Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලේක්හවුස් පුවත්පත් ජනතා විශ්වාසය දිනා ගෙන තිබෙනවා

'අසිරි දියවර' ධීවර අමාත්‍යාංශ නිල පුවත්පත දොරට වැඩීමේදී ඇමැති මහින්ද අමරවීර කියයි

අසත්‍ය ප්‍රවෘත්තිවලින් මුල් පිටු සරසා ආර්ථික ලාභ ඉපැයීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන පුවත්පත් අතර නිවැරදි හා සත්‍ය තොරතුරු ජනතාවට ලබා දෙන ලේක්හවුස් පුවත්පත් ජනතා විශ්වාසය දිනා ගැනීමට සමත් ව සිටින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති සහ මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ නිල පුවත්පත ලෙස 'අසිරි දියවර' දොරට වැඩීම හා අන්තර්ජාල ඊ පුවත්පත එළිදැක්වීම නිමිත්තෙන් ලේක්හවුස් ආයතනයේ දී පැවැති උත්සවයේ දී ඇමැතිවරයා ‍ඊයේ (27) මේ බව ප්‍රකාශ කළේය.

'අසිරි දියවර' පුවත්පතේ මුල් පිටපත මෙහි දී එහි සංස්කාරිකා මාධ්‍යවේදී බුද්ධිකා ඉඹුලාන මහත්මිය විසින් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න මහතා වෙත පිළිගැන්වීමෙන් අනතුරුව ඒ මහතා විසින් එය ඇමැතිවරයා වෙත පිළිගැන්වීය.

අසිරි දියවර ඊ පුවත්පත අන්තර්ජාලයට එක් කිරීම ද මෙහි දී ඇමැතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එහි දී වැඩිදුරටත් අදහස් පළ කළ අමරවීර මහතා මෙසේ ද කීවේය.

ලේක්හවුස් ආයතනය මෙවැනි පුවත්පත් ගණනාවක් විවිධ අමාත්‍යාංශය සමඟ එක්ව නිකුත් කරන බව අපි දන්නවා. මින් පෙර ද මේ කාර්ය ලේක්හවුස් ආයතනය විසින් ක්‍රියාත්මක කළා. අද එහි තිබු යම් යම් අඩුපාඩු මඟහරවා ගෙන තවත් සාර්ථක ආකාරයකින් මේ පුවත්පත ඉදිරිපත් කරනවා. දිනමිණ පුවත්‍පතේ මාධ්‍යවේදීනි බුද්ධිකා ඉඹුලාන මහත්මිය මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අප දැනුවත් කරමින් අපේ අදහස් ද සැලකිල්ලට ගෙන විශාල උනන්දුවකින් යුතුව ජනතාවට අලුත් යමක් ලබා දීමට මෙම පුවත්පත නිර්මාණය කළා.

ධීවර ජනතාව කියවන ප්‍රමාණය අඩුයි. වර්තමානයේ දී ධීවර ජනතාව පමණක් නොවෙයි රටේ සමස්ත ජනතාවගෙන් බහුතරයක් කියවන්නේ නැහැ. කියවීමේ ලක්ෂණය අඩු වෙමින් යන මොහොතක මේ පුවත්පත එළි දැක්වුවත් තවත් නොබෝ දිනකින් කියවන ප්‍රමාණය ඉහළ යනු ඇති බවට මා විශ්වාස කරනවා. කියවන්නේ නැතිව බලන කාලයක් අද උදාවෙලා තිබෙන්නේ ජනතාව විද්‍යුත් මාධ්‍ය, අන්තර්ජාල මාධ්‍ය භාවිතයට යොමු වී සිටින නිසයි.

අද අන්තර්ජාලය ඔස්සේ සියලු දෙනා සම්බන්ධ වී සිටිනවා. මෙය දිගින් දිගටම යන්න වුණොත් පුවත්පත නැති වෙලා යනවා. පත්තරවල අවශ්‍යතාවයක් නැති වෙනවා. නමුත් හැමදේම යම් මට්ටමකට ගොස් නැති වන තත්ත්වයක් අද දක්නට ලැබෙනවා. අද බටහිර වෙඳකමට ගිය අය නැවත දේශීය වෙඳකම ගැන කතා කරනවා. කෘෂි රසායනික ද්‍රව්‍යවලට ගිය අය නැවත කාබනික පොහොර ගැන කතා කරනවා. බොහෝ තාක්ෂණික ලෙස ඉහළට ගිය කණ්ඩායම් නැවත පාරම්පරික, දේශීය ක්‍රම කෙරෙහි යොමු වී පැරණි ක්‍රමවලට නැවත ප්‍රවේශ වෙනවා. මේ තත්ත්වය මුළු ලෝකයටම පොදුයි. ඒ නිසා ඉදිරියේ දී නැවත කියවන ප්‍රමාණය වැඩි වෙන බවට විශ්වාස කළ හැකියි.

අද වන විට උදේම පුවත්පත රූපවාහිනියේ කියවනවා. ජනතාව පත්තරේ ගන්නේ නැතිව රූපවාහිනිය බලනවා. අතීතයේ දී ඇතැම් අයට පත්තරේ බලන්නේ නැතිව ඉන්න බැහැ. පත්තරේ එන තෙක් කඩයට වෙලා බලා ගෙන ඉන්න කාලයක් තිබුණා. පසුගිය කාලේ ඒ තත්ත්වය වෙනස් වුණේ විද්‍යුත් මාධ්‍යවලට අන්තර්ජාලයට ජනතාව යොමු වු නිසයි. නමුත් යම් නිවැරැදි ප්‍රවෘත්තියක් දැන ගැනීමට නම් විශ්වාසනීය මාධ්‍ය පත්තර බව අද වන විට ජනතාව තේරුම් ගෙන තිබෙනවා. ඒ අතරිනුත් විශ්වාසය තැබිය හැකි පුවත්පත් කෙරෙහි ජනතාව යොමු වෙනවා.

අද වෙළෙඳපොළේ පත්තර රැසක් තිබෙනවා. අද ඒ පත්තර බැලු විට සමහර පත්තරවල දාන ප්‍රවෘත්ති දිහා බැලු විට ඊළඟ දවසේ ඒවා නිවැරැදි කරන්න සිදු වෙලා තිබෙනවා. අසත්‍ය ප්‍රචාරවලින් පත්තර මුල්පිටුව සරසලා තිබෙනවා. විශේෂයෙන් රටේ දේශපාලනික ආන්දෝලාත්මක තොරතුරු පිළිබඳ සම්පුර්ණයෙන්ම බොරු ශීර්ෂ පාඨ යොදා ගැනීමට ඇතැම් පුවත්පත් ආයතන කටයුතු කරනවා. තමන්ගේ පත්තරය විකුණාගැනීම අරමුණු කර ගෙන ඒ වෙනුවෙන් ඕනෑම බොරුවක් පත්තරේ දාන්න ඒ අය පසුබට වෙන්නේ නැහැ.

අපි ගැන අපේ අමාත්‍යාංශය ගැනත් මේ වගේ බොරු දැම්මා. අපිත් නිවැරදි කළා. නමුත් දිගින් දිගටම මෙහෙම වුණ නිසා අපි නිවැරදි කිරීම් සිදු කිරීම අත හැර දැම්මා. මේ අය මොනවා දැම්මත් ජනතාව දන්නවා ඇත්ත මොනාද කියලා. ඒ අතරින් ලේක්හවුස් ආයතනයේ පුවත්පත් ගැන ජනතාව කෙරෙහි විශ්වාසයක් තිබෙනවා. ලේක්හවුස් පුවත්පත්වල පළ වන ප්‍රවෘත්ති නිවැරැදි ප්‍රවෘත්ති බවට රටේ පිළිගැනීමක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ආඩම්බර වීමට ලේක්හවුස් ආයතනය හැකියාව තිබෙනවා.

පත්තර විකුණා ගැනීමට ඇතැම් අය ජාතිවාදී ගැටුම්වලට ප්‍රවේශ වන පුවත් වාර්තා කරනවා. එක්තරා පුවත්පතක් මුල් පිටුවේ වඳ පෙති ගුලියක් ගැන සඳහන් කළා. මේ ලොකු ප්‍රවෘත්තිය අවසානයේ නතර වුණේ විශාල විනාශයකින්. එහි කොනක් නුවරටත් ගියා. ගිනි තියා ගත්තා. අවාසනාවන්ත තත්ත්වයක් රට තුළ ඇති වුණා. වෛද්‍යවරු පිරිසක් පසුව මේවා වඳ පෙති නොවන බවට ප්‍රකාශක් කළත් ඒ වන විට විනාශයක් වෙලා ඉවරයි. පුවත්පත්වල පමණක් නොවේ අනෙකුත් මාධ්‍යවලත් තවත් එවැනි පුවතක් පළ වුණා. දියතලාවේ බස් රථ බෝම්බය සම්බන්ධයෙන් වාර්තා වු ඒ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් හිටපු හමුදා ප්‍රධානීන් සම්බන්ධ කර ගෙන විවිධ මත ඉදිරිපත් කර තිබුණා. එහි දී හිටපු හමුදා නිලධාරීන් වන සරත් වීරසේකර, කමල් ගුණරත්න මහත්වරු මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවට මත පළ කළා.

නමුත් මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ දී සෙබළෙක් ආර්ථික ප්‍රශ්න නිසා සියදිවි නසා ගැනීමට බෝම්බයක් ගෙන යාමේ දී බස් රිය තුළ පිපිරී ගොස් තිබු බව හෙළි වී තිබෙනවා. මෙවැනි ප්‍රවෘත්ති රැසක් පළ කර රට තුළ ආන්දෝලාත්මක තත්ත්වයක් මතු කරන්න කටයුතු කළා. බොහෝ පෞද්ගලික ආයතනවලින් නිකුත් කරන පත්තරවලින් මේ තත්ත්වය මතු වුණේ. ඒ අයට අවශ්‍ය පත්තරය විකුණා ගැනීමයි. අද මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට දේශපාලන වශයෙන් පෙරළියක් ඇති කරන්න පුළුවන් බව පෙන්වා තිබෙනවා. පුද්ගලයෙක් දිනවන්න මෙන්ම පරද්දවන්නත් ඒ අයට පුළුවන් බව පෙන්වා දී තිබෙනවා.

අද මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් පාර්ලිමේන්තුවල, පළාත් සභාවල, ප්‍රාදේශීය සභාවල කටයුතු කරනවා. තමන්ගේ පක්ෂය ප්‍රවර්ධනයට කටයුතු කරන අවස්ථා තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ අද මේ පුවත්පත එළි දක්වනවා. මෙය ධීවර ජනතාවට පමණක් නොවේ රටේ සමස්ත ජනතාවට වැදගත් වන පුවත්පතක් බව කිව යුතුයි. මේ වෙනුවෙන් කැප වු සියලු දෙනාට ස්තූතිය පළ කරන්න කැමැතියි.

ලේකහවුස් සාමන්‍යාධිකාරි අභය අමරදාස මහතා - අප ආයතනය දිනමිණ පුවත්පත සමඟ මෙම සත්කාරය ආරම්භ කළේ විශේෂ හේතුවක් ඇතිවයි. දිනමිණ පුවත්පත වසර 109 ක් කාලයක් ප්‍රජාව දැන්වත් කිරීමේ අරමුණෙන් ප්‍රවෘත්ති, විශේෂාංග ඉදිරිපත් කරමින් ජනතාවගේ විවිධ සිත් සතන් ප්‍රබෝධමත්කිරීමේ හා වින්දනය ලබා දෙමින් දැනුවත් කිරීම සිදු කළා.

එහි දී රජයේ තොරතුරු ජනතාවට ලබා දෙමින්, රටේ ආරක්ෂාව සහතික කරමින් ර‍ජයේ තීරණ, සංවර්ධන කටයුතු ගැනත් ජනතාව දැනුවත් කරන්නට කටයුතු කරනවා. එහි දී අපට ප්‍රවෘත්ති රැසක් ඉදිරිපත් කරන්නට සිදු වන බැවින් අපිට පුවත්පතේ ඉඩ ප්‍රමාණය අනුව අපට ඒවා සීමා කරන්නට වෙනවා. ඒ අතරම අපි දැන්වීම්වලටත් ඉඩ ලබා දෙනවා. ඒ නිසා අපට බහුල වශයෙන් සෞඛ්‍ය, අධ්‍යාපන වැනි විෂයන්වල සංවර්ධන පුවත් ලබාදීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ආකාරයෙන් පුවත්පත් නිකුත් කිරීම තුළින් ජනතාවට ඒ ඒ අමාත්‍යංශවල සංවර්ධන පුවත් ජනතාවට වැඩියෙන් ලබා දීමට කටයුතු කරනවා. අපි අමාත්‍යංශ රාජ්‍ය ආයතන, පළාත් සභා සමඟ කටයුතු කරමින් මේ අකාරයේ අතිරේක රැසක් අපේ පුවත්පත්වල භාෂා ත්‍රිත්වයෙන්ම පළ කරනවා. ‍මින් පෙරත් ධීවර අමාත්‍යාංශය සමඟ මෙවැනිම ආකාරයෙන් කටයුතු කර තිබෙනවා.

ධීවර ජනතාව අතර සිටින ද්‍රවිඩ ජනතාව ද තමන්ගේ සංවර්ධන පුවත් ගැන දැනුවත් වෙන්න විශාල කැමැත්තක් තිබෙනවා. අපි විමසා බැලීමේ දී අපිට අවබෝධ වුණා වෙරළ සීමාවන්වල වැඩිපුර ජීවත් වන්නේ ද්‍රවිඩ ජනතාව බව. ඒ නිසා මේ අවශ්‍යතාව මතු වෙලා තිබෙනවා.

මෑත කාල‍යේ නිරන්තරයෙන් සමාජ මාධ්‍යවලින් ජනතාව ලබා ගන්නා තොරතුරුවල හොඳ නරක දෙකම තිබෙනවා. අපි අද මේ පුවත්පතත් අන්තර්ජාලයට යොමු කරනවා. අපගේ සියලු ප්‍රකාශන සමාජ මාධ්‍යවලට යොමු කරලා තිබෙනවා. ලෝකයේ රටවල සිටින ලාංකිකයින්ට අපේ තොරතුරු ලබා ගැනීමට ඒ අනුව හැකියාව ලැබෙනවා යැයි කීවේය.

මේ අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ජගත් පී.විජේවීර මහතා ඇතුළු නිලධාරීහු, දිනමිණ ප්‍රධාන කර්තෘ පුෂ්පා රොවෙල්, කළමනාකරණ කර්තෘ සමන්ත කරුණාසේකර, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ධර්ම වන්නිනායක මහත්ම මහත්මීහු අතුළු පිරිසක් එක් වුහ.

සමන්මලී ප්‍රියශාන්ති, චන්දිමා කරුණාරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();