උත්සාහක දිනුම් 8කින් සාන්ත තෝමස් විදුහල් පිලේ ක්‍රීඩකයන් අසරණ කළ රාජකීය විදුහල් පිලේ ක්‍රීඩකයෝ අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ තුන්වැනි සතියේ තරගයෙන් ලකුණු 55-0ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත්වූහ. මේ ජයග්‍රහණයත් සමග දෙපිල අතර 56 වැනි වතාවටත් වාර්ෂිකව හුවමාරු වූ මයිකල් ගුණරත්න කුසලානය අත්පත් කරගැනීමට ද රාජකීයයෝ සමත්වුහ.
රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ පෙරේදා පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 10-0කින් පෙරමුණ ගත් සාබිත් ෆෙරෝස්ගේ නායකත්වයෙන් යුතු රාජකීය විදුහල් පිල දෙවැනි භාගයේ සිය ප්‍රතිවාදීන් දැඩි පීඩනයකට හසු කරමින් තවත් උත්සාහක දිනුම් 6ක්ම තැබීමට සමත්වූහ. මේ උත්සාහක දිනුම් 8න් 6ක්ම ගෝල බවට පත් කළ දුලාන් ගුණවර්ධන දඬුවම් පහරකුත් සාර්ථක කරමින් සිය කණ්ඩායමේ පෙරළිකාර ජයග්‍රහණයට උර දුන්නේය.
තරගයේ පළමු භාගයේදී මොහොමඩ් ඉෆ්හාම්ගේ සහ රදීෂ් විජේරත්නගේ උත්සාහක දිනුම් ද්විත්වය මත ලකුණු 10-0කින් පෙරමුණ ගත් රාජකීය විදුහල් පිල දෙවැනි භාගයේදී සිය ආක්‍රමණශීලී තරග රටාව තවත් ඉහළ දැමුවේය. මොහොමඩ් ඉෆ්හාම්ගේ දෙවැනි උත්සාහක දිනුමෙන් දෙවැනි භාගය ආරම්භ කළ රාජකීය විදුහල් පිල අනතුරුව රසිස් රශ්මික, කලිඳු චන්දික, සාබිත් ෆෙරෝස්, හිමන්ත හිරුෂාන් සහ තුලේබ් හසීන්ගේ උත්සාහක දිනුම්වලින් සිය ජයග්‍රහණය කරා ගියේය.
ඉසිපතන විදුහලට ජය
මේ අතර සහිරා විදුහල් පිලට එරෙහිව ලකුණු 17-7ක ජයක් වාර්තා කිරීමට ඉසිපතන විදුහල් පිල සමත්විය. සහිරා විදුහල් පිටියේ පෙරේදා පස්වරුවේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 10-0කින් පෙරමුණ ගත් ඉසිපතන විදුහල් පිල තරගය නිමා කළේ ගෝල් 2ක් සහ දඬුවම් පහරක් සමගිනි. සහිරා විදුහල් පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් පමණි.
සා.ජෝශප් පිලට 50-24ක ජයක්
කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහල් පිල සමග පසුගියදා හැව්ලොක්ස් පිටියේ පැවැති තරගයෙන් ලකුණු 50-24ක ජයක් අත්කර ගැනීමට සාන්ත ජෝශප් විදුහල් පිල සමත්විය.
මෙවර තරගාවලියේ දෙවැනි වරටත් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් තැබූ ගැමුණු චේතිය සාන්ත ජෝශප් විදුහල් පිලේ ජයග්‍රහණයට කදිම අඩිතාලමක් දැමූ අතර ශෙවොන් ග්‍රෙගරි, සමීෂ විරංගන, ජෝන් ගනේගොඩ සහ නෙහාන් පෙරේරා සෙසු උත්සාහක දිනුම් තැබූහ. තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 19-12කින් පෙරමුණ ගැනීමට සාන්ත ජෝශප් විදුහල් පිල සමත්විය.
සා.පීතර හමුවේ ධර්මරාජ පිල පරදී
මහනුවර ධර්මරාජ විදුහල් පිල සමග පැවැති තරගයෙන් ලකුණු 42-5ක ජයක් වාර්තා කිරීමට සාන්ත පීතර විදුහල් පිල සමත්විය.
තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 28-0කින් පෙරමුණ ගත් සාන්ත පීතර විදුහල් පිල තරගය පුරා උත්සාහක දිනුම් 6ක් තැබු අතර ඒ උත්සාහක දිනුම් 6ම ගෝල බවට පත් කිරීමට ශෙහාන් ලියනපතිරණ සමත්විය.
0 Comments