ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා මන පිටුබලයක් සේ සැලකෙන ෆෝමියුලා (F-2) අධිබලැති මොටර් බෝට්ටු තරගාවලියක් පසුගියදා කොළඹ බේරේ වැවේදී පැවැත්විණි. බේරේ වැව ආකර්ශනීය ක්‍රීඩා උද්‍යානයක් බවට පත්කළ එම සුවිශේෂී අධිබලැති මොටර් බෝට්ටු තරගාවලියට විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එක්ව සිටීම කැපී පෙණුනි.
එම බෝට්ටු තරගාවලියට තරග වැද සිටි සියලු ක්‍රීඩකයන් පරදා නෝර්වේ ජාතික ක්‍රීඩිකාවක් වූ මේටේ බ්රැන්ඩික්ට් ජයග්‍රහණය කළ අතර ඇයගේ මෝටර් බෝට්ටු ධාවන වේගය පැයට කිලෝමීටර් 195ක් පමණ විය. ඇයට දෙවැනි හා තෙවැනි වූයේ බ්‍රිතාන්‍ය ජාතික ක්‍රීඩකයන් දෙපලක් වූ ජෙමී ස්ටෙලාර්ඩ් හා රොබින් ස්ටොඩ්ර් යන දෙදෙනාය. ඔවුන්ගේ අධිබලැති මෝටර් බෝට්ටු දෙක පළමු තැනට පත්වූ නෝර්වේ ක්‍රීඩිකාවට එතරම්ම තර්ජනයක් නොවුණි.
ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ෆෝමියුලා (F-2) අධිබලැති මොටර් බෝට්ටු තරගාවලිය ආරම්භ වූ අතර බැලීස් එන්ටර්ටේන්මන්ට්ස් අධ්යක්ෂ ජෝන් ස්ටීව් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ පූර්ණ සහයෝගයෙන් තරගාවලිය සංවිධානය විය.
එහිදී ප්‍රසන්න රණවිර මහතා පැවැසූවේ විදේශිකයන්ට මෙරටට පැමිණීම උදෙසා මෙවැනි තරගාවලි සංවිධානය කිරීම වැදගත්වන බවයි. “මේ ආකර්ශනීය ක්‍රීඩාව බේරේ වැවේ පැවැත්වීම ප්‍රසංශනීය මෙහෙවරක්. අගනුවරට නුදුරු ස්ථානයක මෙවැනි තරගාවලියක් සංවිධානයේදී විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අප රට ගැන විශාල විශ්වාසයක් ඇති වෙනවා. ඉදිරියේදීත් මෙවැනි ක්‍රීඩා තරග පැවැත්විමට රජයේ දිරි ගැන්වීම් නිරතුරුව ලැබෙනවා” රණවීර මහතා පැවැසීය.
ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සමග එක්ව බේරේ වැව හැරුනු කොට ඉදිරි කාලයේදී උණවටුන වෙරළ තීරයේ හා ත්‍රීකුණාමලයේදී ෆෝමියුලා (F-2) අධිබලැති මොටර් බෝට්ටු තරගාවලි කිහිපයක්ම සංවිධාන කිරීමට පියවර ගෙන ඇත.
ලොව අති දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවන ලෝක ෆෝමියුලා (F-2) අධිබලැති මොටර් බෝට්ටු තරගාවලිය මේ වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ද කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.
තරගයෙන් ජයගත් 29 හැවිරිදි නෝර්වේ ජාතික ක්‍රීඩිකාවක් වූ මේටේ බ්රැන්ඩික්ට් පැවැසූවේ ශ්‍රී ලංකාවේ අලංකාරය අත්විදින අතරේදී මෙම තරගාවලියට එක්ව ජය ලැබීම සතුටට කරුණක් බවයි. ඇය මෙයට පෙර ලෝක ෆෝමියුලා (F-2) අධිබලැති මොටර් බෝට්ටු තරගාවලිය ජයගත් ක්‍රීඩිකාවක් ද වේ. මේ වසරේ නොවැම්බර් මාසයේදී ඇය නැවැත ශ්‍රී ලංකාවට පැමිනීමේ අපේක්සාවෙන් පසුවන්නීය.
“තරග සංවිධානය උසස් ලෙස තිබුණා. තරගය පැවැති බේරේ වැව ක්‍රීඩාවට ඉතාම උචිත තත්ත්වයක තිබුණා” ජයග්‍රාහී මේටේ බ්රැන්ඩික්ට් පැවැසූවාය.
0 Comments