Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දුමින්ද සිල්වාට එරෙහි නඩුව සී.අයි.ඩී.ය ගොතන ලද්දක්

Author(s): 
නෙල්කා මැදගෙදර

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට එරෙහි නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොතන ලද්දක් බව ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැසීය.

තමන් සතුව තිබූ නිල ගිනි අවිය හැර වෙනත් ගිනි අවියක් දුමින්ද සිල්වා මහතා භාවිතා කළ බවට කිසිදු සාක්කියක් මහාධිකරණ නඩු විභාගයේදී ඉදිරිපත් නොවූ අතර ඉදිරිපත් වූ සාක්කි නිසි ලෙස සැලකිල්ලට ගැනීමකින් තොරව මහාධිකරණ නඩු තීන්දුව ප්‍රකාශ කර ඇති බව ඒ මහතා කීය.

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට තීරණය කොට විත්තිකරුවන් පස් දෙනකුට මරණ දඬුවම නියම කර ඇත්තේ මහාධිකරණය විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමකින් තොරව යැයිද ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැසීය.

අදාළ මහාධිකරණ තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකු ගොනුකළ අභියාචනා පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියෙහි කැඳවූ අවස්ථාවේදී දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා මේ බව කීය.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, නලීන් පෙරේරා, විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවෙහි මෙම පෙත්සම් කැඳවන ලදී.

2011 වසරේ ඔක්තෝබර් මස 08 දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවෙහි විභාග කළ අතර 2015 සැප්තැම්බර් මස 08 දින එහි තීන්දුව ප්‍රකාශ කරන ලදී.

විත්තිකරුවන් පස් දෙනකු චෝදනාවලට වැරදිකරුවන් බවට තීරණය කරමින් එම විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරන ලදී.

එම විත්තිකරුවන්ගෙන් හතරදෙනෙකු වන චමින්ද ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, අනුර තුෂාර ද මෙල්, ආර්. දුමින්ද සිල්වා, සරත් කුමාර බණ්ඩාර විසින් එම නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් අභියාචන පෙත්සම් ගොනුකර තිබිණි.

එම පෙත්සම් පිළිබඳ විභාගය දින කිහිපයකදී සිදු කරන ලද අතර වැඩදුර තීරණ සලකාබැලීම ඊයේ (27) සිදු කරනලදී.

ඊයේ (27) මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී විත්තිකාර අභියාචක ආර්.දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කෙළේය.

අදාළ නඩු විභාගයේදී ඌනතා සහ පරස්පරතා 62ක් තිබූ බව ඒ මහතා සඳහන් කෙළේය. එහෙත් එම ඌනතා සැලකිය යුත්තේ නඩුවේ හරයට බලපාන්නේ නම් පමණක් බවත්, මෙම නඩුවේ හරයට එම ඌනතා බලනොපාන බැවින් එය නොසකා හරින බව නඩු තීන්දුවේම සඳහන් වන බව ඒ මහතා කීය. විත්තිකරුවන්ට සාධාරණ නඩු විභාගයක් ලැබිය හැකි බව එයින්ම තහවුරු වන බව හෙතෙම සඳහන් කෙළේය.

අභියාචනා පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම මැයි 08 දිනට කල් තැබිණි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();