Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඒකාධිපති රාජපක්ෂ රෙජිමය යළි බලයට ගේන්න හදන සූක්ෂම වැඩපිළිවෙළක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව හුදෙක් අගමැතිවරයාට එරෙහිව පමණක් ඉදිරිපත් වූවක් නොවේ. එය අවසන් වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් හරහා යහපාලන රජය බිඳ දමා 2015 ජනවාරි 08 ජනතාව විසින් පලවා හල දුෂ්ඨ ඒකාධිපති රාජපක්ෂ රෙජිමය නැවත බලයට ගෙන ඒමේ සූක්ෂම වැඩපිළිවෙළක්. මේ දේශපාලන සූත්‍රය නිවැරදිව කියවා එය පරාජයට පත් කිරීම ජනවාරි 08 විප්ලවයට දායක වූ මහජන නියෝජිතයන් ඇතුළු සෑම පුරවැසියෙකුගේම වගකීමකැයි ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතා සඳහන් කරයි.

ඔහු එසේ සඳහන් කළේ (27) පැල්මඩුල්ල එක්සත් ජාතික පක්ෂ පහලවත්ත කාර්යාලයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පැල්මඩුල්ල සහ රත්නපුර ප්‍රාදේශිය සභා දෙකට එක්සත් ජාතික පෙරමුණෙන් පත්වූ සභිකයන් 19 දෙනෙකු දිවුරුම් දීම මෙහිදී නියෝජ්‍ය ඇමැති ගන්කන්ද මහතා ඉදිරියේ සිදුවිය.

පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් නීතිඥ ඩිලානි චන්ද්‍රිකා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු විශාල පිරිසක් මේ දිවුරුම් දීමේ අවස්ථාවට එක්වූහ. මෙහිදී නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතා මෙසේද පැවසීය.

තව දින කිහිපයකින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙනවා. බැලූ බැල්මට මේ විශ්වාසභංග යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූවක් බවට පෙනී ගියත් මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ධූරයෙන් පලවා හැර මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙන ඒමේ සූක්ෂම වැඩපිළිවෙළක මූලාරම්භය පමණයි. අගමැති ඉවත් කර රාජපක්ෂවරු අතේ නැටවෙන අගමැතිවරයෙකු පත්කර ගැනීමටත්, කතානායකවරයා ඉවත් කර මහින්ද රාජපක්ෂ යළි ජනාධිපති පුටුවට ගෙන ඒමට දෝෂාභියෝගයක් සඳහා ඔවුන් අටවා ඇති මේ දේශපාලන උගුල අප තේරුම්ගත යුතුයි.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු විවිධ අදහස් උදහස් දක්වමින් විවිධ අනාවැකි ඵල කරනවා. රජය විවේචනය කිරීමට, අගමැතිවරයා විවේචනය කිරීමට ඕනෑම පුරවැසියකුට, මහජන නියෝජිතයකුට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අපටත් වත්මන් ආණ්ඩුව කෙරෙහි යම් යම් විවේචන තිබෙනවා. යහපාලන රජයක ස්වරූපයත් එයයි. ප්‍රධාන පක්ෂ දෙකක් එකතුව මිස තනි පක්ෂයක් මේ ආණ්ඩුව නිර්මාණය නොකළ බව අප කවුරුත් තේරුම්ගන්න ඕනෑ. අගමැතිතුමා ඉවත්කර එක්සත් ජාතික පක්ෂය දුර්වල කර තෝරාගත් වෙනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරයෙකු බලයට ගෙනැවිත් කල්යල් බලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ දේශපාලන වශයෙන් ගෙල සිඳීමයි මේ වැඩපිළිවෙළේ යටි අරමුණ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොඳ නාමය ජනතාව අතරට ගෙන යාමට පසුගිය කාලයේ වෑයම් කළා. එහෙත් එය ඵල දරා නැහැ. එහි ප්‍රතිඵලය වූයේ එතුමා ඇතුළු යහපාලනයට එරෙහි පිරිස මතුවීමයි. එක්සත් ජාත්ක පක්ෂයේ අප සේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ඇතුළු වත්මන් යහපාලන රජයේ සෙසු පාර්ශ්වකරුවන්ගේ යම් යම් විවේචනවලට ලක්වූ අඩුපාඩු සකසා ගෙන යහපාලන රජය ඉදිරියට ගෙන යාම අප කාගෙත් වගකීමයි.

අපටත් ප්‍රශ්න තිබෙනවා. පක්ෂය තුළ කලකිරුණු කිහිප දෙනෙක් ඉන්නවා. එහෙත් මේ කලකිරීම් අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් යහපාලන රජයත්, දුෂ්ට බලවේගවලට ගොදුරු කර දී රාජපක්ෂ රෙජිමයේ ඒකාධිපති පාලනය යළි ගෙන ඒම සඳහා කිසිසේත් අවස්ථාවක් බවට පත්කර ගැනීමට ඉඩ නොදිය යුතු යැයිද ගන්කන්ද මහතා කීය.

මේ අවස්ථාවට නියෝජ්‍ය ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වන මහේෂ් පරාක්‍රම කහවේවිතාන, අමිල ලියනගේ, සම්පත් ප්‍රේමචන්ද්‍ර, වසන්ත සමරසේකර ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();