කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ 56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනය වූ ඊයේ වසර 29ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් බිඳ වැටෙයි. වලල ඒ රත්නායක විදුහලේ දිල්ෂි ශ්‍යාමලී කුමාරසිංහ මීටර් 800 කාන්තා ඉසව්ව විනාඩි 2: 09. 15කින් එම වාර්තාව බිහිකළ අතර පැරණි වාර්තාව 1989දී ධම්මිකා මැණිකේ විසින් විනාඩි 2: 10. 50කින් හොංකොං හී පැවැති ආසියානු කනිෂ්ඨ අන්තර් නගර ශූරතාවලියේදී පිහිටුවා තිබුණි.
වලල ඒ රත්නායක විදුහලේ දිල්ෂි ශ්‍යාමලී කුමාරසිංහ මීටර් 800 ඉසව්වේ මූලික වටය විනාඩි 2: 10. 06කින් නිමා කොට පසුව පැවැති අවසන් තරගයේදී තවදුරටත් ප්‍රගතියක් පෙන්නුම් කොට වාර්තා පොත් අතරට පිවිසීම කැපී පෙණුනි.
මෙම ශූරතාවලියේ පළමු දිනයේදී ශ්‍රී ලංකා වාර්තාවක් හා නව තරග වාර්තා 7ක් බිහිවූ අතර වාර්තාවක් සමවිය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2600ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය අලුතින් ඉදිකළ ධාවන පථයේ පැවැත්වුණි. මෙහිදී බිහිවූ නව ශ්‍රී ලංකා වාර්තාව යාපනය දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය නියෝජනය කරමින් 23න් පහළ කාන්තා රිටි පැනීමේ ඉසව්වෙන් තරග කළ ජෙගදීස්වරන් අනීතා පිහිට වූවාය. අනීතා මීටර් 3.55කින් නව ශ්‍රී ලංකා වාර්තාව බිහිකළ අතර පැරණි රිටි පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව ඇය විසින්ම පසුගිය වසරේදී මීටර් 3.48කින් පිහිටුවා තිබුණි.
ඊයේ දිනයේ නව තරග වාර්තා 2ක් සාන්ත පීතර් විදුහලේ ක්‍රීඩකයන් දෙදෙනකු බිහිකිරීම විශේෂත්වයකි. වයස 16න් පහල පිරිමි දුර පැනීමේ ඉසව්ව මීටර් 7.09ක දක්ෂතාවකින් නිමකළ හිරූෂ ඒෂාන් හා 16න් පහළ පිරිමි කවපෙත්ත විසි කිරීමේ ඉසව්ව මීටර් 55.34ක දක්ෂතාවකින් නිමකළ රමේෂ් තරංග සාන්ත පීතර් නාමය වාර්තා පොත් අතරට එක් කළහ.
වයස 16න් පහල පිරිමි දුර පැනීමේ පැරණි වාර්තාව 2015දී මීගමුව මාරිස්ටෙලා විදුහලේ ප්‍රමෝද් මධුසංඛ මීටර් 6.83කින් හා 16න් පහළ පිරිමි කවපෙත්ත විසි කිරීමේ ඉසව්වේ පැරණි වාර්තාව 1998දී එල්. එස්. එස්. වීරසිංහ මීටර් 47.90කින් පිහිටුවා තිබුණි.
වයස අවුරුදු 23න් පහළ උස පැනීමෙ ඉසව්ව මීටර් 2.20කින් නිමකළ ගම්පහ දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයේ තිවංක පෙරේරා නව තරග වාර්තාව බිහිකළ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ රොෂාන් ධනික රණතුංග මීටර් 2. 15කින් වාර්තාව සම කළේය. එහි පැරණි වාර්තාව මීටර් 2.15කින් 2014දී හා 2015දී පිළිවෙලින් තිළිණ කරුණාරත්න හා එම්. එම්. දිසානායක පිහිටුවා තිබුණි.
16න් පහළ කාන්තා යගුලිය විසිකිරීමේදී මීටර් 11.91ක දක්ෂතාවක් පෙන්වූ බිෂොප් විදුහලේ ඔවිනී චන්ද්‍රෙස්කර නව තරග වාර්තාවක් බිහිකළ අතර එහි පැරණි වාර්තාව පසුගිය වසරේදී කොළඹ කාන්තා විදුහලේ සර්ශ්රී ගුණසේකර මීටර් 11. 55කින් පිහිටුවා තිබුණි.
20න් පහළ පිරිමි මීටර් 200 නව තරග වාර්තාව තත්පර 21. 64කින් නිමකළ අකුරම්බොඩ වීරකැප්පෙට්ටිපොල විදුහලේ අරුණ දර්ශන බිහිකළ අතර පැරණි වාර්තාව තත්පර 21. 73කින් ත්‍රිත්ව විදුහලේ ෂෙනාල් රත්වත්තේ 2016දී පිහිටුවා තිබුණි. 16න් පහළ කාන්තා මීටර් 200 තත්පර 25. 86කින් නිමකළ ජයවර්ධනපුර ජනාධිපති බාලිකාවේ කවිදි සන්ජනා එදිරිසිංහ නව තරග වාර්තාවක් බිහිකරද්දී රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සදීපා හෙන්ඩර්සන් පසුගිය වසරේදී තත්පර 25. 88කින් පිහිටුවා තිබූ වාර්තාව මැකී ගියේය.
ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනය අදයි.
ඡායාරූප - නිරෝෂ් බටේපොල
0 Comments