්ජන් රාමනායක මහතා පමණක් බැවින් පෙරේරා මහතාට ඒ සඳහා ඉඩ නොලැබිණි. ඒ අනුව රවි කරුණානායක මහතා උප නායක ධුරයට පත් කරනු ලැබිණි. රවි කරුණානායක මහතාගේ පත්වීමට විරෝධය දක්වමින් පෙරේරා මහතා කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉල්ලා අස් විය.

පක්ෂයේ ප්‍රචාරක සහ ජනසන්නිවේදන ලේකම් ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද, ජාතික මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සභාපති ලෙස අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ද තෝරා පත් කර ගැනිණි.

වෘත්තිය සමිති කටයුතු ලේකම් ලෙස රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා ද , සහකාර ලේකම් ලෙස රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද පත් කෙරිණි. අනෙකුත් තනතුරු වන ජාතික යොවුන් පෙරමුණ , ජාතික සේවක සංගමය හා එක්සත් ලක්වනිතා සංවිධානය සඳහා මැයි දිනයේ දී පත් කිරීම් සිදු කිරීමට තීරණය විය.

මෙහිදී අමාත්‍ය ‍‍ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේ පක්ෂය සහ පක්ෂ නායකත්වය ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කිරීම බරපතළ ගැටලුවක් වී ඇති බවයි. ජේ.ආර්.ජයවර්ධන මහතාගේ යුගයේ දී එසේ විවේචනය කළ අයට විනය පියවර ගත් බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් සාකච්ජා කළ කෘත්‍යාධිකාරි මණ්ඩලය පක්ෂය සහ නායකත්වය විවේචනය කරන සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත් හිටුවා විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළේය.

මෙහිදි රාජ්‍ය අමාත්‍ය අජිත් පි.පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ පක්ෂයේ නිලතල සඳහා ඡන්දයෙන් තෝරා පත් කර ගත යුතු බවට පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවය.

 


නියෝජ්‍ය - උප නායකවරුන්ට මහලේකම්ට ජාතික සංවිධායකට පූර්ණ බලතල

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ නියෝජ්‍ය නායක, උප නායක, මහලේකම් සහ ජාතික සංවිධායක තනතුරුවලට පූර්ණ බලතල පිරිනැමීමට පක්ෂය තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමි වී තිබෙන පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස , උපනායක හිටපු අමාත්‍ය රවි කරුණානායක, ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහත්වරුන්ට ජාතික මට්ටමින් සංවිධාන කටයුතු මෙහෙයවීමේ පූර්ණ බලතල පැවරේ.

මහ ලේකම් ලෙස පත් වී‍ සිටින අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට පක්ෂ මූලස්ථානයේ කටයුතු මෙන්ම අනෙකුත් දේශපාලන හා සිවිල් සංවිධානය සමඟ කටයුතු කිරීමේ පූර්ණ බලතල පැවරේ.

ඊට අමතරව පක්ෂයේ ප්‍රචාරණ කටයුතු පිළිබඳ කමිටුවේ ලේකම් ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාටද වෘත්තිය සමිති ලේකම් ලෙස අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාටද බලතල හිමි වේ.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙතෙක් කල් දැරූ තනතුරුවලට අලුත් මුහුණු පත්වීමෙන් පසු වසරක් ඇතුළත පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයට පත් කිරීමට නියමිතය.

ශිරෝමි අබයසිංහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();