Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අතුරුදන්වීම තවමත් අබිරහසක්

Author(s): 
ෆවුස් මොහොමඩ්

 

* එමිරේට්ස් රජ කුමරියක් 
* ප්‍රංශ ඔත්තු සේවයේ හිටපු නිලධාරියෙක් 
* පින්ලන්ත තරුණියක්

අරාබි නිසොල්ලාසයට අලුත් කතාවක්

අරාබි නිසොල්ලාසය නමින් අප කා අතරත් ඉමහත් ජනප්‍රියත්වයට පත් කතා රැසකි. මීට සියවස් ගණනාවකට පෙර අරාබි හා පර්සියානු කතන්දරකරුවන් විසින් මුඛ වහරයෙන් ප්‍රචලිත කළ මේ කතා ලෝ පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ අතර ඉන් බොහෝමයක් විවිධ භාෂා ගණනාවකට පරිවර්තනය වෙමින් තව තවත් අලුත් වෙමින් පවතී.

‘ඇරබියන් නයිට්ස්’ නමින් මුල් කාලීනව ප්‍රචලිත වූ මේ අපුරු කතන්දර ‘එක් දහස් එක් රැය’ නොඑසේ නම් කතාන්දර 1001කින් සමන්විත බවත් කියැවේ. මේ කතාමාලාව බිහිවීමත් එක්තරා අපූරු කතාවකි. මරණයෙන් බේරීම සඳහා එක්තරා සුල්තාන්වරයකුගේ මනාලියක් තම මරණය කල් දමාගැනීමේ උපක්‍රමයක් වශයෙන් රාත්‍රීන් 1001ක් පුරා මෙසේ කතන්දර ගොතා කියමින් ජීවිතය බේරාගැනීමට කළ උත්සාහයක ප්‍රතිළුලයක් බවත් ඉතිහාසය හාරා ඇවිස්සීමේදී සොයාගත හැකිය.

අරාබිය මුල් කරගෙන ගෙතූ මේ කතන්දර මාලාව අතිශය කුතුහලයෙන් පිරුණු එකකි.

අරාබි නිසොල්ලාසය නැවතත් සිහිපත් වූයේ ඊයේ පෙරේදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පාලකයා වන ශේක් මොහොමඩ් අල් මක්තුම් රජුගේ එක්තරා දූ කුමරියක බව කියන ලතීෆා කුමරියගේ ආන්දෝලනයට තුඩුදුන් පලායාම නිසාය. බිරියන් 6 දෙනකු සිටින 68 හැවිරිදි අල් මක්තුම්ගේ දරුවන් තිස්දෙනා අතරින් බටහිර පන්නයට හැදී වැඩුණු 33 හැවිරිදි මේ ලතීෆා කුමරිය එමීර් රාජ්‍යයෙන් පලාගියේ පසුගිය මාසයේදීය. ඩුබායි රජුගේ පවුලේ ලතීෆා නමින් කුමාරිකාවන් තිදෙනකුම සිටින බැවින් මේ කුමරිය ඩුබායි නගරයෙන් පලාගිය ලතීෆා කුමරිය ලෙස බටහිර මාධ්‍ය ඊයේ පෙරේදා හඳුන්වා දි තිබිණි.

අනතුරුව ‘Runaway Princess’ නමින් ඇය ලොව පුරා ඉමහත් අවධානයට ලක්වූයේ පලායාමෙන් දින කිහිපයකට පසුව අන්තර්ජාලයට මුදා හැර තිබූ මිනිත්තු 40ක වීඩියෝ පටයයි. ඉන්දීය සාගරයේ නම සඳහන් නොවන එක්තරා ස්ථානයක නැංගූරම් ලා ඇති බෝට්ටුවක සිට ඇය විසින් මේ වීඩියෝව මුදා හැර තිබේ. එය මේ වනවිට ‘යූ ටියුබ්’ වෙබ් අඩවියේ අතිවිශාල නරඹන්නන් පිරිසකගේ අවධානය දිනූ වීඩියෝ පටයක් බවට පත්වෙමින් ඉතා සීඝ්‍ර ලෙස ප්‍රචලිතවී ඇත්තේ අරාබි නිසොල්ලාසයේ කතාමාලාවත්. එහි කුතුහලයත් ලෝකයට යළි යළිත් සිහිපත් කරදෙමිනි.

ලතීෆා කුමරියගේ අභිරහස් පලායාම ලෝකය හමුවේ හෙළිදරවු වූයේ ඒ වීඩියෝ පටයත් සමගිනි. එමීර් රාජ්‍යයේ කුමරියක් ලෙස ඉතා සීමිත නිදහසකට පමණක් හිමිකම් කියමින් සිටි ඇය ඩුබායි නගරයෙන් පලාගියේ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඇති කැමැත්ත නිසා බව ඇය මේ වීඩියෝ පටයෙන් කියන්නීය.

එපමණක් නොව සිය පිය රජුගේ පැටිකිරියත් ඇය විසින් නිරාවරණය කිරීමෙන් රාජකීය උදහසටත් ඇති තරමට ලක්වී සිටින්නීය. සැබැවින්ම ස්ටාර්ලිං පවුම් බිලියන 15ක වත්කමකට හිමිකම් කියන අල් මක්තුම් රජුගේ පවුල් පසුබිම මාධ්‍යයට රහසකි. ඔහුගේ ජීවන රටාව දෙආකාරයේ එකකි. ඔහු සිය රාජධානියේදී සම්ප්‍රදායික අරාබි ඇඳුමින් සැරසී සිටිනු දක්නට ලැබුණත් නිතර නිතර එංගලන්තයේත්. ප්‍රංශයේත් සැරි සරමින් සිය විවේකය රිසි සේ භුක්ති විඳිද්දී යුරෝපීය ඇඳුමින් සැරැසී බටහිර පන්නයේ ජීවන රටාවක් ගත කිරීම දක්වා ඔහුගේ සියලු සිරිත් විරිත් ලතීෆා දූ කුමරියගේ දැඩි විවේචනයට ලක්වී ඇත. අප දැන සිටින්නේ අල් මක්තුම් ධනකුවේරයාගේ නමින් එංගලන්තයේ වෙනම තුරඟ සමාජයක් ඇති බවත්, ඔහුගේ නමින් එංගලන්තයේ තුරග තරග පවත්වන බව පමණි.

තමා මෙසේ භුක්ති විඳින අසීමිත නිදහස දරුවන්ට ලබානොදීමට (විශේෂයෙන් දූ කුමාරිකාවන්ට) පියවර ගැනීම ලතීෆා කුමරියගේ කනස්සල්ලටත්, අරාබි ජීවිතය ඇයට එපා වීමටත් හේතුවූ බව ඇය කියන්නීය.

ඇය කියන පරිදි සැබැවින්ම ඇය තම නිදහස සොයා මුලින්ම ඩුබායි නගරයෙන් පලායාමට උත්සාහ කර ඇත්තේ මීට අවුරුදු ගණනාවකට පෙරය. එහෙත් එවර පියරජුගේ ඔත්තු සේවා නිලධාරීන්ට හසුවී වසර තුනක් සිර අඩස්සියේ සිටීමට සිදුවී තිබිණි. එකළ යොවුන් වියෙහි පසුවූ දැරියක වූ ඇය නිදහස සොයා ඩුබායි නගරයෙන් පලායාමට කළ උත්සාහයෙන් පසුව ලොවට රහසින් සිරගත වන්නට සිදුවූ අතර ඒ කාලය තුල ඇය විසින් අවස්ථා කිහිපයකදීම මුරණ්ඩු ලෙස හැසිරීමටත්, පියරජුට එරෙහිව කැරැලි ගසන්නටත් පටන් ගැනීම නිසා ඇයට මත්ද්‍රව්‍ය එන්නත් කිරීමට පිය රජු වෛද්‍යවරුන්ට උපදෙස් දුන් බව ඇය දැන් කියන්නීය. මේවා මක්තුම් රජ පවුල මෙතෙක් තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කර හෝ නොමැති බව පුවත මුලින්ම අනාවරණය කළ එංගලන්තයේ ‘ඩේලි මේල්’ පුවත්පත අවධාරණය කර තිබේ.

ඇය මෙසේ ඉන්දිය සාගරයේ එක්තරා ස්ථානයක නැංගූරම් ලා ඇති බෝට්ටුවකට වී කාලය ගත කරමින් සිටියේ දේශපාලන රැකවරණය අපේක්ෂාවෙනි. අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන රැකවරණය බලාපොරොත්තුවෙන් පසුවූ ඇය අමෙරිකාවේ එක්තරා නීතිඥවරයකු සමග දුරකතනය ඔස්සේ සම්බන්ධතා පවත්වමින් සිටියාය.

ඉතා සංවේදීව හා හැඟුම්බරව ඇය විසින් මේ වීඩියෝ පටයේ කතා කරන්නේ ඇයට අත්වූ ඉරණම ගැනය. වසර 2000 සිට ඇයට රටින් පිටවීමට පියරජුගේ කිසිදු අවසරයක් නොලැබුණු බවත්, ඇයට රිසි පරිදි නිදහසේ ජීවත්වීමට අවසර නොදුන් බවත් ඇය කියන්නීය. ලෝක සිතියමේ සංචාරකයන් අතර වඩාත්ම ජනප්‍රිය ගමනාන්තයක් ලෙස කවුරුත් දන්නා ඩුබායි නගරයේ පාලකයාගේ දූ කුමරිකාවක් මෙසේ සිරගතවී නිදහස කොටු කළ ජීවිතයක් ගත කරමින් සිටි බව අනාවරණය වීම ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ නළල් තල රැළි ගැන්වූ පුවතක් බව අමුතුවෙන් කිව යුතු නැත.

‘අනිත් මිනිස්සුන්ට ඇති නිදහස මට නෑ. අපේ නිදහස සීමිතයි. මට පාස්පෝට් එකක් තියාගන්න දුන්නෙ නෑ. මම යන හැම තැනම ආරක්ෂක නිලධාරීන්, ඔත්තු සේවා නිලධාරීන් යොදවලා හිටියා.’ වීඩියෝ පටයෙන් ඇය එසේ පවසන්නීය.

‘මම විශ්වාස කරන කවුරුත් ඩුබායිවල නෑ. හිර අඩස්සියේ කටුක අත්දැකීම් අමතක කරන්න මට අවුරුදු ගාණක් ගියා. මම යහපත්, ලස්සන ජීවිතයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. මගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් පටන් ගන්නයි මට ඕන.’ එසේ කියමින් ඇය හැඟුම්බර වූවාය.

‘මම එමිරේට්ස් රට අතහැරලා පලා ආවත් මගේ ජීවිතය තවමත් අනතුරේ. මම තවමත් අනාරක්ෂිතයි.’

ඒ අතරතුර ඩුබායි බලධාරිහු ඇය අතුරුදන් වූ පුද්ගලයකු ලෙස ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියට දන්වා යවා තිබිණි.

‘කරුණාකර මට උදව් කරන්න. අනේ..කවුදෝ මිනිස්සු වගයක් එළියේ ඉන්නවා. මම දන්නෙ නෑ මොනවද වෙන්නෙ කියලා.’ මේ කුතුහලය මුසුවූ පණිවුඩය ඇය විසින් අන්තර්ජාලයට මුදා හැර තිබුණේ ඊට දින කිහිපයකට පසුවය.

ඉන්පසුව ඇගෙන් කිසිදු පණිවුඩයක් අන්තර්ජාලයේ සඳහන් නොවීය.

රජකුමරියගේ ආරක්ෂාව පිළිබඳ සැක සංකා මෙසේ පැතිරී යද්දී ඩුබායි නගරයේ අතුරුදන්වූ පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින ආයතනයේ නිර්මාතෘවරිය රාධා ස්ටර්ලින් ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියට මෙසේ දැන්වූවාය.

‘අපි බැරිස්ටර්ලා කිහිපදෙනකුගෙන් උපදෙස් ලබාගත්තා. නීති නිලධාරින්ගෙන් වගේම මානව හිමිකම් ආයතනවලත් උපදෙස් ලැබුණා. ඇගේ ජීවිතය ආරක්ෂිත බව තහවුරු කළ යුතුව තිබෙනවා. ඇය මට අවසන් වතාවට එවූ පණිවුඩයේ මෙසේ සටහන් වෙනවා. ‘රාධා මාව බේරගන්න. මිනිස්සු පිරිසක් එළියේ ඉන්නවා. වෙඩි තබන ශබ්දත් ඇහෙනවා.‘ මම ප්‍රශ්න කිහිපයක්ම අසා ඇයට කෙටි පණිවුඩ ගණනාවක් යැව්වා. ඒත් පිළිතුරු නෑ.’

ඉන්දීය සාගරයේ ගෝවේ පළාතට යාබද මුහුදේ නැංගූරම් ලා තිබූ බෝට්ටුව අමෙරිකාවේ ලියාපදිංචි එකක් බව සොයාගෙන තිබේ. නොස්ට්‍රොමෝ (Nostromo) නමැති එම බෝට්ටුවේ හිමිකරුවා වන්නේ අමෙරිකානු ජාතික ජීන් පීරි හර්වේ ජුබේට්ය. ලතීෆා කුමරියට ඩුබායි නගරයෙන් පලාගියේ ඔහුගේ සහයෝගයෙනි. මේ අමෙරිකානුවා කලක් ප්‍රංශ රහස් ඔත්තු සේවයේ නිලධාරියකු ලෙස සේවය කළ ආරක්ෂක නිලධාරියෙකි. ඔහු එකළ ඩුබායි නගරයේ ඔත්තුකරුවකු ලෙස කටයුතු කරමින් සිටියදී ආරක්ෂක නිලධාරින්ට හසුවී පසුව ඩුබායි නගරයෙන් පලාගිය පුද්ගලයකු බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

 පසුව ඔහු ඔත්තු සේවයෙන් විශ්‍රාම ගොස් අමෙරිකාවේ පුරවැසිභාවය ලබාගත් අතර සබ්මැරීන හා බෝට්ටු නිශ්පාදන ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් සිටියේය. ඒ අතරතුර ඔහු පොත් කිහිපයක් ද ලියා පළ කළේය. ඒ අතරින් වැඩිම ජනප්‍රියත්වයක් ලැබූ ‘එස්කේප් ෆ්‍රොම් ඩුබායි’ කෘතිය ඔහු විසින් ලියන ලද්දේ ඊට වසර ගණනාවකට පෙර ඩුබායි නගරයෙන් පලායාමේ අත්දැකීම් ඇසුරිනි. එවර ඔහු ඩුබායි නගරයෙන් පලා ගියේ අරාබි කාන්තාවක සේ වෙස්වලාගෙන සම්පුර්ණයෙන්ම සිරුරත්, මුහුණත් කළු ලෝගුවෙන් හා බුර්කාවෙන් ආවරණය කරගනිමිනි.

ලතීෆා කුමරිය බෝට්ටුවේ රැඳී සිටියේ ඔහු සමගය. ඔවුන් හා කුමරියගේ මිතුරියක ද එහි සිටියාය. ඇය පින්ලන්ත ජාතික තරුණියෙකි. ඒ තරුණිය පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නොතිබිණි. එහෙත් ටිල්නා ජොහානා නමැති තරුණිය අතුරුදන් වී ඇතැයි ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියට ඊට පසුව වාර්තා විය. ඇය පින්ලන්ත තරුණියකි. 41 හැවිරිදි මේ තරුණිය ලතීෆා කුමරිය සමග ඉන්දීය සාගරයේ නැංගූලම් ලා තිබූ බෝට්ටුවේ ඇය සමග සිටි මිතුරිය බව අනාවරණය වූයේ පසුවය. ඔවුන්ගේ අරමුණ වූයේ මුම්බායි නුවරට ගොස් එහි සිට ගුවන් මගින් අමෙරිකාව බලා යාමටය.

මේ පුද්ගලයන් තිදෙනාගේ අතුරුදන්වීම ප්‍රංශය, මහ බ්‍රිතාන්‍ය, අමෙරිකාව, ඉන්දියාව, පින්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් ගණනාවකට රාජතාන්ත්‍රිකව නිල වශයෙන් දන්වා තිබේ. අතුරුදන් වූ ලතීෆා කුමරිය ඇතුළු සෙසු පුද්ගලයන් දෙදෙනා සොයාගැනීමට එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම අවශ්‍ය බව ඩුබායි නගරයේ අතුරුදන්වූ පුද්ගලයන් පිලිබඳ ආයතනය දන්වා සිටියේය. ඔවුන් සිය වෙබ් අඩවියේ වෙනම පිටුවක් වෙන් කරමින් ඇය පිළිබඳ තොරතුරු එවන මෙන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ලතීෆා කුමරිය නිරුපද්‍රිතව නැවත ඩුබායි නගරයට රැගෙන ගිය බව ඊයේ පෙරේදා ඉන්දීය ඔත්තු සේවා නිලධාරින්ට අනුව වාර්තා විය. වෙඩි ප්‍රහාර සහ කළබලකාරී තත්ත්වයක් කුමරිය රැඳී සිටි බෝට්ටුව අවටින් ඇසුණු බවත් පසුව තහවුරු කෙරිණි.

එහෙත් අවසානය තවමත් අබිරහසකි. එය අරාබි නිසොල්ලාසයේ එන පරිදි මරණයෙන් බේරීම සඳහා සුල්තාන්වරයාගේ මනාලිය තම මරණය කල් දමාගැනීමේ උපක්‍රමයක් වශයෙන් රාත්‍රීන් 1001ක් පුරා මෙසේ කතන්දර ගොතා කීමට වඩා කුතුහලය පිරුණු එකකි.

පසුවදන

අමෙරිකානු ධජය සහිත මේ බෝට්ටුව ජාත්‍යන්තර මුහුදක නැංගූරම් ලා සිටීම මෙන්ම එය බලහත්කාරයෙන් අත්පත් කරගැනිමත් ජාත්‍යන්තර මුහුදු නීතිරීති උල්ලංඝනයක කිරිමකි. එක්තරා වෙබ් අඩවියක සටහන් වන අන්දමට මේ බෝට්ටුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දීය වෙරළ ආරක්ෂක හමුදාව හෝ අල් මක්තුම් විසින් කුලියට ගත් හමුදා භට පිරිසක් විසින් පැහැරගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ෆුජෙයිරා හී පිහිටි හමුදා කඳවුරකට රැගෙන ගොස් තිබේ.

බෝට්ටුවේ සිටි තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත්, අමෙරිකානු ජාතිකයා සහ පින්ලන්ත තරුණිය සමග ලතීෆා කුමරිය වැඩිදුර පරීක්ෂණ සඳහා රඳවාතබාගෙන ඇති බවත් මේ වෙබ් අඩවියේ සඳහන් වෙයි. බටහිර මාධ්‍ය වාර්තා මේ පිළිබඳ තොරතුරු සඳහන් කළත්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් මාධ්‍යවලට මේ පිළිබඳ තොරතුරු අනාවරණය කිරීම වැළැක්විමට පියවර ගෙන ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();