* අධිකරණ පද්ධතියට පරිගණක තාක්ෂණය හඳුන්වා දෙනවා
* බෞද්ධ භික්ෂූන් වහන්සේ තම ප්‍රදේශයේ මුස්ලිම් අසල්වාසීන් සමඟ ගැටුම් ඇතිවීම පාලනයට පියවර ගැනීම ප්‍රශංසනීයයි
* නීති වෘත්තියට පිවිෙසන නවකයන්ට සයිබර් අවකාශ ක්ෙෂ්ත්‍රය අලුත් විෂයක් ෙලස
වසර තිහක ජාතිවාදී අරගලයකින් හා කුරිරු ත්‍රස්තවාදයකින් බැට කෑ ජාතියක් වශයෙන් ජාති, ආගම් පදනම් කර ගත් හිංසනයන් හෝ ගැටුම්වලට අපි නැවත හිස නොනැමිය යුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ප්‍රජාවන්ගේ අයිතිවාසිකම්, අනන්‍යතාවන් අගය කළ යුතු නමුත් එම අනන්‍යතාවන් මුල් කර ගෙන අන්තවාදී අරගල, යුද්ධ වර්ධනය වීමට ඉඩ නොතැබිය යුතු බව පැවසු අගමැතිවරයා, ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව නැඟී සිටිය යුතු බව ද අවධාරණය කළේය.
කොළඹ මිලෝදා ගොඩනැගිල්ලේ දී පසුගිය දා පැවැති ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 44 වැනි සම්මේලනයට එක් වෙමින් අගමැති වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේය.
එහිදී අගමැතිවරයා ප්‍රකාශ කළේ පසුගිය සමයේදී වෛරය පතුරවා හැරීමේ වගකීම සමාජ මාධ්‍ය විසින් ද බාර ගත යුතු බවයි. මෙවැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන බව තහවුරු කිරීම සඳහා තාක්ෂණික හා සමාජීය වශයෙන් යම් පාලනයක් අවශ්‍ය කරන බවත් නවක නීතීඥවරුන් ලෙස නීති ක්ෂේත්‍රයට අවතීර්ණ වන නීතීඥවරුන්ට මේ නව විෂය පථය සම්බන්ධයෙන් ක්‍රමෝපායන් ඉදිරිපත් කිරීමට අවකාශය තිබෙන බවත් හෙතෙම පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය. අධිකරණයේ පරිපාලනය සම්බන්ධයෙන් අද මෙහිදී කතා කළා. අපගේ රජය අධිකරණ පද්ධතිය සඳහා තොරතුරු තාක්ෂණය හෙවත් පරිගණක තාක්ෂණය හඳුන්වාදීමට කටයුතු කරන බව මම නීතිපතිවරයා ඉදිරියේ ප්‍රකාශ කරන්නට කිරීම කැමතියි. අභියාචනාධිකරණයේ සභාපති, අග්‍රවිනිශ්චයකරතුමාගේ අනුදැනුම ඇතිව මේ සම්බන්ධයෙන් ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට නීතිඥ සංගමයට හැකියාව තිබෙනවා නම්, මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරම්භ කරන හැටියටත්, අධිකරණ පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් පරිගණකගත කිරීමට මධ්‍ය පිළිවෙතක් අනුගමනය කරන හැටියටත් අධිකරණ අමාත්‍යංශයට සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යාංශයට උපදෙස් දීමට මට හැකියාව තිබෙනවා. පළමුව ශ්‍රේෂ්ඨාධිකරණයත්, දෙවනුව අභියාචනාධිකරණයත් මේ ක්‍රමය යටතට ගෙනැවිත් ක්‍රමයෙන් අනෙකුත් අධිකරණ වෙත හඳුන්වාදීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ සඳහා මුල පිරිමක් වශයෙන් ඒ සම්බන්ධයෙන් ලියවිල්ලක් ඉදිරිපත් කරන ලෙස මම ඉල්ලා සිටිනවා.
ඔබ සැම අධිකරණයේ පරිපාලනය ගැන කතා කළ නිසා, එහි අනෙක් පැත්ත වන නීතිය හා සාමය පිළිබඳව කතා කළ යුතු යැයි මම සිතනවා. මොකද නීතිය හා සාමය පවත්වාගෙන යාම, ස්වාධීන අධිකරණ පද්ධතියක් සහ එහි මනා පරිපාලනයක් නොවන්නට කිසිම සමාජගත පැවැත්මත් පිළිබඳව කතා කළ නොහැකියි.
මේ මාසයේ මුල භාගයේ ඇති වූ කළබලකාරි තත්ත්වයන් නැවතත් රටේ ඇති නොවීමට රජය වගබලා ගන්නා බවට මා කිව යුතුයි. වසර 30ක ජාතිවාදී අරගලයකින්, මෙන්ම කුරිරු ත්‍රස්තවාදයෙන් බැට කෑ ජාතියක් වශයෙන් ජාති, ආගම් පදනම් කරගත් හිංසනයන් හෝ ගැටුම්වලට නැවත හිස නොනැමිය යුතුයි.
අපි දීර්ඝ ඉතිහාසයක් ඇති ජාතියක් වුවත්, අප රටේ නවීකරණයක් ආරම්භ වූයේ මීට වසර 180 කට පමණ පෙර කෝල්බෘක් ප්‍රතිසංස්කරණ හරහායි. එමගින් බ්‍රිත්‍යාන්‍ය පාලනය යටතේ පැවති පද්ධති ක්‍රමය වෙනස් කොට අපගේ අධිකරණ පද්ධතිය, පරිපාලන ක්‍රමය නව්‍යකරණයට ලක් කිරීමටත්, රට එක් ආණ්ඩුක්‍රමයක් යටතේ පළාත් පහකින් යුක්තව පාලනය කිරීමටත් තීරණය කළා.
අපි නිදහස ලබා මේ වන විට වසර 70ක් සම්පූර්ණ වී තිබෙනවා. අපගේ අනන්‍යතාවය කුමක්දැයි අපි අද කල්පනා කළ යුතුයි. අපගේ අසල්වැසි ඉන්දියාවටත් මේ ගැටලූව තිබුණා. ඉන්දිය අධිරාජ්‍යය, පකිස්ථානය හා ඉන්දියාව ලෙස ඒකක දෙකකට බෙදී තිබුණා. ස්වාධීන ප්‍රාන්ත ද බොහොමයක් පැවතියත් ඉන්දියාව තම ස්වාධීන අනන්‍යතාවක් ගොඩ නඟා ගැනීමේ කාර්යයේ දී සාර්ථක වුණා. නමුත් බංගලාදේශය ලෙස වෙනම රාජ්‍යක් ඇති වීම නිසා පකිස්ථානයට එසේ ස්වාධීන අනන්‍යතාවක් ගොඩ නඟා ගැනීමේ අවස්ථාව ගිලිහි ගියා. අපි ශ්‍රී ලාංකිකයන් ලෙසින් එක් අනන්‍යතාවයක් තිබුණත් අපිට යටත් විජිත අනන්‍යතාවයෙන් මිදී ස්වදේශික භාෂාවන් සහ ස්වදේශික සංස්කෘතීන් පදනම් කරගත් ස්වාධීන අනන්‍යතාවයක් හිමිකර ගැනීමේ ගැටලුව තවමත් තිබෙනවා.
භාෂාව පමණක් පදනම් කොට ගෙන පැවති දරුණු වාද විවාද සහ දේශපාලනික මතවාද අවසානයේ ජාතිවාදී හිංසනයක් හා ත්‍රස්තවාදය දක්වා දිග්ගැස්සුණා. මම ඒවා නැවත ප්‍රකාශ කිරීමට යන්නේ නැහැ. නමුත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය නැවත ගොඩනඟා ගෙන සංවර්ධනය කරා ළගාවීමට අවශ්‍ය වන්නාවූ ජාතික එකමුතුවේ පදනම කුමක්ද යන්න, ඒ මතකය ආවර්ජනය කිරීම හරහා එම ගැටුම් සියල්ල හමාර කිරීමෙන් අනතුරුව අද අප සිතා බැලිය යුතුයි.
වසර 30 ක් තිස්සේ පැවති ජාතිවාදී ගැටුම්වලින් අනතුරුව ජාතික එකමුතුභාවය ඇති කිරීම සඳහා තිබෙන්නේ එක් මතවාදයක් පමණක් යැයි අප විශ්වාස කළ යුතු නැහැ. එක් අතකින් අපි බහු සංස්කෘතික අගයන් පිළිගන්නා ජාතියක්. ඒ ඒ ආගම්, ඒ ඒ භාෂාවන් මෙන්ම සංස්කෘතීන් එක් එක් ජාතිකයන්ට නිදහසේ ඇඳහීමට, භාවිත කිරීමට අවස්ථාව තිබිය යුතු බව අප පිළිගන්නවා. අනෙක් අතින් ගත් කළ අපගේ ස්වදේශිත ආගම්, භාෂාවන්, සංස්කෘතීන් සුරක්ෂිංත විය යුතු බව තව පිරිසක් විශ්වාස කරනවා.
මෙය ශ්‍රී ලංකාවේ පමණක් නොව, සෑම සමාජයකම පවතින තර්කයක්. නමුත් එය ක්‍රියාත්මක විය යුත්තේ වෛරය ඇවිලෙන ආකාරයට නොවෙයි. ත්‍රස්තවාදය දක්වා උඩු දුවන ආකාරයට නොවෙයි. අවසානයේ සාකච්ඡා මඟින් අපිට ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකමතයකට පැමිණීමට හැකි විය යුතුයි. අපි ඒකීය බව ළඟාකර ගන්නේ කෙසේද? අපි දැන් ඒ මගට අවතීර්ණ වී ඇති බව මම හිතනවා.
පසුගිය කාලයේ වෛරය පතුරුවා හරින තත්ත්වයක් අපි දුටුවා. එයට එක් පැත්තකින් පාර කැපුවේ සමාජ මාධ්‍ය ජාලා වන අතර එයින් ජනතාවට පීඩාවට පත්වීමට සිදුවුණා. ප්‍රථමයෙන්ම ගිංතොට ප්‍රදේශයේ සුළු ආරවුලක් ඇති වුණා. ඉන් පසුව අම්පාර ප්‍රදේශයේත්, අවසානයේ මහනුවර සිදු වූ සිදුවීම් දක්වාත් එය දිග්ගැස්සුණා. එය ඉතා අභාග්‍ය සම්පන්න සිදුවීම් මාලාවක් බව කිව යුතුයි. එමඟින් අපේ ජාතික සමගියට බාධා ඇති වුණා. මෙය සීමා වුණේ දිගන, තලවකැලේ, කටුගස්තොට සහ මහනුවර නගරය වැනි සුළු ප්‍රදේශ කිහිපයකට පමණක් නමුත් එය සමථයකට පත් කිරීමට බොහෝ කාලයක් ගතවුණා. ඇත්ත වශයෙන්ම සිදු වුණේ කුමක් ද ? එසේ සිදු වුණේ ඇයි? මේ සිද්ධීන්ගෙන් පීඩාවට පත්වූයේ එක් ජන කොටසක් පමණක් නොවෙයි. මෙවැනි සිදුවීම් නැවත රටේ ඇති නොවිය යුතුයි. මෙවැනි සිද්ධීන්ට මගපාදන අය සහ ඔවුන්ගේ ක්‍රියාවන් මොනවාද යන්න අපි අද සොයා බලමින් සිටිනවා.
මෙම සිද්ධියේ දී මහනුවර සිටි පොලිස් කණ්ඩායම්වලට අමතරව වෙනත් ප්‍රදේශවලින් ද පොලිස් කණ්ඩායම් එම ප්‍රදේශ වෙත යොමු කෙරුණා. අපරාධකාරයන් නීතිය ඉදිරියට පැමිණවීම තහවුරු කළ යුතුයි. අපිට කිසි කෙනෙක් ආරක්ෂා කිරීමට අවශ්‍ය නැහැ. මෙම සිද්ධීන්ට සම්බන්ධ සෑම පුද්ගලයෙක්ම නීතියේ රැහැනට හසුකර ගෙන තරාතිරම නොබලා ඔවුන්ට දඩුවම් ලබාදිය යුතුයි.
ඒ වගේම අපි විපතට පත්වූවන්ට වන්දි ලබාදීමටත් කටයුතු කරනවා. මේ වන විට අලාභ හානි තක්සේරු කරමින් සිටින අතර කඩිනමින් එම කටයුතු අවසන් කිරීමට හැකි වෙතැයි බලාපොරොත්තු වෙනවා. එම ප්‍රදේශවල තිබූ ව්‍යාපාර ස්ථාන ගණනාවක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. එක් මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් ලී මෝලක් සම්පූර්ණයෙන් විනාශ කර තිබෙනවා. එහි සේවකයන් සියලූ දෙනා සිංහල ජාතිකයන් වන අතර එම විනාශයෙන් සිංහල මුස්ලිම් සියලු දෙනාම අසරණභාවයට පත්ව සිටිනවා.
බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ විහාරස්ථානවල දායක දායිකාවන් තම ප්‍රදේශයේ මුස්ලිම් අසල්වාසීන් සමඟ ගැටුම් ඇතිවීම පාලනය කිරීමට පියවර ගැනීම ඉතාමත් ප්‍රශංසනීයයි. අතලොස්සකගේ නොමනා ක්‍රියාකලාපයන් හේතුවෙන් සාමකාමී බහුතරය අපකීර්තියට පත් නොවිය යුතු වුවත් එය එසේ සිදුවුණා. එය සිදුවුණේ වෛරය පතුරුවා හැරීම නිසයි. එකිනෙකා අතර විශ්වාසය පළුදූවීම ද මෙයට හේතු වුණා. එය සිදුවූයේ කෙසේද ? මේ සිදුවීම්වල වගකීම සමාජ මාධ්‍ය ජාල විසින් ද බාරගත යුතු වෙනවා.
උදාහරණයක් ලෙස මීට අදාළ පළමු සිදුවීමෙන් පසුව පෙට්‍රල් බෝම්බ සෑදීම පිළිබඳව දැනුවත් කරන වෙබ් අඩවි වෙත ප්‍රවේශ වන අවස්ථා ගණන ශීඝ්‍ර ලෙස ඉහල ගොස් තිබුණා. මේ ආකාරයේ සිදුවීම් මීට පෙර ඇති වූ 1956 සහ 1986 වැනි අරගලවල දී සිදුවූයේ නැහැ. මෙය බරපතළ තත්වයක්. වෛරී සහගත ප්‍රචාරයන් හරහා සමාජ මාධ්‍ය භාවිතය හිසරදයක් බවට පත්වුණා. මේ හේතුවෙන් ෆේස්බුක් අවහිර කිරීමට සිදු වුණත් දින කිහිපයකින් එම තහනම ඉවත් කළා. හදිසි නීතිය ඉවත් කළ වහාම වෙබ් අඩවිවලට ප්‍රවේශවීමේ තහනම ද ඉවත් කෙරුණා. ෆේස්බුක් නියෝජිතයන් හමුවීමට ද අප කටයුතු කළා. එහිදී අපි ඔවුන්ට කරුණු පැහැදිලි කළා. වසර 30ක් පුරා පැවැති යුද්ධය හේතුවෙන් සමස්ත සමාජයම බැට කෑවා. එවැනි යුද්ධයක් නැවත රටේ ඇති කිරීමට අවශ්‍ය නැති බව අපි ඔවුන්ට පෙන්වා දුන්නා.
මේ වෛරී සහගත ප්‍රකාශයන් පතුරුවා හැරීමේ අනිසි විපාක බව කිව යුතුයි. මෙවැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන බව තහවුරු කිරීම අත්‍යවශ්‍යයි. එය නීතිය හරහා පමණක් සිදු කිරීමට නොහැකියි. සමාජීය වශයෙන් ද ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙවැනි සිද්ධීන්වලට විරුද්ධව නැගී සිටිය යුතුයි.
පොලිස් බලය අතින් ගත් කළ අපි ප්‍රජා පොලිස් බල ඇණි මෙයට යොදවා පොලිස් බලය ශක්තිමත් කරන අතරම මහනායක ස්වාමීන් වහන්සේ, පියතුමන්ලා, කුරුක්කල් වහන්සේ මෙන්ම මුස්ලිම් ආගමික නායකයන් සහ ආගමික නියෝජිතවරුන් සමඟ අපි සාකච්ඡා පවත්වා මෙය පාලනය කිරීමට පියවර ගන්නවා. මේ සඳහා අපිට සිවිල් සමාජයේ සහයෝගය අවශ්‍යයි. විවිධ සමාගම්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැනි සංවිධාන මෙන්ම කුඩා ග්‍රාමීය කණ්ඩායම් පවා එකට එක්විය යුතුයි. ප්‍රජාවන්ගේ අයිතිවාසිකම්, අනන්‍යතාවන් අගය කළ යුතුයි. නමුත් අන්තගාමීව එම අනන්‍යතාවයන් මුල් කර ගෙන අරගල, යුද්ධ දක්වා වර්ධනය වීමට ඉඩ නොතැබිය යුතුයි.
අනෙක් කාරණය වන්නේ දියුණු තාක්ෂණයයි. මහනුවර සිදුවීම් මාලාව, තාක්ෂණික දියුණුවේ ප්‍රතිලාභ මෙන්ම එහි අනිසි ප්‍රතිවිපාකවලට මුහුණපෑමට සිදුවීම ඊට හොඳම උදාහරණයයි.
සමාජ මාධ්‍ය ජාල සියල්ලම එකතු වී මහනුවර දැවැන්ත සංචාරක ගමනාත්තයක් බවට පත්කිරීමට පියවර ගත්තා. ගාල්ල ප්‍රදේශයේ කුඩා හෝටල් ඒ හරහා ජනප්‍රිය වුණා වගේම මහනුවර ප්‍රදේශයේ නිවාසවල නිවැසියන් සමඟ එකට වාසය කිරීමට සංචාරකයන්ට අවස්ථාව ලබාදීම නිසා ජනප්‍රියත්වයට වුණා. එනමුත් මේ සියල්ල සුනුවිසුණු කිරීමට මඟ පෑදුවේ ද ඒ සමාජ මාධ්‍ය ජාල වීම කනගාටුදායකයි.
අපි දැන් නීති සම්පාදනය පිළිබඳව සලකා බලමු. වෛරී සහගත ප්‍රකාශයක් කියන්නේ කුමක් ද? එය නිර්වචනය කරන්නේ කෙසේද? ඒ වගේම වෛරී සහගත ප්‍රකාශ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස එකිනෙක වෙන් වන සීමාව කුමක්ද? මේ කරුණු කෙරෙහි අපේ අවධානය යොමු කළ යුතුයි.
මෙහිදී වෙනත් රටවල ක්‍රියාත්මක නීති මොඩලයන් පිළිබඳව සලකා බැලිය යුතු වෙනවා. ඒ අනුව ආගමික සංහිදියාව පවත්වා ගැනීම පිළිබඳ සංගප්පූරුවේ පවතින නීතිය, එංගලන්තයේ ජාතින් හා ආගම් අතර වෛරය සහ මහජන සාමය පිළිබඳ පනත, කැනඩාවේ අපරාධ නීති සංග්‍රහය, ඕස්ට්‍රේලියාවේ ජාතිය අනුව වෙනස් කොට සැලකීම පිළිබඳ පනත 1975 සහ 1995 අපරාධ නීති සංග්‍රහය වැනි ඕනෑම ප්‍රජාවකට හානිදායක වන අයුරින් අන්තර්ජාලය වැනි මාධ්‍ය භාවිත කිරීම යම් තරමකට හෝ පාලනය කෙරෙන පනත් හා නීති ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කළා.
එහෙත් ඒවා බලාත්මක කරන්නේ කෙසේද? ඇතැම් රටවල මේ සම්බන්ධයෙන් පැමිණිලි දෙකකට වඩා වාර්තා වූ අවස්ථා නොමැති තරම්. ඇතැම් රටවල ඊට වඩා වැඩි අවස්ථා ද තිබුණා. එසේ නම් නීති සම්පාදනය කිරීමේ වඩාත් ඵලදායි ක්‍රමය කුමක්ද? මේ පිළිබඳව සෙවීමේදී මට හමුවුණ තවත් ක්‍රමවේදයක් නම් භාෂණයේ නිදහස අර්ථකතනය කරනු ලබන භාෂණයේ නිදහස පිළිබඳ පනත සම්මත කිරීමයි. එවිට භාෂණයේ නිදහසට අනවශ්‍ය සීමා පැනවීම නුසුදුසු බවට කෙනෙකු චෝදනා කළ හැකියි.
එසේ වුවහොත් එම නීතිය පැනවීමට නොහැකි වීමට ඉඩ තිබෙනවා. භාෂණයේ නිදහස පිළිබඳ පනත් හා නීති සම්පාදනයේ දී මතු වූයේ මෙවැනි ගැටලු බව කිව යුතුයි. එම නිසා වෛරී ප්‍රකාශනයක් යනු කුමක්ද යන්න නිර්වචනය කිරීම පිළිබඳව ඔබේ අදහස් ඉදිරිපත් කරන ලෙස නීතිඥ සංගම් සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටීමට මම කැමතියි. අපි අපේ තොරතුරු මෙන්ම අපේ පුද්ගලිකභාවය වෛරී සහගත ප්‍රකාශනයන්ගෙන් ආරක්ෂා කරගත යුතුයි. එක්සත් රාජධානියේ ඔවුන් එය සිදුකරන්නේ ඩිජිටල් ආර්ථික පනත හරහා. එම පනත ඔවුන් සම්මත කළේ සියලූම පනත් වැඩි දියුණු කොට එකම පනතක් ලෙස සකස් කරමිනුයි. එය මේ වසරේ අප්‍රේල් පළමු වැනිදා බලාත්මක කිරීමට නියමිතයි. අපිත් මෙවැනි ක්‍රමයක් උපයෝගි කොටගෙන සමාජ මාධ්‍ය ජාල හරහා සිදුවන සියලූම ගනුදෙනු පාලනය කළ යුතුයි.
සයිබර් අවකාශ ක්ෂේත්‍රය නීති වෘත්තියට පිවිසෙන නවක උපාධිධාරින්ට අලුත් විෂය පථයක් ලෙසින් හඳුන්වා දෙන්නට කැමතියි. මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නැයි මම ඔබට ආරාධනා කරනවා. සයිබර් අවකාශ පාලනය පිළිබඳ නීතිකරණයන් වැනි ගැටලු නීතිපති දෙපාර්තමේන්තුව සහ ආණ්ඩුව මේ දිනවල මුහුණ දෙන ගැටලුකාරි තත්ත්වයන් බවට පත්ව තිබෙනවා. එබැවින් ඔබගේ විශේෂඥතාවය මෙන්ම සහාය මේ සම්බන්ධයෙන් අපි ඉතා අගය කරනවා.
ඡායාරූප-අගමැති මාධ්‍ය ඒකකය
0 Comments