විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවටත්, අගමැතිවරයාටත් විශ්වාසය පළ කරන යෝජනාවක් බවට පත් කර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.
විශ්වාසභංග යෝජනාවේ දී ආණ්ඩුවට විරුද්ධ වන ආණ්ඩුවේ ම සිටින පිරිස හඳුනාගැනීමට හැකි බවත්, ඔවුන් ඉවත් කර නව ගමනක් ආරම්භ කරමින් 2020 දක්වා ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවත් ඒ මහතා කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මේ බව පැවැසුවේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවේ දී ය.
එහි දී අදහස් දැක්වූ ඒ මහතා, මේ විශ්වාසභංග යෝජනාව අගමැතිවරයා සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවක්. පසුගිය අවුරුදු තුන ඇතුළත විශ්වාසභංග යෝජනා කිහිපයක් ම ඉදිරිපත් වුණා. සමහර ඒවා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයටවත් ආවේ නෑ. ඒත් මේ විශ්වාසභංග යෝජනාව ආවාම එය පුළුවන් තරම් ඉක්මනින් විවාදයට ගන්නැයි ඉල්ලා සිටියේ එක්සත් ජාතික පක්ෂයයි. යෝජනාව ගෙනා ඒකාබද්ධ විපක්ෂය කීවේ අවුරුද්දෙන් පසුව මේක විවාදයට ගනිමු කියලයි. ඒකෙන් කියවෙන්නේ මේ යෝජනාව ගැන ඒ අයටත් විශ්වාසයක් නෑ කියන එකයි. අපිට මේ ගැන කිසිම පැකිලීමක් නෑ, අපි මේ යෝජනාව පරාජය කරනවා.
මේ විශ්වාසභංග යෝජනාවට අස්සන් කළ පිරිස කවුද? අල්ලස්, දූෂණ, මුදල් විශුද්ධිකරණය, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන්නේ මේ කණ්ඩායමට විරුද්ධවයි. ඒ වගේම අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කර ගන්න කටයුතු කරමින් සිටින අවස්ථාවක් මේක. මේ පනත ගෙන එන්න හේතුව නඩු ප්‍රමාදවීම වැළැක්වීමයි. අපේ රටේ නඩුවක් අහන්න අවුරුදු 10ක්වත් ගත වෙනවා. ඇපෑලක් විභාග කරන්න තවත් අවුරුදු 07ක් විතර ගත වෙනවා. ඒ අනුව එක නඩුවකට අවම වශයෙන් අවුරුදු 17ක්වත් ගත වෙනවා. මේ ප්‍රමාදය නිසා අගතියට පත්වන පාර්ශ්වයට සාධාරණත්වය ඉටුවීම ප්‍රමාද වෙනවා සේම චෝදනා ලැබූ පාර්ශ්වයට තමන්ගේ නිර්දෝෂී බව ඔප්පු කිරීමටත් බොහෝ කල් ගත වෙනවා. ඒ තත්ත්වය වළක්වා අධිකරණ පද්ධතිය ක්රමානුකූල කිරීම සඳහා නව ත්‍රිපුද්ගල අධිකරණ පිහිටුවීමට මෙම පනත් කෙටුම්පතෙන් යෝජනා කෙරුණා. මේ නව අධිකරණ පිහිටුවීමෙන් පසු දිනපතා නඩු ඇසීමට පවා හැකියාව ලැබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා - මීට අවුරුදු 3කට පෙර ජනතාව විශ්වාසභංගයට ලක් කළ කණ්ඩායම තමයි දැන් මේ විශ්වාසභංග යෝජනාව ගෙනත් තිබෙන්නේ. ඒ වගේම මේ යෝජනාව ගෙනත් තිබෙන්නේ මහින්ද රාජපක්ෂ ප්රමුඛ නිතරම අධිකරණවල දකින්න සිටින පිරිසයි. පහුගිය කාලයේ මුදල් විශුද්ධිකරණය කළ, පොදු දේපළ අවභාවිත කළ, විවිධ දූෂණ ක්‍රියා සිදුකළ අය මේ අයයි. බැසිල් රාජපක්ෂට, මහින්දානන්ද අලුත්ගමගේට තිබෙන නඩු අපි දන්නවා. ඒ වගේම රෝහිත අබේගුණවර්ධන සී.අයි.ඩී. එක මඟ හැරිය හැටිත් අපි දැක්කා.
2020 වනවිට මුලින්ම තිබෙන්නේ ජනාධිපතිවරණයයි. ඒකට ඉදිරිපත් වෙන්න බැරුව මහින්ද රාජපක්ෂ හිරවෙන නිසා මුලින් පාර්ලිමේන්තු මැතිවරණයකට ගිහින් අගමැති වෙන්නේ කොහොමද කියලයි ඔහු බලන්නේ. ඒකට විවිධ උද්ඝෝෂණ පෙළපාළිවලට සිසුන්, වෛද්‍යවරුන් පවා යොදා ගත්තා. තමන්ගේ කාලයේ ඇරැඹූ සයිටම් ආයතනයට විරුද්ධවත් උද්ඝෝෂණ කරවන්න කටයුතු කළත් ඒ කිසිවක් සාර්ථක වුණේ නෑ. දැන් මේ විශ්වාසභංගයට අස්සන් කර තිබෙන්නේ 55 දෙනයි. ඒ අයට යෝජනාව දිනා ගන්න මන්ත්‍රීවරු එකතු කරන එක හරියට ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ අමාරු දෙයක් වෙලයි තියෙන්නේ. මේ හදන්නේ ජනතාවට කොකා පෙන්වා, ඔවුන්ගේ ඇස්වලට වැලි ගසා තමන්ට අහිමිවූ බලය නැවත ලබා ගන්නයි.
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත හදිසියේ ගෙනා එකක් නෙවෙයි. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ 2017 සැප්තැම්බර් 20 වැනිදා. නීතිපතිවරයා, නීතිඥයන්, සිවිල් ආයතන, පොලිසිය ආදී විවිධ පාර්ශ්වවල අදහස් මේ සඳහා ලබා ගත්තා. රජය පවතින අධිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න පියවර රැසක් ගෙන තිබෙනවා. 110ක්ව තිබූ රජයේ නීතිඥවරුන් සංඛ්‍යාව 210ක් දක්වා වැඩිකළා. නීතිඥවරුන්ට විනිසුරුවරුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට ක්‍රියා කළා. විනිසුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීමටත් කටයුතු කළා. ඒ වගේම විවිධ අණ පනත් සංශෝධනය කරන්න කටයුතු කළා. අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට නීතිඥ සංගමයේ සභාපතිවරයා හැර අනෙකුත් නීතිඥයන් සියලුදෙනාම කැමතියි.
ජනතාවට සාධාරණය ඉටුවන ඒ කෙටුම්පතට විරුද්ධව තමයි ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජී.එල්. පීරිස් මහත්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් තිබෙන්නේ. මේ අයගේ එකම අරමුණ තමන්ගේ කණ්ඩායමේ චෝදනා ලබා සිටින අය ආරක්ෂා කර ගැනීමයි. ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් සාධාරණ යුක්තිසහගත තීන්දුවක් ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.
ඡායාරූපය- සිරිපාල හල්වල
0 Comments