Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෘත්තීය අනතුරු සහ ලෙඩරෝගවලින් සෑම රටකම දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට හතරක් අහිමි වෙනවා

වෘත්තීය අනතුරු සහ ලෙඩරෝගවලින් සෑම රටකම දළ ජාතික නිෂ්පාදනයෙන් 4% ක් පමණ අහිමි වෙන බව කම්කරු , වෘත්තීය සමිති සබඳතා වැඩ බලන ඇමැති මලික් සමරවික්‍රම මහතා පවසයි.ඒ මහතා මේ බව පැවසුවේ ලෝක සුරක්ෂිතතා හා සෞඛ්‍ය දින සම්මන්ත්‍රණයේදීය. සම්මන්ත්‍රණය ඊයේ (27) පැවැත්විණි. ඇමැතිවරයා එහිදී මෙසේද කීය.

සෑම වර්ෂයකම අප්‍රියෙල් 28 දින ලෝක සුරක්ෂිතතා හා සෞඛ්‍ය දිනය ( world day for safety and health at work ) ලෙස 2003 වර්ෂයේ සිට ජාත්‍යන්තර කම්කරු සංවිධානය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

මේ දිනය සැමරීම වෙනුවෙන් ලොව පුරා රටවල වෘත්තීය අනතුරු සහ ලෙඩරෝගවලින් මියගිය අය සහ එයින් විපතට පත් වූ අය සිහිපත් කිරීමත් අනතුරු සහ ලෙඩරෝග වලක්වා ගැනීම පිළිබඳවත් සේවක, සේව්‍ය පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමත් සිදු කෙරේ.

වෘත්තීය අනතුරු සහ ලෙඩරෝග නිසා සෑම රටකම දළ ජාතික නිෂ්පාදනයෙන් 4% ක් පමණ අහිමි වන බව ජාත්‍යන්තර කම්කරු සංවිධාන සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාවේ වෘත්තීය අනතුරුවලින් පමණක් සෑම වර්ෂයකම වැඩ කරන මිනිස් දින ලක්ෂ 5ක පමණ ප්‍රමාණයක් අපතේ යයි. මූල්‍යමය වශයෙන් ගත්කල මේ ප්‍රමාණය ඉතා විශාල අගයකි.

මේ නිසා වැඩ කරන ජනතාවගේ වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍යය කෙරෙහි නිසි අවධානයක් යොමු නොකොට ආර්ථික ඵලදායිතාව උපරිම මට්ටමකට ළඟා කරවා ගැනීම කළ නොහැක.

අනතුරු හා ලෙඩ රෝගවලින් සිදුවන හානි නිසා සේවක සේව්‍ය සහ රජය යන සියලුම පාර්ශ්වයන්ට විශාල පාඩුවක් සිදුවේ. මෙහිදී සේවකයාට සිදුවන හානිය ඉතා විශාල වන අතර පූර්ණ දුබලතාවකට පත්වුවහොත් ඔහුගේ ජීවිතයේ ඉදිරියට විශාල ආර්ථික හා සමාජයීය ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවේ. මරණීය අනතුරක් සිදුවුවහොත් ඔහුගෙන් යැපෙන්නන්ගේ ආර්ථිකයට බලපෑම් ඇතිවේ. තවද එය සමාජ ප්‍රශ්නයක් බවට පත්වේ. නිෂ්පාදන හා සේවා සැපයුම් ආයතනවල සිදුවන අනතුරු නිසා විශාල වියදම් දැරීමට සිදුවීම හේතුවෙන් අනියම් අන්දමින් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමටද එය හේතුවේ.

අනතුරු සහ ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් රජයට දැරීමට සිදුවන වියදම ඉතා අධික වන අතර එය රටේ සියලුම ජනතාවට අමතර වැය බරක් වන බව පෙනීයයි. එම නිසා අනතුරු හා ලෙඩ රෝග අඩු කළහොත් එමගින් වියදම් අඩු කර ගැනීමට ද, භාණ්ඩ හා සේවා සඳහා දැරීමට සිදුවන අමතර පිරිවැය අඩු කර ගැනීමට ද හැකි වන අතර එමගින් ජීවන වියදම ද අඩු කළ හැක.

වෘත්තීය අනතුරු හා ලෙඩ රෝග වැළැක්වීමේ සංස්කෘතියක් ඇති කිරීමට සේවක සහ සේව්‍ය යන දෙපාර්ශ්වයම උනන්දු කිරීම හා ජනතාව දැනුවත් කිරීම ලෝක සුරක්ෂිතතා හා සෞඛ්‍ය දින වැඩසටහන් වල අරමුණයි.

මේ සඳහා සේවකයන්ට සුරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න සේවා තත්ත්වයන් ලබාදීමේ මූලික වගකීම දරන සේව්‍යයා , කළමනාකරුවන් , අධීක්ෂකයන් සහ වෘත්තීය සමිති යනාදී සියලු පාර්ශ්වයන් අවංකවම අත්වැල් බැඳගෙන වැඩ කළ යුතුයි.

ඔසවන යන්ත්‍ර, වාෂ්ප බොයිලේරු වැනි අති අන්තරාදායි යන්ත්‍ර සූත්‍රවල සුරක්ෂිතතාව තහවුරු කිරීමේ ක්‍රියාමාර්ග කෙරෙහි කම්කරු දෙපාර්තමේන්තුව හා අමාත්‍යාංශය වැඩි වශයෙන් අවධානය යොමු කරවීමට පියවර ගැනීම තුළින් මේ යන්ත්‍ර සූත්‍රවලින් සිදුවන අනතුරු අඩු කිරීමට හැකිවෙනු ඇත.

අපි සෑමදෙනාම ජීවත්වීමට රැකියාවක් කළ යුතුයි. රැකියා ස්ථානයේ සුරක්ෂිතතාව යන්න අප සෑම දෙනාටම බලපාන පොදු දෙයකි. දේශීය කර්මාන්තශාලාවක හෝ වැඩබිමක ආරක්ෂක උපකරණ පලඳින්නට අකැමැති සේවකයන් පිටරට රැකියාවට ගිය විට ඒවා පලඳිනවා. එයට හේතු මොනවාද ? නීතිය පමණක් නොවේ. ඒ රටවල ඇති සුරක්ෂිතතා සංස්කෘතියයි. අප රටක් වශයෙන් අපේ කර්මාන්තශාලා හා වැඩබිම් තුළ ද සුරක්ෂිතතා නීති රීති පිළිපදින සුරක්ෂිතතා සංස්කෘතියක් ඇති කළ යුතුයි.

ඒ සඳහා පාසල් යන අවධියේ සිට වෘත්තීය සුරක්ෂිතතාව පිළිබඳ දැනුම ලබා දිය යුතු අතර මේ කාර්යය සඵල කර ගැනීමට පාසල් හා තාක්ෂණ ආයතනවල පාඨමාලාවලට වෘත්තීය සුරක්ෂිතතාව විෂයක් වශයෙන් ඇතුළත් කිරීමට පියවර ගත යුතුව තිබෙනවා.

ඔබගේ ආයතන තුළ වෘත්තීය සුරක්ෂිතතාව ඉහළ නැංවීමට මගේ අමාත්‍යාංශයේ උපරිම සහාය ලබා ගන්නා මෙන් මම ඔබට යෝජනා කරමි.

වෘත්තීය අනතුරු හා ලෙඩ රෝග අවම කරගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය ඉදිරියට ගෙන යෑමට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();