Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පසුගිය සමයේ ප්‍රභූ රැකවලට තිබූ වෙඩි නොවදින වාහන 8ක්-නැවක් ගැඹුරු මුහුදේ ගිල්වා දමයි

විජයානි එදිරිසිංහ සහ රක්ෂණ ශ්‍රියන්ත

පසුගිය කාලයේදී ප්‍රභූ ආරක්ෂාවට යොදා තිබූ වෙඩි නොවදින වාහන අටක් සහ කේ.පී. අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඉන්දුනීසියාවේ සිට මෙරටට ගෙන එනු ලැබූ නෞකාවක් , නාවික හමුදාව මගින් ඊයේ බටහිර ගැඹුරු මුහුදේ දී ගිල්වා දමනු ලැබිණ. ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය මත බටහිර නාවික විධානයේ අණදෙන නිලධාරිවරයාගේ අධීක්ෂණය යටතේ එම විධානයේ නාවික නිලධාරින් විසින් ඊයේ පෙරවරු 10.00 ට පමණ එම වෙඩි‍ නොවදින වාහන සහ නෞකාව මුහුදේ ගිල්වා දැමූ බව වැඩ බලන නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් කේ.සී.සී.උදයංග මහතා ප්‍රකාශ කළේ ය.

හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට විදෙස් රටවලින් ගෙන්වන ලද එම වෙඩි නොවදින වාහන හිටපු ජනාධිපතිවරු සහ වෙනත් ප්‍රභූවරුන්ගේ ආරක්ෂක කටයුතුවලට යෙදීමෙන් පසු තව දුරටත් පාවිච්චි කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබිණි.

එවැනි වෙඩි නොවදින වාහන වෙනත් වාහන මෙන් වෙන්දේසි කළ නොහැකිය. එවැනි අවස්ථාවක සිදුකරන ලෝක සම්මත නීතිමය තත්ත්වය නම් ඒවා ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමයි. කොටස් කර යකඩවලට ගැනීමද සිදු නොකරන බැවින් මේ ආකාරයෙන් මුහුදේ ගිල්වා දමනු ලබයි. මෙම වෙඩි නොවදින වාහන අටට අමතරව මීට වසර ගණනාවකට පෙර කොටි සංවිධානයේ මුල්‍ය කළමනාකාර තනතුර දැරූ කුමාරන් පද්මනාදන් හෙවත් කේ.පී. නමැත්තා මෙරට සහ ජාත්‍යන්තර ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ‍ගත් අවස්ථාවේදී ඉන්දුනීසියාවේ සිට කොටි සංවිධානයට අයත් වෙලින් නම් වූ නෞකාවද අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එනු ලැබිණි.

එම නෞකාවද වසර ගණනාවක් තිස්සේ නාවික හමුදාව සතුව තිබිණි. ‍එම නෞකාවද තවදුරටත් තබා ගැනීම අපහසු තරමටම දිරාපත් වී තිබිණි. එම නිසා එම නෞකාවද මුහුදේ ගිල්වා දැමීමට ආරක්ෂක අමාත්‍යංශය උපදෙස් දී තිබිණි. ඒ අනුව වෙඩි නොවදින වාහන අටත් නෞකාවත් ගැඹුරු මුහුදේ ගිල්වා දමනු ලැබිණි. ඒ සඳහා නාවික හමුදාවට පැය කිහිපයක් ගතවිය. මීට පෙර හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින් 70 දශකයේ පාවිච්චි කරන ලද එවැනි ප්‍රභූ ආරක්ෂක රථයක් අසූව දශකයේදී නාවික හමුදාව මගින් මේ ආකාරයෙන්ම ගිල්වා දැමූ බවද නාවික හමුදාව පවසයි. මෙම වාහන සහ නෞකා මෙසේ පාවිච්චි කළ නොහැකි තත්ත්වයට පත්වූ පසු ගැඹුරු මුහුදේ ගිල්වා දැමීම විදෙස් රටවල් සාමාන්‍යයෙන් අනුගමනය කරන වැඩ පිළිවෙළ වෙයි. පාරිසරික වශයෙන් කිසිදු ආකාරයකින් පරිසරයට හෝ මුහුදු සම්පත්වලට හානි නොවන පරිදි එම කර්තව්‍ය සිදු කිරීමට මුහුදු පාරිසරික නිලධාරින්ගේ අවසරයද මේ සඳහා ලැබී ඇත. මෙම යකඩවල ගැඹුරු මුහුදේදී කොරල් ඇතිවීම සිදුවන බවත් ඒවා සංචාරකයන්ගේ සිත් ඇද ගැනීමට හේතුවන බවත් පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();