Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිදහස් සහ ස්වයංපෝෂිත රටක දැක්ම එදාම දුටු ජාතියේ පියා මහාමාන්‍ය ඩී. එස්.

වර්තමාන දේශපාලන ප්‍රවාහය තුළ දේශපාලනඥයා යනු, හුදු ප්‍රලාප සහිත සහ වංචනික වූ චරිතයක් ලෙස හැඳින්වෙන තරමටම හෑල්ලුවට ලක්වෙමින් පවතී. ඒ මන්දයත් වර්තමාන දේශපාලන ක්‍රමවේදය තුළ ඊට නුසුදුසු වූ තැනැත්තන් මහජන නියෝජිතයන් බවට මහජනතාව විසින්ම පත්කිරීම තුළින්, තම වගකීම නිසි ලෙස ඉටු කිරීමට නොදත් ඔවුන්, තමන්ට හිමි වන බලයෙන් මංමුලා වී, මහජන සුබසිද්ධිය උදෙසා කැප කළ ධනය, තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා යොදාගනිමින්, කරන්නාවූ ජඩ මගඩිකම් දෑස් මානයේ පෙනෙනා නිසාවෙනි.

එවන්වූ චරිත සහතිකයකින් යුත් වර්තමානයකට හිමිකම් කියනා මෙරට දේශපාලන පොරපිටිය, මීට දශක ගණනාවකට ඉහතදී නම් ඊට හාත්පසින්ම වෙනස් වූවක් බව පැවසුවහොත් ඔබ බොහෝ විට පුදුම වනවා නොඅනුමානය. අප ඒ ගැන අද දින ඉතා අභිමානයෙන් සිහි කරනුයේ, එවන්වූ දූරදර්ශී, මහජන සුබසිද්ධිය සඳහාම පමණක් කැප වූ, දේශපාලන නායකත්වයක් සඳහා පුරෝගාමීත්වය දුන් මහත්මා සලකුණ වූ, නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ 66 වන ගුණානුස්මරණය වෙනුවෙන්ය.

වර්ෂ 1884 හි ඔක්තෝබර් මස 20 වැනි දින උදෑසන, ගම්පහ දිස්ත්‍රික්කයේ හාපිටිගම කෝරළයේ මීරිගම පිහිටි බෝතලේ වලව්වේ සියල්ලන්ට ඉතා ප්‍රීතිජනක දිනයක් විය. තම පවුලේ සිවුවන අමුත්තාගේ උපත නිසා දොන් ස්පෙටර් සේනානායක මුදලිතුමා හා කැතරිනා එළිසෙබත් ගුණසේකර සේනානායක මැතිනිය යන දෙපොළට නිම් හිම් නැති ප්‍රීතියක් ඇතිව තිබුණි. එලෙස උපත ලද දරුවා වූයේ අන් කවරෙකුවත් නොව නිදහස් ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ දොන් ස්ටීවන් සේනානායක නොහොත් ඩී. ඇස්. සේනානායක මහතාය.

එක් ගැහැනු දරුවෙකු සහ පිරිමි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ලෙස මෙලොව එළිය දුටු ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූයේ පසුකලෙක මෙරට කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ දොන් චාල්ස් සේනානායක නොහොත් ඩී. සී. සේනානායක මහතාය. එමෙන්ම ඔහුගේ දෙටු වැඩිමහල් සොහොයුරා වූයේ, නිදහස් ලංකාවක් ‍උදෙසා කඩඉම් පෑදු, අමද්‍යප ව්‍යාපාරය වෙනුවෙන් පු‍රෝගාමීත්වය ලබාදුන් ෆෙඩ්රික් රිචඩ් සේනානායක නොහොත් එෆ්. ආර්. සේනානායක මහතාය. මතක් කළ යුතු සුවිශේෂී කරුණක් වන්නේ එෆ්. ආර්. සේනානායක මැතිඳුන්ගේ උපන් දිනය ද ඊට වසර දෙකකට පෙර එනම් 1882 ඔක්තෝබර් මස දවසකම යෙදී තිබීමයි.

කුඩා ස්ටීවන් බෙහෙවින් දඩබ්බර චරිතයක් විය. ඒ දඩබ්බර බවේ බරපතළකම කොතෙක්ද යත් “ඕනෑම හොඳ පවුලක, නම කන්න එකෙක් හරි ඉන්නවානේ” යන කියමන නිතරම පාහේ ස්පෙටර් මුදලිතුමාගේ කටින් කියැවිණි. නමුත් පසු කලෙක ඩී. ඇස්. සේනානායක මහතා නිදහස් දේශයක් වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේදීත්, ස්ථිරසාර කෘෂි ආර්ථික සංවර්ධනය සඳහා දේශයට අඩිතාලම දැමීමේදීත්, එදා ඒ සොඳුරු දඩබ්බරකම තුළින් ලද පන්නරය ඉවහල් වී ඇති බැව් අපට මැනවින් ගම්‍ය වන්නකි. අධ්‍යාපනය සඳහා ද එතරම් ඇල්මක් නොදක්වන කුඩා ස්ටීවන්ගේ සිත බෙහෙවින් යොමුව තිබුණේ කෙළිලොල් වැඩ සඳහාමය. රටේ පිළිගත් ප්‍රභූ පවුලකින් පැවත එන්නෙකු වුවද, ඔහු වඩාත් ප්‍රිය කරන ලද්දේ ගමේ කොළු ගැටව් සමඟ ගම් පියසේ සහ වෙල් එළියේ මෙන්ම වන රොදේ කාලය ගත කිරීමටය. මෙවැනි ක්‍රියා කලාපය නිසා කා අතරත් ඔහු ප්‍රසිද්ධිය ඉසුළුයේ “කැලෑ ජෝන්” යන අන්වර්ථ නාමයෙනි.

ඔහුගේ මේ දඩබ්බරකම් ඉවසා ගත නොහැකි තැන, ස්පෙටර් මුදලිතුමා ඉතා දුෂ්කර තීරණයක් ගනු ලබන්නේ හේතු දෙකක් නිසාවෙන්ය. ඉන් එකක් නම් කැතරිනා එළිසෙබෙත් මැතිනියගේ නිමා නොවනා ඇවිටිල්ලයි. “තංගල්ලේ හොඳ හාමුදුරු නමක් ඉන්නවා. උන්නාන්සේට කියලාවත්, ස්ටීවන් පුතාගේ කේන්ද‍රේ බලමුකෝ” යන්න ඇය විසින් නිරන්තරයෙන් පැවසූවකි. මන්දයත් ඇයට පවා කුඩා ස්ටීවන්ගේ නොසන්ඩාල ක්‍රියා කලාපය ගැන යම් ආකාරයක බියක් තිබුණ නිසාය. ඊළඟ හේතුව ඊට වඩා බෙහෙවින් බරපතළ එකකි. ඒ නම් තම මුතුන් මිත්තන් විසින් මෙතරම් කලක් නිසැකව රැකි සේනානායක නාමය, මතු යම් දිනෙක ස්ටීවන් විසින් අකා මකා දමාවිද යන්න පිළිබඳ ස්පෙටර් මුදලිතුමා නිරන්තරයෙන් කල්පනා කරන්නට විය. මන්දයත් සේනානායකවරුන් යනු රාජකීය යුගයේ සිට අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියනා පරපුරකින් පැවත එන්නන් නිසාද එමෙන්ම තමා ද එම අභිමානය රකිමින් නිරතුරුව ජාතික සහ ආගමික පුනර්ජීවනය උදෙසා තමා සන්තක ධනය නිබඳව නොමසුරුව යොදවනා අයෙකුද වන බැවිනි.

අනුරාධපුර යුගයේ රජකම් කළ ගෝඨාභය රජතුමා (ක්‍රි.ව. 253 – 266) විසින් සිරිසංඝබෝධි රජතුමා හිස දන් දුන් ස්ථානයේ රෝපණය කිරීම උදෙසා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් රැගෙන එමින් සිටියදී, ඉතා රෑ බොහෝ වූ හෙයින්, නවාතැන් ගැනුම උදෙසා වනයේ නතර වී, ගල් තලාවක් මත බෝධි ශාඛාව සහිත පාත්‍රය තබා නින්දට ගොස් ඇති අතර, උදෑසන අවදි වී බලනා කල පාත්‍රය පලාගෙන ගල්තලාව මතම බෝධිය රෝපණය වී ඇති අයුරු දුටු රජතුමා, මේ ප්‍රාතිහාර්යය නිසා එම ස්ථානය “බෝතලේ” ලෙස නම් ‍කොට එම බෝධිය ආරක්ෂා කරමින් ඊට ඇප උපස්ථාන කිරීම සඳහ‍‍‍ා සේනාවක් පත්කරමින්, ඒ සියල්ල වෙනුවෙන් අධිපතිකම් කිරීම උ‍දෙසා, නින්දගම් ද පවරා දෙමින් එම සේනාවට පත් කළ නායකයා සේනානායක නම් විය. ඩී.එස්. සේනානායක මහතාද එම පරපුරේ ලේ ධාතුවට උරුමකම් කියන්නෙකි. වර්තමානයේද එම පරපුරේ සේනානායකවරුන් සඳහා පමණක්ම අනන්‍යවූ “බෝතලේ සේනානායක” යන නිල මුද්‍රාවද එම අභිමානවත් වරප්‍රසාදය අදටත් සිහිකරවයි.

කෙසේ හෝ එවන් වූ තත්ත්වයන් මත අවසානයේ , ඉතා දුෂ්කර වූ ගමනක් පිටත් වීමට සේනානායක මුදලිතුමා තීරණය කරන ලදී. අද මෙන් නොව එදා දුම්රියෙන් මාතර දක්වා ගමන් කොට, එතැන් පටන් වගවලසුන් සහ විෂඝෝර සර්පයන්ගෙන් ගහනවූ ද, එමෙන්ම මංපහරන්නන් ද ගැවසුණු ඝන වනාන්තරය තුළින්, අලින්ගේ පිටත්, ගැල් කරත්ත මගිනුත් තංගල්ල දක්වා ගමන් කිරීම යනු එක්තරා අන්දමක ත්‍රාසජනක ක්‍රියාවකි. ස්පෙටර් මුදලිතුමා ද එම ගමන පිටත් වුයේ එහි තරම දැනගෙන ආපසු ඒමේ ආශාව පවා පසෙකලාය. එසේ ගොස් සුප්‍රකට ජ්‍යෙතිෂ්‍ය විශාරද තංගල්ලේ ස්වාමීන් වහන්සේ මුණ ගැසී තම දරුවාගේ වේලාපත්කඩය උන්නාන්සේ වෙත ඉදිරිපත් කොට මිනිත්තු කිහිපයක් ගත වෙත්ම උන්නාන්සේ පැවසූ අනාවැකියක් නිසා ගිය පයින්ම මුදලිතුමා නැවත නිවෙස බලා ඒමට පිටත් වූයේ තවත්තම වටිනා කාලය බොරු දේවල් වෙනුවෙන් මිඩංගු කිරීම තේරුමක් නැතැයි සිතාය.

පෙරළා නිවස බලා පැමිණි එතුමාගෙන් කැතරිනා මැතිනිය විමසූයේ “ හාමුදුරුවන් ස්ටීවන් ගැන කුමක් කීවේද යන්නයි.” නමුත් ඉතා කෝප ගැන්වුණු ස්පෙටර් මුදලිතුමාගේ පිළිතුර වූයේ “උන්නාන්සේටත් ඔයාට වගේම හොඳටම පිස්සු. උන්නාන‍්සේ කියනවා මේ අපේ ස්ටීවන් දවසක මේ ර‍ටේ නිල නොලත් රජු වෙනවලු.මගේ දවස් ගානක් අපරාදේ.” යනුවෙන් පවසා කතාව හමාර කළේය.සත්‍ය වශයෙන්ම එම ස්වාමීන් වහන්සේ පැවසූ දෙය මතුදාක සැබෑවක්ම වන බැව් ස්ටෙපර් මුදලිතුමා සිහිනෙන්වත් නොසිතන්නට ඇත. නමුත් එම අනාවැකිය සැබෑවූ දා එය සියැසින් දැකීමට තරම් භාග්‍යයක් ස්ටෙපර් මුදලිතුමාට සහ එම මැතිනියට නොවීය.

තරුණ සමයේදී පවා ඉතා දඩබ්බර බවේ හිණිපෙත්තට ළඟා වූ ස්ටීවන්, දක්ෂ මල්ලවපොර ශූරයෙකු විය. පාසල් සමයේදී පිට පිට මල්ලවපොර ශූරතාවන් දිනා ගනිමින් ඔහු එම ක්‍රීඩාව අතින් නම් පාසලේ කැපී පෙනෙනා චරිතයක් විය. මෝදර ශාන්ත තෝමස් විදුහලේ, තම පන්තිවලට වඩා ඉහළ පන්තිවල සිටි සෑම ගණන්කාර සිසුවෙක්ම, තම නහරකාරකම්‍ මෙල්ලකර ගන්නා ලද්දේ ස්ටීවන්ගෙන් හොඳ හැටි ගුටිවලින් සප්පායම් වීමෙන් පසුය. මේ නිසා පාසල තුළද ඔහුව කවුරුත් ඉතා හොඳින් දන්නා චරිතයක් විය.නමුත් ඔහු අධ්‍යාපනය වෙනුවෙන් දස්කම් නොදැක්වූ නිසා, මේ කිසිවකින් තම පියාගේ ස්ථාවරය වෙනස් කිරීමට ඔහුට නොහැකි විය. තරුණ වියේ කොළඹ සිට ගෙදර පැමිණෙන විට, දුම් කෝච්චිය බෝතලේ නතර නොකරනා අවස්ථාවලදී ඔහු වේගයෙන් ගමන් ගන්නා දුම්රියෙන්ම අසල කුඹුරු මත ඇති පිදුරු ගොඩවල් වෙත පැනීමට තරම් එඩිතර සිත් ඇත්තෙකු විය. වරෙක වසූරිය රෝගියෙකු තම කර තබාගෙන සැතපුම් පහක් පමණ එක හැල්මේ රෝහල දක්වා ඔහු රැගෙන යන ලද්දේ දකිනා සියල්ලන්ම මවිත කරමින්ය. මන්දයත් එකල වසූරිය රෝගියෙකු කර තබා ගැනීම විනා එවැනි රෝගියෙකු සිටිනා ගෙදරක් අහලකට පවා කිසිවෙක් නොයන අතර, යමෙකු වසූරිය රෝගයට ගොදුරු වූ බැව් දැන ගත් විට එම රෝගියා නිවසේ තනි කොට සියල්ලන් එම නිවසින් ඉවත්ව යන මට්ටමේ බරපතළ රෝගයක් විය. වරෙක ඔහු කොළඹදී තම මිතුරෙකුට පෙම්වතිය මුණ ගැසීමට අවැසි වූ විට රික්ෂෝකරුවෙකු ලවා රික්ෂෝවක් ලබාගෙන තමා එය ඇදගෙන යමින් මිතුරාට සහ ඔහුගේ පෙම්වතියට සතුටු සාමීචියේ යෙදීමට ඉඩහසර ලබා දුනි. එවන්වූ මවිතකර චරිතයක් වූ ස්ටීවන් තරුණයාගේ එම ජවසම්පන්නබව, දඩබ්බර බව සහ එඩිතර බව පසුකලෙක සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් මෙරට නිදහස් කර ගැනුම සඳහා ඩී.ඇස්.සේනානායක මැතිතුමාට අවැසි වූ ජවයේ ආරම්භය වන්නට ඇත.

තරුණ වියේදී පවා ඔහු තම පළමු රැකියාව නිමා කරන ලද්දේ, අහිංසක දේශීය කම්කරුවෙකුට සිදුකළ අසාධාරණයට එරෙහිව සුදු ජාතික නිලධාරියකුට පියගැටපෙළින් පෙරැළී පහළට වැටීමට තරමේ පහරක් දීමකිනි. ඉන් පසු තම පියාගේ තීරණයට අනුව, පවුලේ මිනිරන් ව්‍යාපාර කටයුතුවල නිරත වෙමින් සිටිද්දී පවා ඔහු තම ව්‍යාපාරයේ කටයුතු කළ සේවකයන්ට හාම්පුතෙකුට වඩා මිතුරෙකු විය. මේ තත්ත්වය පවා පරිපාලනය අවුල් කරනා ඉතා භයානක යමක් ලෙස ස්පෙටර් මුදලිතුමා දුටුවද, එම තත්ත්වය තුළ ඇති යහපත් ලක්ෂණය පළමු කොට හඳුනා ගන්නා ලද්දේ ඔහුගේ වැඩිමහල් සොහොයුරු එෆ්.ආර්. සේනානායක මහතා විසින්ය. ප්‍රභූ පරපුරකට හිමිකම් කීවද, සාමාන්‍ය ජනතාව සමඟ නිබඳව උරෙන් උර ගැටී කටයුතු කිරීම තුළින් එම ජනතාවගේ නොමද ආදරය සහ ගෞරවයට නිරන්තරයෙන් පාත්‍ර වීම ඩී.ඇස්. සේනානායක මහතා ලැබූ භාග්‍යයකි. එම නිසාම 1924 දී මැනිං ඩෙවොන්ශේයර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ පැවැත්වූ මැතිවරණයේදී ඊට තරග කිරීම සඳහා ප්‍රභූ පිරිස් විසින් එෆ්.ආර්. සේනානායක මහතාට යෝජනා කරද්දී, ඔහු විසින් සෘජුව දෙනු ලැබූ පිළිතුර වූයේ ඊට නිසි සුදුස්සා මා නොව මාගේ සොහොයුරා යන්නයි. එනම් ඩී. ඇස්. සේනානායක මහතාගේ ජනතා ආකර්ෂණය කොපමණද යන්න ඔහු මැනවින්ම වටහාගෙන සිටි බැව් පෙනේ.

නිදහස් සටන සඳහා පළමු උත්තේජනය ඇති වන්නේ “1915 සිංහල මුස්ලිම් කෝලාහලය” අතරතුරේදීය. සුදු අධිරාජ්‍යවාදීන් විසින් සම්මත කරගත් “සුරාබදු පනතට” එරෙහිව වර්ෂ 1912 දී ආරම්භ කරන ලද ලංකා අමද්‍යප සභාවේ ඩී.ඇස්. සේනානායක මහතා ප්‍රමුඛ චරිතයක් විය. ඊට ප්‍රබල ලෙස පුරෝගාමී වූ ර‍ටේ පිළිගත් තවත් බොහෝ විද්වත් සහ කෘතහස්ත චරිත සිටි බවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඊට ආරම්භයක් ලබා දීමේදී, මුල්‍ය දායකත්වය අතින් ප්‍රමුඛ ලෙස ස්පෙටර් මුදලිතුමාද, එෆ්.ආර්. සේනානායක මහතාද කැපී පෙනේ. එහි සංවිධාන ශක්තිය සඳහා උරදුන් ප්‍රබලම චරිතයක් වූයේ ඩී.ඇස්. සේනානායක තරුණයාය. මන්දයත් යටත්විජිත රාජකීය ආණ්ඩුවේ කනෙන් දුම් පිටවීමට සමත් කෙරවූ, හාපිටිගම් කෝරළේ මහා අමද්‍යප රැස්වීම සංවිධානය කිරීමෙහිලා යෝධ ශක්තිය වූයේ ඩී.ඇස්. සේනානායක මහතාය. එකල විසිපන්දහසක් ඉක්මවූ ජන සංඛ්‍යාවක් සහභාගී වූ මෙම රැස්වීම තුළින්ම ඩී.ඇස්. සේනානායක මැතිදුන්ගේ තරුණ වියේ සිටම තිබූ නායකත්වය දීමේ ගුණය මොනවට පැහැදිලි වේ.

1915 දී බ්‍රිතාන්‍ය යටත්විජිත ආණ්ඩුව විසින්ම සූක්ෂමව දෙකොණ ඇවිළු, ජාතිවාදී කෝලාහලය සහ ඊට පසුව සිදුකළ දුර්දාන්ත පාලන ක්‍රියාවන් නිසාවෙන්, ඇතිවූ ප්‍රතිඵල සහ ඔවුන් විසින් අත්තනෝමතික ලෙස සිදුකළ මරණීය දඬුවම් නිසා කළකිරුණු අමද්‍යප ව්‍යාපාරයේ පිරි‍සගේ එකම උත්කෘෂ්ඨ අරමුණ වූයේ කෙලෙසක හෝ මෙම මව්බිම සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කර ගැනුමය. ඒ වෙනුවෙන්ද පෙරමුණ ගත් එෆ්.ආර්. සේනානායක මහතාගේ හදිසියේ සිදු වූ අකල් මරණය නිසා එම වගකීමද පැවරුණේ ඩී. ඇස්. සේනානායක මහතාගේ කර මතය. සියල්ලන්ගේ දෑස්වල දැල්වුණු බලාපොරොත්තු ඔහු මත බව වැටහීමට ඔහුට වැඩි කලක් ගත නොවීය.

එම පිරිස නිදහස සඳහා අඩිතාලම ඔහු මත ගොඩනගද්දී, ඔහු එය දුටුවේ තමන් පිට ඇත්තේ යම් කිසි සුළු පිරිසකගේ බලාපොරොත්තුවක් පමණක් නොව සමස්ත ජාතියේම අනාගතය තමන් අත බව යන යෝධ හැඟීමයි. 1919 ලංකා ජාතික සංගමය ආරම්භය සමගින් ඔහු ලබාගත් දේශපාලනික ආරම්භය මේ වන විට වඩා අත්දැකීම් බහුල තැනැත්තෙක් බවට ඔහුව පත් කොට තිබුණේ නිරායාසයෙන්මය. වර්ෂ 1931 දී ඉඩම් සහ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස ඔහු පත්වීම මෙට ඉතිහාසය වෙනස් කළ මහා වාසනාවන්ත නිමිත්තක් විය.

නිදහස් රටට අඩිතාලම දැමීම සඳහා ඇවැසි සම්පත් වන්නේ ඉඩම්, ශ්‍රමය සහ ජලය යන්න ඔහුගේ දර්ශනය විය. යටත්විජිතවාදීන් විසින් අප රටේ ස්වෛරීත්වය බිඳදැමීමේදී, අනාදිමත් කාලයක සිට අප උරුමකම් කී කෘෂි ආර්ථිකයද විනාශ කරන ලද්දේ, වැව් පෙත් පවා බිඳ දැමීමෙනි. රටේ ස්වයංපෝෂණය වැනසීම තුළින් දීන ජාතියක් බවට පත් කිරීම සඳහා සුදු අධිරාජ්‍යවාදීන් ගෙන ගිය වැඩපිළිවෙළ ඩී.ඇස්. සේනානායක මැතිදුන් ඉතා හොඳින් වටහා ගන්නා ලදී. ඊට නිසි පිළියම ලෙස වැනසූ තැන සිට යළි සැකසිය යුතු බැව් එතුමා විසින් අවධාරණය කර ගන්නා ලදී. එහෙයින් මහා පැරකුම් රජුගේ දර්ශනය නැවත ප්‍රතිරාවය කරමින් අහස්දිය ප්‍රයෝජනයට ගැනුම ‍උදෙසා ජරාවාස වූ වැව් ප්‍රතිසංස්කරණය ඇරඹිණි. ඇළහැර මිනිපේ මින්නේරිය වැනි යෝධ වාරි ව්‍යාපෘති සඳහා නව පණක් ගෙන දෙමින් මෙන්ම ගල්ඔය වැනි නව ව්‍යාපෘති බිහිකරමින් නැවතත් රජරට සහ දිගාමඩුල්ල බතින් බුලතින් සශ්‍රීක කෙරුණු අතර, වර්තමානයේ පවා අප කන බත් පතේ පිනෙන් වැඩි කොටසක් එතුමන්ට හිමි වන්නේය.

මුලදී යටත් විජිතකරණය සඳහා සෘජුව වෙඩි බලය යොදාගත් බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් පසුව ක්‍රමයෙන් එය සූක්ෂව පවත්වා ගන්නා ලද්දේ, රටේ සිටි විවිධ ජාතීන් අතර, මතභේදකාරී තත්ත්වයන් සියුම්ව නිර්මාණය කරමින්ය. මේ තත්ත්වය දුර තියා දැකීමට තරම් වාසනාවක් ඩී.ඇස්. සේනානායක මහතා සතු විය. එම නිසා එවන්වූ සූක්ෂම පිරිසක් වෙතින් නිදහස අත්කරගැනුම සඳහා කටයුතු කළ යුත්තේද ඉතා සූක්ෂමව බැව් එතුමා විසින් මැනවින් වටහා ගන්නා ලදී. අව් වැසි බාධක නොසලකා, මහා වනයන් පීරා සැතපුම් සිය ගණනක් ඇවිද යමින්, තම ගේ - දොර බිරිය දරුවන්ගෙන් පවා ඈත්ව. මහා වනයේ කල් ගෙවමින්, නව ජනපද බිහිකරමින් ජාතියේ උන්නතිය සඳහා එතුමා ගත් පියවරයන් නිසාම එතුමා අදටත් ජාතියේ පියා යන විරුදාවලිය හොබවයි. අනාදිමත් කාලයක් තිස්සේ වනස්පතීන් විසින් ගිලගත් භුමිය අස්වද්දා ඊට ජාතික අගයක් එක්කරමින් බිහිකළ ජනපද නිසා ඉන් මහඟු ඵල නෙළාගන්නෝ ඩී. ඇස්. සේනානායක මහතාණන්ව අදටත් දේවත්වයේ ලා සලකති.

නිදහස් ලංකාවක් උදෙසා ඔහු කළ කැපකිරීම් බොහෝය. බොහෝ දෙනා 1948 අප ලද නිදහස අර්ධ නිදහසක් යයි අර්ථ දක්වද්දී, එම නිදහස මතින් ඔහු මත පැටවී තිබූ වගකීම කොතරම්ද යන්න කිසිවෙකු හට වත් නොවැටහුණි. තවත් සමහරු එම නිදහස අසල්වැසි ඉන්දියාව ලද නිදහසේම උප කොටසක් ලෙස අර්ථ ගැන්වීමට තරම් ගුණ මකු වෙති. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් හට තම යටත් විජිත යළි ස්වදේශිකයින් හට පවරා දීම තරම් තවත් පාඩු ලබන්නක් නොවීය. අසල්වැසි ඉන්දියාවට ඔවුන් නිදහස ලබා දීමේදී එක අතකින් එය ඔවුන්ට වාසිදායක යමක් වූයේ, ඔවුන් ඒ වන විට එතරම් විශාල වූ ඉන්දියාවෙන් උපයාගන්නා ධනයට වඩා, සැලකිය යුතු වියදමක්, ඉන්දියාවේ කටයුතු වෙනුවෙන් ඔවුන් හට දරන්නට වී තිබූ නිසාය. නමුත් එවන් වූ පසුබිමක පවා ඉන්දියාවට එම නිදහස උදා කර ගැනීම සඳහා රුධිර ගංගාවක් මතින් ගමන් කිරීමට සිදුවිය. නමුත් ලංකාව පිළිබඳ පැවති තත්ත්වය එසේ නොවේ. ඔවුන්ට ලංකා රජය එවන් වූ පාඩුවක් ලබන්නක් නොවීය. එහෙයින් ඔවුන්ගේ සූක්ෂම අරමුණ වූයේ ලංකාව විසින් නිදහස කොතෙකුත් ඉල්ලා සිටියද එය ලබා දිය නොහැකි අන්දමේ පිළිගත හැකි කරුණු ඉදිරිපත් කරමින් ඊට වැට බැඳීමය. වරක් නිදහස ප්‍රධානය කිරීමට පෙරාතුව රටේ තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය කොට බ්‍රිතාන්‍ය රජයට වාර්ථාවක් ඉදිරිපත් කිරීම උදෙසා මෙහි පැමිණි සෝල්බරි ‍කොමිසමේ සාමාජිකයන්, නිරීක්ෂණ චාරිකාවක් සඳහා අනුරාධපුරය බලා ගමන් ගන්නා අතරතුර පොල්ගහවෙලදී, ඉංග්‍රීසි බස චතුර ලෙස හැසිරවිය හැකි, කුඹුරේ වැඩ කරනා ගොවීන් පිරිසක් මුණ ගැසුණි. එම කොමිසමේ සාමාජිකයින් එම නිසා තම වාර්තාවට මෙරට අධ්‍යාපන තත්ත්වය පිළිබඳ ඉතා ඉහළ පැසසුමක් ලබා දී තිබුණි. නමුත් එම ගොවීන් ලෙස සැරසී සිටි පිරිස යොදන ලද්දේ ඩී. ඇස්. සේනානායක මැතිදුන් විසින් වන අතර ඔවුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨ ශිෂ්‍යයින් විය. එවන් වූ භාරදූර සැලසුම් යොදමින් පියවරෙන් පියවර නිදහස සඳහා ඩී.ඇස්.සේනානායක මැතිඳුන් විසින් ඉඩකඩ සකස් කර ගන්නා ලදී.

ඩොමීනියන් අන්දමේ නිදහස ලබා දීම තුළින්ද බ්‍රිතාන්‍ය ජාතිකයන් බලාපොරොත්තු වූයේ මෙරට ඉදිරි ගමන නිසි මගේ ගමන් කරවීමට නිදහස ඉල්ලූ නායකයින් සමත් වේද යන්න අධ්‍යයනය කිරීමයි. එම නිසා පළමු පියවර ලෙස කිනම් අන්දමේ හෝ නිදහසේ අයිතියක් දිනා එතැන් සිට පූර්ණ නිදහසක් දක්වා පියවරෙන් පියවර ගමන් ගැනීම ඔහුගේ අරමුණ විය.

එම නිසාම ස්වයංපෝෂිත ජාතියක් ලෙස අපට නිදහසේ ජීවත් වීමට හැකි බැව් ඔප්පු කරනු උදෙසා ඔහු තව දුරටත් නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා ලෙස නොනිමි මෙහෙවරක් ඉටුකළේය. තම සෞඛ්‍ය තත්ත්වය ගැන පවා නොතකමින්, වෛද්‍ය උපදෙස් පවා පසෙකලා ඔහු කටයුතු කළේ, සුදු අධිරාජ්‍යවාදීන් දෑස් අයා බලා සිටිමින් තමන් වෙත එල්ල කොට ඇති අභියෝගය ජය ගැනුම සඳහාය. සමහර වාමාංශික සහ කොමියුනිස්ට් නායකයින් විසින් ඔහුගේ ජනපද ව්‍යාපෘතිය දැඩි ලෙස විවේචනය කරමින් සිටි නිසා, පසු කලෙක බිහි වූ විශිෂ්ට නායකයෙකු විසින් ඒ පිළිබඳ එදා ඩී.ඇස්. සේනානායක මැතිදුන්ගෙන් පැනයක් අසන ලදී. එනම් මෙවැනි අවලාද ගැරහුම් මඩ මැද ජනපද ව්‍යාපෘති තවදුරටත් කරන්නේ මන්ද යන්නයි. එවිට එතුමන්ගේ පිළිතුර වී ඇත්තේ, මතු යම් දිනෙක මේ පූර්ණ නිදහසකින් පසු, අප රටේ ස්වෛරීභාවයට මහා ප්‍රශ්නයක් මතු වන්නේ නම්, එය වඩාත් මතු විය හැක්කේ දකුණෙන් නොව උතුරෙන් බවත්, මා මේ බඳින්නේ ඊට වැට බවත්ය. කුඩා වියේදී අධ්‍යාපනය පිළිබඳ ඇල්මක් නොදැක්වූ ඔහුගේ දැක්ම මහා ප්‍රාඥයින් පවා ඉක්ම යන තරමේ දර්ශනයක් විය.

තම පරපුරෙන් ලද උරුමයට අනුකූලව නිතැතින්ම හෘදසාක්ෂියට එකඟව කටයුතු කිරීම මෙන්ම, සැබෑ නිදහස උදෙසා දිවිහිමියෙන් කැප වී කටයුතු කිරීම යන දෑ ඔහු තුළ තිබූ අමිල ගුණාංගයන් විය. පරම ජනතා සේවය මිස කිසිදු වරප්‍රසාද හෝ වාසි බලාපොරොත්තු නොවූ ඔහු සැබවින්ම නියම නායකයෙකු මෙන්ම සත්‍ය ජනතා සේවකයෙකු විය. ඔහු කොණ්ඩය කැපීම සඳහා තම නිළ නිවසේ සිට කොල්ලුපිටිය දක්වා පයින් ගමන් කොට, හිතවත් බාබර් සාප්පුවේ තම වාරය එන තෙක් රැඳී සිටි අන්දමේ නිහතමානී මහත්මා චරිතයක් විය. වරෙක අග්‍රාමාත්‍යවරයා ලෙස රටවල් හතරක සංචාරය කිරීම සඳහා රජයෙන් ලබා දුන් පවුම් 150ක මුදලින් ඔහු හට සංචාරය සඳහා වියදම් වූයේ පවුම් හතළිස් පහක් පමණි. ලංකාවට පෙරළා පැමිණි විගස නොපමාව ඉතිරි පවුම් 105 ඔහු විසින් රජයට නැවත භාර දී ඇත.

මෙවන් වූ නායකයන් අප සමාජයේ වර්තමානයේ පහළ වේයැයි සිතීම පවා ඉතා උගහටය. මහජනයාගේ ධනය යනු දෙවියන්ගේ කොටසටත් වඩා උතුම් දෙයකි යන්න සිතූ ඩී.ඇස්. සේනානායක මහතා තම ඉඩකඩම් දේපොළ පවා ජනතා සේවය වෙනුවෙන්ම කැප කළ ජන නායකයෙකි. මේ දේශය මහා සංවර්ධනයක් කරා රැගෙන යමින්, නිදහසේ සුව සියල්ලන්ට රිසි සේ විඳින්නට සැලසීම උදෙසා යෝධ දැක්මක් දකිමින් සිටි ඒ උදාර යුග පුරුෂයා, වර්ෂා 1952 මාර්තු 21 වැනි දින ගාලු මුවදොර පිටියේදී වැළඳුණු ආඝාත තත්ත්වය හේතුකොටගෙන අසු පිටින් වැටීම හේතුවෙන් ඊට පසු දින නොසිතූ නිමේෂයක අප අතරින් වෙන්ව ගියේ මුළු මහත් දේශයේත් ජාතියේත් අවාසනාවකටය. ලංකාවට නිදහස ලබාදීම උදෙසා මංපෙත් විවිර කළ පුරෝගාමියා වූ එවන් වූ උදාර ගුණැති මතු දක්නා නුවණින් යුත් ජාතියේ පිනට පහළ වූ ජාතියේ පියාණන් වන මහාමාන්‍ය ඩී.ඇස්.සේනානායක ශ්‍රීමතාණන් අප හුස්ම ගන්නා සෑම මොහොතකම සිහි කිරීම අපගේ උදාර යුතුකමයි.

රංග ශ්‍රී පීරිස්
මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්
සේනානායක පදනම

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();