Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහනුවර ඇතිවූ ගැටුම් ජාතිවාදී ස්වරූපයෙන් දැක්වීම සදාචාර සම්පන්න නෑ

Author(s): 
අසේල කුරුළුවංශ

ශ්‍රී ලංකාව තුළ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව සාමයෙන් හා සහජීවනයෙන් ජීවත් වන බවත් පසුගියදා මහනුවර ප්‍රදේශ කිහිපයක සිදුවූ ගැටුම් ජාතිවාදී ස්වරූපයෙන් මතුකර පෙන්වීම සදාචාරසම්පන්න නොවන බවත් මල්වතු අස්ගිරි මහනායක හිමිවරු දෙනම පවසති.

යුරෝපා සංගමයේ තානාපති ටියුන්ග් ලායි මාර්ගුයි, ස්විස්ටර්ලන්ත තානාපති හේන්ස් වෝල්ටර් නෙඩර්කෝර්න්, රුමේනියානු තානාපති වික්ටර් චියුඩියා යන මහත්වරු ඊයේ (27) මල්වතු අස්ගිරි උභය මහා විහාර වෙත ගොස් මහනාහිමිවරු බැහැ දැක පසුගියදා මහනුවර ඇතිවූ සිදුවීම් සම්බන්ධව උන්වහන්සේලාගේ ස්ථාවරය විමසූ අවස්ථාවේ මේබව ප්‍රකාශ කළහ.

සෑම ආගමකම අන්තවාදීන් සුළු පිරිසක් සිටින බවත් එවැනි පිරිස් සෑම රටකම සිටින බවත් කී මහනායක හිමිවරු මෙය ශ්‍රී ලංකාවට පමණක් පොදු දෙයක් නොවන බවද අවධාරණය කළහ.

මෙම අවාසනාවන්ත සිදුවීම් නිසා පීඩාවට පත්වූ මුස්ලිම් ජනතාවට බෞද්ධ භික්ෂූන් වහන්සේ විහාරස්ථානවල රැකවරණ ලබා දෙමින් පිහිටවූ බවත් ආගම ඉස්මතු කරමින් සිදුවූ ගැටුමක් නම් මෙවැනි වාතාවරණයක් ඇති නොවන බවත් මහනාහිමිවරු ප්‍රකාශ කළහ.

මහනුවර සිදුවීම සිංහල බෞද්ධ ජනතාව මුස්ලිම් ජනතාවට එරෙහිව කළ පහර දීමක් බව ප්‍රකාශ කළ යුරෝපීය සංගමයේ නියෝජිත ඇතුළු පිරිස මෙයට බෞද්ධ භික්ෂූන් වහන්සේ සම්බන්ධව ඇති බව විඩියෝ හා ඡායාරූප ඇති බවද මෙහිදී පැවසූහ.

එය තරයේ ප්‍රතික්ෂේප කළ මහනාහිමිවරු ඉතා සුළු සිදුවීමක් මුල්කර ගනිමින් මෙම ගැටුම ඇතිවූ බවත් මෙය සිංහල ජනතාව මුස්ලිම් ජනතාවට එරෙහිව කළ ප්‍රහාරයක් ලෙස අර්ථ ගැන්වීමට කටයුතු කිරීම සාධාරණ නොවන බවද අවධාරණය කළහ.

මහනුවර ඇතිවූ සිදුවීම් සම්බන්ධව තමන් සංවේගයට පත්වන බවත් මුස්ලිම් ජනතාවට සිදුවූ හානිය සම්බන්ධව කනගාටුවන බවත් කී යුරෝපා සංගමයේ තානාපති ටියුන්ග් ලායි මාර්ගුයි මහතා යළිත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති නොවීම පිණිස ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත් යැයිද ප්‍රකාශ කළේය.

බුදු දහම අවිහිංසාවාදය මූලික කර ගනිමින් ගොඩනැගුණු දර්ශනයක් බවත් එම අනුගාමිකයින් තවත් ජාතියකට හිරිහැර කරන්නේ නම් එය බුදු දහමට අනුගත ක්‍රියාවක් නොවන බවත් ඒ මහතා කීය.

වර්මානයේ යුරෝපිය රටවල පවා යම් යම් අන්තාවදී මුස්ලිම් සංවිධාන ත්‍රස්තාවාදී ක්‍රියා සිදුකරන බවත් එහිදී සමස්ථ මුස්ලිම් ජනතාව ඊට සම්බන්ධ යැයි කියන්නේ නම් එය සාධාරණ නොමැති බවත් කී මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ ශ්‍රී ලංකාවේ ඇතිවූ සිදුවීමද අති බහුතර සිංහල බෞද්ධ ජනතාව අනුමත කරන්නක් නොවන්නේ යැයි ප්‍රකාශ කළහ.

මෙවැනි ක්‍රියා යළි ඇති නොවීම පිණිස ජාතීන් අතර පවතින ගැටලු සම්බන්ධව විවෘතව සාකච්ඡා කර අවංකව පිළිතුරු සෙවිය යුතු බවත් ඇතැම් දේශපාලනඥයින් ජාතික සමඟියට හානි වන ලෙස කටයුතු කරන බවත් මහනාහිමියෝ කීහ.

මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ මෙරට තුළ වෙනම අන්‍යන්‍යතාවක් ගොඩනගා ගැනීමට ක්‍රියා කරන සුළු පිරිසක් මුස්ලිම් ජනතාව අතර සිටින බවත් ඔවුන් නොයෙක් සමාජ මාධ්‍ය ඔස්සේ භික්ෂූන් වහන්සේට පමණක් නොව බුදුන් වහන්සේටද අපහාස වන යම් යම් ප්‍රකාශ ප්‍රචාරය කරන බවත් ප්‍රකාශ කළහ.

මේ රටේ සෑම ප්‍රශ්නයක් දෙසම දේශපාලනික කෝණයෙන් බලා විග්‍රහ කිරීමේ ස්වරූපයක් තිබෙන බවත් මෙම ගැටලුවද දැන් දේශපාලනික කෝණයෙන් බලා නොයෙක් අර්ථකථන ලබා දීමට ඇතමුන් උත්සාහ කරන බවත් ධම්මානන්ද හිමියෝ පැවසූහ.

මහනුවර නගරයේ ඇති මුස්ලිම් දේවස්ථාන හා ව්‍යාපාරික ස්ථාන බොහොමයක් ඉදිකර තිබෙන්නේ මල්වතු අස්ගිරි මහ විහාරවලට අයත් ඉඩම්වල බවද මෙහිදී ලේඛකාධිකාරී හිමියෝ සිහිපත් කරනු ලැබූහ.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනානායක ආණමඩුවේ ධම්මදස්සී, රංගිරි දඹුලු රජමහ විහාරාධිපති, ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ගොඩගම මංගල, අස්ගිරි පරිවේණාධිපති, නියෝජ්‍යය ලේඛකාධිකාරී නාරංපනාවේ ආනන්ද යන හිමිවරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();