* රාජ්‍ය සේවයේ සිටින ඔබ අති බහුතරයක් ඉතා හොඳින් ඔබේ සේවය ඉටු කරන බව මා දන්නවා
* අපේ වගකීම් හා යුතුකම් මාතෘ භූමිය සහ පොදු ජනතාව වෙනුවෙන් ඉටු කරමු
* සීයට සීයක් සියල්ල නිවැරැදි වෙන්නේ නැහැ. අපි කවුරුත් එය අවබෝධ කරගත යුතුයි
රටේ තිබෙන ගැටලු සහ ප්‍රශ්න අපට පමණක් සීමා වු ප්‍රශ්න නොවන අතර ඒ ප්‍රශ්න ජය ගැනීමට නම් සැබෑ ලෙසම අපේ වගකීම් සහ යුතු කම් ඉටු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අපහමුවේ තිබෙන අභියෝග ජය ගැනීමට අප සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (26) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වූ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 35 වැනි වාර්ෂික මහා සමුළුවට ප්‍රධාන අමුත්තා ලෙස එක්වෙමිණි.
සංගමයේ නව සාමාජිකයන් පත්කර ගැනීම ද මෙහිදී සිදු කෙරුණු අතර එහි නව සභාපති ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ නව ලේකම් ලෙස රෝහණ ද සිල්වා මහතා පත්කර ගනු ලැබීය.
මෙහිදී විශේෂ දේශනය ලංකාවේ ණය අර්බුදය මැයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා විසින් පවත්වනු ලැබීය.
විශේෂ සමරු කළඹ එහි සංස්කාරිකා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මේ අවස්ථාවේදී සිදු කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
පසුගිය වසරවල ඔබේ සංගමයේ හිටපු සභාපතිවරයාගේ සිට සේවය කළ සියලු දෙනාගේම සංගමය වෙනුවෙන් කළ සේවය ඒවගේම මේ සංගමය තුළින් රට වෙනුවෙන් කළ සේවය මා ඉතාමත් අගය කරන අතර නව සභාපතිවරයා සහ නව නිලධාරී මණ්ඩලයට මා සුබ පතනවා ආශිර්වාද කරනවා. ඔබේ සංගමයේ ඔබත් රටත් රටේ පොදු ජනතාවත් වෙනුවෙන් කරන්නාවු උතුම් මෙහෙවර සාර්ථක කිරීමට ඔබ සියලු දෙනාට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා කියලා. මම ඇවිත් වාඩිවනවාත් සමඟම හිටපු සභාපතිතුමා අපේ පොලොන්නරුවේ දිසාපතිතුමා මාත් එක්ක පොඩි දුක් ගැනවිල්ලක් කිව්වා. එතුමා කිව්වා ජනාධිපතිතුමා අද අපිට පොඩි ප්‍රශ්නයක් අද දිස්ත්‍රික්ක එකොළහක ඩී.සී.සී එක ඒක නිසා මේ අපිට පොඩි පාඩුවක් වගේ පේනවා කියලා. සංගමය ඒ ගැන කනගාටු වුණත් මම ජනාධිපති විදියට ඉතාම සතුටු වෙනවා එක දවසේ ඩී.සී.සී එකොළහක් දිස්ත්‍රික්ක එකොළහක තිබීම ගැන. මම එය දකින්නේ අපේ සංවර්ධන කටයුතු කාර්යක්ෂමතාවය, අවශ්‍යතාවය ඒ සඳහා ප්රමුඛත්වයක් දීලා මේ ක්ෂේත්රවල සිටින සියලු දෙනා කටයුතු කරනවා කියන ඒ පණිවිඩයයි මම දකින්නේ.
මීට පෙර වසර තුනක් ඔබේ මේ වාර්ෂික සමුළුවට මම සහභාගී වුණා. ඒ අත්දැකීම් සමඟ මේ වසරේත් ඔබේ සංගමයේ කටයුතු තුළ සංගමය ඉදිරිපත් කරන අදහස් සහ යෝජනා රජය සැලකිල්ලට අරගෙන ඒ යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි පැහැදිලි ලෙසම ස්ථිර වශයෙන්ම ප්රමුඛත්වයක් ලබා දෙන බව මා සඳහන් කරන්නට ඕන. මා පැමිණෙන විට මුදල් අමාත්‍යාංශයේ ලේකම් තුමා ආචාර්ය සමරතුංග මැතිතුමා පැවසු දේශනයේ සුළු කොටසක් මටත් අහන්නට ලැබුණා. ඔබේ සංගමයේ දී අද විශේෂ යමක් මාවිසින් කිව යුතුයි කියා මා කලින් තීරණය කර නොතිබූ නිසා පැමිණෙනවාත් සමඟ ඇසූ දේශනයේ කරුණු මත කරුණු කිහිපයක් මම පැවසීමට බලාපොරොත්තු වන නිසා මම ඒ සඳහා ඔබෙන් ඉඩ කඩ ඉල්ලා සිටිනවා. ණය බර, සංවර්ධනය, රජයක් ලෙස මුහුණ දෙන ප්‍රශ්න. බොහෝ වෙලාවට අපේ රටේ තිබෙන මානව හිමිකම් නිදහස ප්රජාතන්ත්රවාදී රජයක තිබෙන ස්වරූපය එය භුක්ති විඳීමට දී තිබෙන ඉඩකඩ සමඟ ඇතැම් වෙලාවට තිබෙන දේශපාලන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න ලෝකයේ කිසිම රටක නැති මේ රටේ විතරක් තිබෙන බරපතළ විශාල ප්‍රශ්න විදියට ඇතැම් වෙලාවට අපේ මාධ්‍ය රටේ ජනතාවට හඳුන්වන්න උත්සහ කරනවා.
ඔබ දුටුවා පසුගිය සතිය තුළ මම රටවල් තුනක නිල සංචාරය කළා. ඒ රටවල් තුනටම මම ගියේ මට ලැබුණු ආරාධනාවලට අනුව මිසක් මා විසින් ඉල්ලීමක් කරලා නෙවෙයි. ඉන්දියාවේ පැවැති සුර්ය බල ශක්ති සම්බන්ධ ජාත්‍යන්තර සමුළුව, ඒ වගේම ජපන් අගමැතිතුමාගේ ආරාධනය දෙරටේ ද්විපාර්ශ්වික සම්බන්ධතා සමඟ ආර්ථික වෙළෙඳ සබඳතා වර්ධනය කර ගැනීම, ඒ වගේම පකිස්ථානයේ ජාතික නිදහස් දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට. ඉන්දියාවේ පැවැති සමුළුවේත් මාගත කළ කාලයේදීත් පැමිණි රාජ්‍ය නායකයන් හතළිස් හත් දෙනෙක් හිටියා. අපි ඔබ වගේම රාජ්‍ය නායකයන් වුවත් තේ එකක් බොනවිට කෑම කන විට පොඩි විවේකයක් ලැබුණු විට තොරතුරු කතා බහ කරනවා. මම ඒ පැමිණි රාජ්‍ය නායකයන් බොහෝ දෙනෙක් සමඟ කතා බහ කරන විට අපේ රටේ තිබෙන ප්‍රශ්න සහ ඒ රටවල තිබෙන ප්‍රශ්න ගැන කතා බහකිරීමේදී මම රටවල් කිහිපයකින්ම ඇහුව්වා ඒ රටවල්වල නිදහස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තිය.
පැමිණි රටවල්වලින් රටවල් පහක් මට හඳුනා ගන්න බැරි වුණා. අපේ රටේ වගේ පළමුවන ශ්‍රේණියේ ඉදලා විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වන තෙක් නිදහස් අධ්‍යාපනය දෙන රටවල්, බොහෝ රටවල් කිව්වේ නිදහස් අධ්‍යාපනය ඔවුන් සීමා කර තිබෙන්නේ වයස් සීමාව අනුව කියලා. සමහර රටවල වයස අවුරුදු හතර වන තෙක් නිදහස් අධ්‍යාපනය, සමහර රටවල වයස අවුරුදු අට වන තෙක් නිදහස් අධ්‍යාපනය, සමහර රටවල වයස අවුරුදු පහළොව වන තෙක් නිදහස් අධ්‍යාපනය ඒ සමුළුවේ තොරතුරු හා මාදන්නා තොරතුරුත් අනුව ලෝකයේ තිබෙන රටවල් දෙසීයකට ආසන්න සංඛ්‍යාව තුළ සියයට විසිපහක් නැහැ අපි වගේ සම්පුර්ණයෙන් පළමුවන ශ්‍රේණියේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වන තෙක් නිදහස් අධ්‍යාපනය ලබාදෙන රටවල්. අපි අයවැය පරතරය, වාර්ෂිකව අමාත්‍යංශ වලට වෙන් කරන මුදල් වැඩි කර ගැනීම් වෙනත් විවිධ අංශ වලට වාර්ෂිකව දෙන පහසුකම් මේ සියලු දේත් එක්ක අපි අපිට සිතීමට සිදුවනවා අපිට තිබෙන මේ අභියෝග මොනවාද කියන එක. එයින් මම අදහස් කරන්නේ කිසිසේත්ම නිදහස් අධ්‍යාපනයේ සඳහා වැට බැඳීමක් හෝ ඒ වරප්‍රසාදය දරුවන්ට අහිමි කිරීමක් නොවෙයි. නමුත් වෙනත් ක්ෂේත්‍ර සඳහා අප කරන වියදම්වල තත්ත්වයන් ඔබ අප කවුරුත් හඳුනනවා වගේම ඒවා සැලකිල්ලට අරගෙන සාමුහික ප්රයත්නයක් තුළ ඒ අභියෝගයන්ට මුහුණ දිය යුතු වෙනවා.
අද ලෝකයේ ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න නැති රටක් තිබෙනවා නම් එය අප සොයාගත යුතු වෙනවා. සෑම රටකම ඇතැම් විට ඒ කරුණු තුනම බරපතළ අර්බුද, ඇතැම් විට ආර්ථික ප්රශ්නය, ඇතැම් විට දේශපාලන ප්රශ්නය, ඇතැම්විට සමාජ ප්රශ්නය. දැන් ඔබ දැක්කා පසුගිය දවස් කිහිපය තුළ ඇමරිකාවේ දහස් ගණන් ලක්ෂ ගණන් දරුවොත් එක්ක එළියට බැහැලා තුවක්කුවට විරුද්ධව පෙළපාලි යනවා. ඔබටත් මටත් තොරතුරු දැන ගැනීමේදී හොඳට හුරු පුරුදුයි හිටපු ගමන් ඇමරිකාවේ නගරයක ගමක පාසලකට බැහැලා කවුරු හරි පුද්ගලයෙක් ඉන්න පිරිසකට වෙඩි තියාගෙන විශාල ඝාතනයක් කරනවා. පාසල් දරුවන් පුංචි දරුවන්ට තමයි බරපතළ ලෙස මේ සිදුවීම් සිදුවෙලා තිබෙන්නේ. මේ වගේ දීර්ඝ කාලයක් මේ සිදුවීම් ඇමරිකාවේ සිදුවෙද්දී ඇයි තුවක්කුව තහනම් කරන්න බැරි. අපේ රටේ කඩේට ගිහිල්ලා අපි සබන් කෑල්ලක් ටුත් පේස්ට් ටිකක් ගන්නවා වගේ ඔබ දන්නවා ඇමරිකාවේ සාප්පුවකට ගියාම පිස්තෝලයක් තුවක්කුවක් ගන්න පුළුවන්. ඒක තමයි ඒ තරු පහේ ප්රජාතන්ත්රවාදයේ දීලා තිබෙන නිදහස.
ජපානයේ දින කිහිපයක් සිටි වෙලාවේ අපේ ශ්‍රී ලාංකිකයන් හමුවු වෙලාවේ එහිදී පවත්වපු දේශනයකදී එක දේශක මහත්මයෙක් කිව්වා ජනාධිපති තුමා අපේ රටේ ශ්‍රීලංකාවේ සහ ජපානයේ තිබෙන ප්‍රශ්නයි අපි එකට අරන් කතා කළොත් ජපානයේ මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න අමුතුම ආකාරයේ ප්‍රශ්න කියලා. එතුමා කිව්වා මේ අද දවසෙත් ජපානයේ රජය විශේ සමුළුවක් පවත්වනවා ජපානය මුහුණ දෙන ප්‍රබල ප්‍රශ්නයක් පිළිබඳව කියලා. කුමක්ද ඒ ප්රශ්නය. ජපානයේ ජනතාව වැඩිපුර වැඩ කරලා වෙහෙස වෙලා අසනීප වෙනවා වගේම බොහෝම සරළව කිව්වා වැඩිපුර වැඩ කරලා මැරෙනවා. මැරෙන්න හේතුව වැඩිපුර වැඩ කිරීම කියලා. නමුත් ඔබ අප දන්නවා ජපානය තමයි අද ලෝකයේ විශේෂයෙන්ම ආයු කාලය ඉතාමත්ම ඉහළ තැනක තිබෙන රටක්. අසු හතර අසූ පහ අසු හය වගේ මට මතක. මම පත්තරේකත් දැක්කා ජපානයේ විශේෂයෙන්ම පරිගණකය පාවිච්චි කිරීමතුළ රෝගී වීම වැඩි පුර අවධානය යොමු කිරීම වැඩිපුර එහි වැඩ කිරීම නිසා බරපතළ ලෙස අසනීප වෙන තත්ත්වයත් එක්ක රටේ ඇතිවී තිබෙන අභියෝගය. ඒ වගේ අපිට සෑම රටක් ගැනම කියන්න පුළුවන්. දැන් අපේ අසල්වැසි මිත්‍ර රටක් ලෙස ඉන්දියාව ගතහොත් අපේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් දේශනයේ දී සඳහන් කළා ණය බර සම්බන්ධව මම හිතන්නේ ජාත්‍යන්තර තොරතුරු දන්න ඔබ විශේෂයෙන්ම සඟරාවල පොත්පත්වල තිබෙන තත්ත්වයක් ඔබ දකින්නට ඇති පසුගිය අවුරුදු හතරක් පහක් ගතහොත් ඉන්දියාවේ ආර්ථිකය කුමක්ද වෙලා තිබෙන්නේ කියලා. ඉතින් මේ තිබෙන ගැටලු සහ ප්‍රශ්න අපට පමණක් සීමා වු ප්‍රශ්න නොවෙයි. ඒ ප්‍රශ්න ජය ගන්න නම් සැබෑ ලෙසම අපේ වගකීම් සහ යුතුකම් ඉටු කළ යුතු වෙනවා.
දේශපාලන ලෝකයේ තිබෙන දේශපාලන නාට්‍ය, දේශපාලන නාඩගම් රාජ්‍ය සේවයේ සිටින ඔබ වඩා අවධානය යොමු නොකළ යුතු කරුණු කියායි මම විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම රටේ සංවර්ධනය, ආර්ථිකය යහපත්ව පවත්වාගෙන යාම එක් එක් පුළුල් විෂය ක්ෂේත්රයන් තුළ ඔබ විසින් කළ යුතු කාර්යයන් හීදී මා විශ්වාස කරනවා ඔබ සෑම කෙනෙක්ම ඉහළම කැපවීමකින් ඒ කටයුතු කරනු ඇති කියලා. දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව, ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව වගේම ආයතන ප්‍රධානීන්ගේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම තමාගේ නායකත්වයෙන් පැවැත්වීම තුළ මා විශ්වාස කරන්නේ ඔබ නිසි පරිදි පවත්වනු ඇති කියලයි. අපි පසු ගිය අවුරුදු තුන හතරක් ගත් විට බරපතළ ලෙස ස්වභාවික ආපාදාවන්ට මුහුණ දෙනවා අපේ රටේ. ලෝකයේ අනික් රටවල් වගේම. දැන් අවුරුදු හතරවෙනි වතාවටත් මහා නියඟයට අපේ ප්‍රදේශයට තවම වතුර නැති ප්‍රශ්න තිබෙනවා. ගංවතුරින් විනාශ වන තත්ත්වයන් තවත් පැත්තකින්. මෙවැනි කරුණුත් එක්ක මේ අපහමුවේ තිබෙන අභියෝග ජය ගැනීමට අප සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු වෙනවා.
රාජ්‍ය සේවයේ සිටින ඔබ අති බහුතරයක් ඉතා හොඳින් ඔබේ සේවය ඉටු කරන බව මා දන්නවා. සෑම ක්ෂේත්රයකම රාජ්‍ය සේවය වේවා දේශපාලනය වේවා වෙනත් යම් විෂය ක්ෂේත්රවල වේවා සියයට සීයක් සියලු දෙනා එක වගේ ගුණාත්මක තත්ත්වයන් නොපෙන්වන බව අපි හැම කෙනෙක්ම දන්නවා. ඒ නිසා අපිට අපි විසින් කළ යුතු කාර්යයන් තිබෙනවා. මේ තත්ත්වයන් අපි හඳුනාගෙන වැඩ කිරීම අවශ්‍ය වෙනවා.
ඊයේ හවස මම අධ්‍යාපන ක්ෂේත්රයේ කිහිප දෙනෙක් සමඟ සාකච්ඡාවක් පැවැත්වුවා. මේ මම කියන එකක් නෙමෙයි අධ්‍යාපන ක්ෂේත්රයේ වගකිවයුත්තෝ කියන එකක් මම මේ කියන්නේ. අපේ රටේ ගුරු සේවයේ ඉන්නවා තුන් ලක්ෂ පනස්දහක් විතර ඔබ දන්නවා අපේ රටේ පාසල් දරුවෝ ඉන්නවා ලක්ෂ හතළිස් දෙකක් විතර. අධ්‍යාපනයේ ක්ෂේත්රයේ තිබෙන යම් යම් ගැටලු ප්‍රශ්න අඩු පාඩු දුර්වලතාවයන්, ප්‍රගතිය, වර්ධනය, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය මේවා පිළිබඳ කතා කරන විට ඒ සාකච්ඡාවේ දෙතුන් දෙනෙක්ම කිව්වා ජනාධිපතිතුමා දන්නවාද, මේ තුන්ලක්ෂ පනස් දාහෙන් ගුරු සේවයේ ඉන්න සීයට දහයක් විතර ඉන්නවා කොහෙත්ම උගන්වන්න බැරි අය කියල. මම ඇහුවා ඒ ඇත්තමද කියලා. ඔව් පැහැදිලි ලෙසම මොන විෂය භාර දුන්නත් මොන වැඩය භාර දුන්නත් භාහිර ක්‍රියා කාරකම් භාරදුන්නත් කිසිම දෙයක් බැරි සියයට දහයක් දොළහක් ඉන්නවා කිව්වා. මේ මම කියපු එකක් නෙමෙයි නැත්නම් හෙට අනිද්දා කියයි ගුරු සේවයේ ඉන්න අය මෙන්න මෙහෙමයි කියලා මම කිව්වයි කියලා එහෙම එකක් නෙමෙයි ඒ ක්ෂේත්රයේ ප්‍රධානීන් මාත් එක්ක කිව්වේ. ඒ නිසා එවැනි දේවල් අපි මුනුෂ්යයෝ විදියට ස්වභාවික තත්ත්වයන් විදියටයි සලකන්න ඕන. අපේ රටේ විතරක් නෙමෙයි වෙනත් රටවලත් එහෙම වෙන්න පුළුවන්. සීයට සීයක් සියල්ල නිවැරැදි වෙන්නේ නැහැ. සියයට සීයක් සියල්ල දන්නා අය වෙන්නේ නැහැ අපි කවුරුත් ඒ නිසා අපි ඔබෙත් මගෙත් ආදරණීය මාතෘ භූමිය සහ පොදු ජනතාව වෙනුවෙන් හෙට දවසේ උපදින දරුවන් වෙනුවෙන් අපේ වගකීම් හා යුතුකම් නිසි ලෙස ඉටු කරමු. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට මා මුලින් කී පරිදි ඔබේ අරමුණු සියලු ආකාරයෙන් සාර්ථකවේවා කියා සුබ පතන අතර ඔබේ ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා ඔබ රට වෙනුවෙන් කරන කාර්යය අගය කරනවා වගේම ඔබේ යහපත් අරමුණු ඉෂ්ඨ කරන්න සැම විටම රජය අවශ්‍ය සම්පුර්ණ සහයෝගය ලබාදෙනවා.
ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපති රංජිත් ආරියරත්න, හිටපු ලේකම් ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකර යන මහත්වරුන් ඇතුළු සාමාජික සාමාජිකාවෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - සුදත් මලවීර සහජනාධිපති මාධ්‍ය අංශය
0 Comments