පාතාල නායකයන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වූ අංගොඩ ලොක්කා, මාකඳුරේ මධුෂ්, ඝාතනය වූ සමයංගේ කල්ලි අතර ගැටුම තවදුරටත් උග්‍ර වෙමින් පවතින අතර ඩුබායි සිටින මධුෂ් සහ අංගොඩ ලොක්කා මෙරට බන්ධනාගාර ගතව සිටින සෙසු පාතාල සාමාජිකයන් සමඟ දුරකතන පණිවුඩ ඔස්සේ සැළසුම් සකස් කර ඩුබායි සිට ඝාතන රැල්ල ක්‍රියාත්මක කරන බව බුද්ධිඅංශ මගින් අනාවරණය කරගෙන තිබේ.
ඒ අතර එම මත්කුඩු ජාවාරම්කාර පාතාල කල්ලිවල එකිනෙකා ඝාතනය කරගනිමින්, නීතිවිරෝධී ගිනි අවි භාවිත කර ගනිමින් සිදුකරන ඝාතන රැල්ලේ අගමුලට සම්බන්ධ සියලු පාතාල සාමාජිකයන් සහ ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කාර්ය බළකාය කොළඹ ප්‍රදේශය හා ඒ අවට ප්‍රදේශය පුරා පුළුල් මෙහෙයුමක් කරගෙන යයි.එම ඝාතන රැල්ලේ ආරම්භය මත්කුඩු ජාවාරමේ මුදල් හා බැඳුණු ප්රශ්නයකි. එම ගනුදෙනුවේ සිදුවූ මුදල් වංචාවක් සහ කොන්ත්‍රාත්තුවකට ගෙවන ලද මුදල්වල ගැටලුවක් මත ප්‍රථම ඝාතනය සිදුවී ඇත්තේ මීට වසර ගණනාවකට පෙරය. ඒ අනුව අද දක්වා ඝාතන රැල්ල සිදුවෙමින් පවතී.
මෙම පාතාල කල්ලි ගැටුමෙන් පසුගිය දින කිහිපය තුළ ඝාතන සහ වෙඩි තබා ගැනීම් සිද්ධි හතරක් වාර්තා විය.
පෙරේදා මාලඹේ ප්‍රදේශයේදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට දරුණු ලෙස එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් ඔහු මියගොස් තිබුණි.ඊයේ අලුයම අතුරුගිරිය ප්‍රදේශයේ නිවසකට එල්ලවූ වෙඩි ප්‍රහාරය පාතාලයේ එක් කණ්ඩායමක් විසින් එම නිවැසියන්ට එල්ල කරන ලද අනතුරු ඇඟවීමක් පමණක් බව ද හෙළිවී තිබේ. එම කල්ලි අතර එකිනෙකාට මරණීය අනතුරු හැඟවීම් තර්ජන ගණනාවක්ම එල්ල කරගෙන ඇති බවට ද බුද්ධි තොරතුරු පෙන්වා දෙයි.
එම ඝාතන මරණීය තර්ජන එල්ල කිරීම, ඒවා සැළසුම් කිරීම සහ ඒවා මෙරට සිට සුළු මොහොතකින් ඩුබායිහි සිටින මධුෂ් සහ තවත් ගෝලයන් වෙත යවනු ලබන්නේ බන්ධනාගාර ඇතුලේ සිට දුරකතන පණිවුඩ හුවමාරු ඔස්සේ බව ද තොරතුරු හෙළිවී තිබේ.
පෙරේදා මාලඹේ චන්ද්‍රිකා මාවතේදී වෙඩි කා ඝාතනයට ලක්වූයේ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක් වූ තිදරු පියෙකි. ඔහු මාලඹේ චන්ද්‍රිකා මාවතේ පිහිටි ව්‍යායාම් තීරුවක ව්‍යායාම්වල යෙදෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ඔහු මියයනතෙක්ම වෙඩි අටක් පමණ තබා පලාගොස් ඇති බව පොලිසිය කියයි.
මෙම ව්‍යාපාරිකයා අංගොඩ ලොක්කාගේ හිතවතකු බව ද වාර්තා වෙයි. අනතුරුව ඊයේ අලුයම අතුරුගිරිය ජෝතිපාල මාවතේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එම නිවසේ පදිංචිව සිටින පුද්ගලයා එම ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ ලේකම්වරයකු බව ද කියයි.ඊට දින දෙකකට පෙර කඩවත ප්‍රදේශයේදී කුඩු නුවන් ජීව අත්බෝම්බයක් ද සහිතව විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී ද පාතාල කල්ලි අතර පවතින ගැටුම්වල තොරතුරු රැසක් හෙළිවී ඇති බව ද කියයි.
මීට වසර කිහිපයකට පෙර මාකඳුරේ මධුෂ්ගේ මෙහෙයවීම මත ඩැනී හිත්තැටිය මහතා ඝාතනය සිදුවීමෙන් පසු මධුෂ් මෙරටින් පලාගොස් තිබිණි.අනතුරුව මධුෂ් මේ වනවිට ඩුබායි රටට පැනගෙන සිටියි. ඔහු එතැනින් ස්විස්ටර්ලන්තය බලා යාමට උත්සාහ කරනු ලබන බව ද පැවසේ.ඔහු එරට සිට මත්කුඩු ජාවාරමත් ඝාතන රැල්ලත් කරගෙන යන අතර ඔහුගේ ගෝලයන් සහ අංගොඩ ලොක්කා ඇතුළු කණ්ඩායම් පාතාල ඝාතන රැල්ල සිදු කරන්නේ දුරකතන පණිවුඩ ඔස්සේ සියලු කටයුතු සංවිධානය වෙමින් බව ද බුද්ධි අංශ තවදුරටත් තහවුරු කරගෙන ඇත. කළුතර බන්ධනාගාර බස් රථයට පිළියන්දලදී පහරදී සමයං ඝාතනය කෙරුණේද මෙවැනිම දැවැන්ත සැළසුමක් ඔස්සේය. සමයංගේ කල්ලිය අංගොඩ ලොක්කා සහ මධුෂ්ගේ කල්ලියේ ඝාතනය කිරීමට ඔවුන් පසුපස ලුහුබඳිමින් සිටිති. සමයං පිලේ අලුතින්ම හැදී වැඩී එන පාතාල නායකයා රයන් නමැති අයකු බවත් කියයි.
මාකඳුරේ මධුෂ්, අංගොඩ ලොක්කා, ලඩියා, කොස්ගොඩ සුජී, සමයං රයින්, බඩඕවිට සුදා, වෙලේසුදා සමඟ මීට මාස කිහිපයකට පෙර මියගිය මංජුල සහ තවත් කාන්තාවන් කිහිපදෙනකු ද ඇතුළු පාතාල නායකයන් සහ සාමාජිකයන් විශාල පිරිසක් ඔවුනොවුන් කණ්ඩායම් හරහා එකිනෙකා වෙනුවෙන් ඝාතන රැල්ල සිදුකරමින් සිටිති.
0 Comments