ලංකා ස්පෝට්රයිසන් ආයතනය දෙවැනි වතාවටත් සංවිධානය කරන ‘ශ්‍රී ලංකා T – Cup’ ජාත්‍යන්තර පාපැදි තරගය පාසිකුඩා සිට මීගමුව දක්වා මැයි 4, 5 හා 6 දිනවලදී පැවැත්වේ.
නැගෙනහිර වෙරළ තීරයේ පාසිකුඩාහි ජාතික නිවාඩු නිකේතනයක් වන ‘පාසි විලා’ හෝටලයෙන් ආරම්භ වී බටහිර වෙරළ තීරයේ මීගමුව නගරයෙන් අවසන් වන මේ ‘වෙරළෙන් වෙරළට’ මහා පාපැදි තරගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝ මීටර් 350කි.
අදියර තුනකින් පැවැත්වෙන තරගයේ පළමු අදියර මැයි මස 4 වැනි දින පාසිකුඩා සිට වැලිකන්ද, දිඹුලාගල, පල්ලේගම, දෙහිඅත්තකණ්ඩිය සහ ගිරාඳුරුකෝට්ටේ හරහා මහියංගනය දක්වා පැවැත්වෙන අතර එහි දුර ප්‍රමාණය කිලෝ මීටර් 133කි.
මැයි 5 වැනි දින දෙවැනි අදියර මහියංගණයෙන් ආරම්භ වී හසලක, උඩදුම්බර, හුන්නස්ගිරිය, දිගන, තැන්නකුඹුර හරහා මහනුවරට පැමිණෙන අතර දුර ප්‍රමාණය කිලෝ මීටර් 92කි.
මැයි 6 වැනිදා මහනුවරින් ආරම්භ වන තරගයේ තෙවැනි හා අවසන් අදියර කටුගස්තොට, ගලගෙදර, මාවතගම, කුරුණෑගල, නාරම්මල, ගිරිඋල්ල, පන්නල සහ දංකොටුව හරහා මීගමුවට පැමිණ අවසන් වන අතර මේ අදියරේ දුර කිලෝ මීටර 125කි.
දෙස් විදෙස් පාපැදි කණ්ඩායම් 14ක් තරගයට සහභාගි වන අතර සම්පූර්ණ තරගය සඳහා වන මුළු වියදම දළ වශයෙන් රුපියල් මිලියන 18ක් වනු ඇත.
සමස්ත තරගයේ 1 වැනි ස්ථානයේ සිට 20 වැනි ස්ථානය දක්වා සහ දිනපතා එක් එක් අදියර ජයග්‍රාහකයන් සඳහා ලංකා ස්පොට්රයිසන් ආයතනය පිරිනමන මුළු ත්‍යාග මුදල රුපියල් මිලියන 3.7 (අමෙරිකානු ඩොලර් 23,785) කි.
ජාත්‍යන්තර පාපැදි සංගමයේ වරලත් අන්තර් ජාතික කොමිසන් මණ්ඩලයේ අධීක්ෂණය යටතේ තරගය පැවැත්වේ. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ක්‍රීඩා අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශය, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා පොලිසිය, ප්‍රාදේශීය බලධාරීන්, නැඟෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා සහ බස්නාහිර, මධ්‍යම හා ඌව පළාත්වල ප්‍රධාන අමාත්‍යවරුන් තරගයට සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව සිටිති.
ශ්‍රී ලංකාවේ දර්ශනීය දසුන් ලෝකයට ප්‍රදර්ශනය කරමින් සංචාරක ව්‍යාපාරය සමග ක්‍රීඩාව බද්ධ කෙරෙන මේ තරගය දේශීය පාපැදි තරගකරුවන්ට ඔවුන්ගේ හැකියාවන් දක්වමින් ජාත්‍යන්තර තරගකරුවන් සමග කරට කර තරග කිරීමට ලැබෙන මහඟු අවස්ථාවකි.
‘ශ්‍රී ලංකා T – Cup’ ජාත්‍යන්තර පාපැදි තරගය ප්‍රථම වතාවට පැවතියේ පසුගිය වසරේදීය. එය ඉතාමත් සාර්ථක වූ බැවින් ලෝක පාපැදි පාලක මණ්ඩලය පැකිලීමකින් තොරව මෙය 2.2 පංතියේ තරගයක් ලෙස ශ්‍රේණිගත කර තිබේ.
මෙරට ප්‍රධානතම පෙලේ ජල ක්‍රීඩා හා ත්‍රාසජනක ස්වභාවික ක්‍රීඩා සංවිධාන කරන සංචාරක ආයතනයක් වන ලංකා ස්පෝට්රයිසන් (LSR) ආයතනය වැඩියෙන්ම ප්‍රසිද්ධියට පත්වූයේ ‘කලම්බො මැරතන්’ ජාත්‍යන්තර තරගය සංවිධාන කිරීමෙනි. මීට අමතරව මේ ආයතනය ‘රම්බල් ඉන් ද ජන්ගල්’ මවුන්ටන් පාපැදි අභියෝගය, ‘විටෙල් ඇමේසන්’ ත්‍රාසජනක අභියෝගය, ඔස්ට්‍රේලියානු සර්ෆින් වෘත්තිකයන් සමග WQS රළ ක්‍රීඩා තරගය හා ‘ශ්‍රී ලන්කන් ගොල්ෆ් ක්ලැසික්’ තරගද සංවිධාන කරනු ලබයි.
තරගය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් කොළඹ ඔලිම්පික් නිවහනේදී පෙරේදා පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා කතා කරමින් පවසා සිටියේ මේ වසර තුළ දකුණු ආසියාවේ පවත්වනු ලබන එක ම ජාත්‍යන්තර පාපැදි තරගය මෙය බවය. සංචාරක ව්‍යාපාරය හා බද්ධ වෙමින් ලංකා ස්පෝට්රයිසන් ආයතනය වාර්ෂිකව ගෙන යන මේ විශිෂ්ට කාර්යය පිළිබඳ ඇමැතිවරයා එහිදී එල්.එස්.ආර්. ආයතනයේ ප්‍රධානියා වන තිලක් වීරසිංහ මහතාට ප්‍රශංසාව පුද කර සිටියේය.
“ලංකාවේ පාපැදි ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග අඩුයි. ඒ නිසා මෙවැනි තරගයක් පැවැත්වීම ඔවුන්ට ඉතා වටිනවා. මේ තරගයේ දර්ශනීය වගේම තීරණාත්මක ඉසව්වක් වන්නේ මහියංගනයේ දහ අට වංගුව තරණය කිරීමයි. මේ වංගු පදින්න අපේ කණ්ඩායම සංචිතගත කර පුහුණු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”
මෙවර තරගය සඳහා කණ්ඩායම් රටවල් 38කින් අයැදුම් පත් එවා තිබූ බවත් එහෙත් ජාත්‍යන්තර පාපැදි සංගමය විසින් අපට තෝරා දුන්නේ කණ්ඩායම් 14ක් පමණක් බවත් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.
‘කලම්බො මැරතන්’ මෙන්ම ‘ශ්‍රී ලංකා T – Cup’ තරගයද ජාත්‍යන්තරයේ නමක් තබන බව තමන්ට විශ්වාස බවද ක්‍රීඩා ඇමැතිවරයා වැඩි දුරටත් පවසා සිටියේය.
තිලක් වීරසිංහ මහතා කතා කරමින් කියා සිටියේ, මේ තරගය ආරම්භ කිරීමේ උත්සාහයේදී අරමුණ වූයේ එයට වසර තුනක් ඇතුළත ජාත්‍යන්තර පිළිගැනීම ලබා ගැනීම බවත් එහෙත් පළමු තරගයෙන්ම එම පිළිගැනීම ජාත්‍යන්තර පාපැදි සංගමයෙන් ලැබුනු බවත් ය.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති එන්.කරුණාරත්න මහතා කතා කරමින්, ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ද ඇතුළත් වන අයුරින් මහාද්වීපික පාපැදි කණ්ඩායමක් ජාත්‍යන්තර පාපැදි සංගමයේ ලියාපදිංචි කර ගැනීම අපේ මීළඟ ඉලක්කය විය යුතු බවත් එවැනි කණ්ඩායම් හතක් මේ තරගයට සහභාගි වන බවත් ප්‍රකාශ කළේය.
මධ්‍යම පළාතේ ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ සුතීෂ් බාලසුබ්‍රමනියම් හා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා යන මහත්වරුද මෙහිදී කතා කළහ.
ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් 2ක්

පාසිකුඩා සිට මීගමුව දක්වා දෙවැනි වතාවටත් පැවැත්වෙන එල්.එස්.ආර්. ‘ශ්‍රී ලංකා T – Cup’ ජාත්‍යන්තර පාපැදි තරගය සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් දෙකක් සහභාගි කරවීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය තීරණය කර තිබේ.
ජාතික පාපැදි කණ්ඩායම හා ශ්‍රී ලංකා පාපැදි සභාපතිවරයාගේ කණ්ඩායම ලෙසින් එම කණ්ඩායම් දෙක තරග වදිනු ඇත.
ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජපානය, කසකස්තානය, කොරියාව, ලාඕස්, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව හා තායිලන්තය යන රටවල් මේ තරගයට සහභාගි වන අතර ජපානය හා මැලේසියාව ද කණ්ඩායම් දෙක බැගින් ඉදිරිපත් කර තිබේ.
තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙසේය.
ජාතික කණ්ඩායම
ජානක හේමන්ත (නාවික හමුදාව), බුද්ධික වර්ණකුලසූරිය (ගුවන් හමුදාව), සන්ජු ඩීමන්ත (ගුවන් හමුදාව), චාමික සඳුන් කුමාර (ලෙම පාපැදි සමාජය), අවිශ්ක මෙඩොන්සා (නාවික හමුදාව), ජීවන් ජයසිංහ (ගුවන් හමුදාව), ඩේන් නුගේරා (ගුවන් හමුදාව), ගිහාන් පුෂ්පකුමාර (යුද හමුදාව).
පාපැදි සම්මේලන සභාපතිගේ
කණ්ඩායම
දර්ශන ප්‍රසාද් (නාවික හමුදාව), විරාන් රමේෂ් (වරාය අධිකාරිය), මදුශංක ප්‍රනාන්දු (ගුවන් හමුදාව), නිශාන්ත පෙරේරා (දෙහිවල/ගල්කිස්ස නගර සභාව), තුෂාන් රාජපක්ෂ (යුද හමුදාව), නවින් රුචිර (ගුවන් හමුදාව), සම්පත් වීරසිංහ (යුද හමුදාව), ප්‍රභාත් මදුශංක (නාවික හමුදාව)
කණ්ඩායම් කළමනාකරු: රුවන් කුමාර (ගුවන් හමුදාව)
ඡායාරූපය - චමින්ද නිරෝෂන


0 Comments