ඇමැති අකිල විරාජ්
රටේ අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක වර්ධනයට අදාළ සැලසුම් සකස් කිරීමේදී, පසුගාමීත්වයට පත්ව ඇති මෙරට තාක්ෂණික සංවර්ධනය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
දියුණු රටවලට සාපේක්ෂව, තාක්ෂණික සංවර්ධනය අතින් වසර 15ක් පමණ පසුපසින් අප රට ගමන් කරන බවත්, එම තත්ත්වය මඟහරවාලීම සඳහා රටේ අධ්‍යාපන පද්ධතිය තුළ සිදුකළ යුතු වෙනස්කම් සැලසුම් සහගතව වෙනස් කිරීමට, එම පද්ධතියට අදාළ සියලු පාර්ශ්ව එක්ව ක්‍රියා කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි ව්‍යාපෘතිය යටතේ 01 සහ 02 ශ්‍රේණිවලට අදාළ ඉංග්‍රීසි ක්‍රියාකාරකම් පොත් සහ ඉංග්‍රීසි ගුරු අත්පොත් කට්ටල ප්රදානය කිරීම නිමිත්තෙන් මීපේ දකුණ ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ පෙරේදා (15) පැවති උත්සවයට සහභාගී වෙමිනි.
එමෙන්ම, පැවති අධ්‍යාපන ක්‍රමවේදයන්ට අනුව සිසුන්ට ගැඹුරින් ඉංග්‍රීසි භාෂාව හැදෑරීම සඳහා තිබුණු අවකාශය අවම මට්ටමේ පැවති බවද ඇමැතිවරයා එහිදී පැවැසීය. දිනෙන් දින දියුණු වන අනාගත තාක්ෂණික ලෝකය ජයගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම සිහිපත් කළ අමාත්‍යවරයා, අධ්‍යාපනයේ මුල් අවධියේ සිටම ඉංග්‍රීසි භාෂාව දරුවන්ට සමීප කරවීමේ අවශ්යාතාව ද පෙන්වා දුන්නේය.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව දිවයිනේ සියලු පාසල් වල 01 සහ 02 ශ්‍රේණිවලට, ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සකස් කරන ලද ඉංග්‍රීසි ක්‍රියාකාරකම් පොත් සහ ඉංග්‍රීසි ගුරු අත්පොත් කට්ටල මෙන්ම 03 ශ්‍රේණියට අදාළව ඉංග්‍රීසි භාෂා කුසලතාව ඔප්නැංවීමට අදාළ සංයුක්ත තැටි කට්ටල, සිසුන් සහ විදුහල්පතිවරුන් වෙත සංකේතාත්මකව ප්රදානය කිරීම ද මෙහිදී සිදුවිය.
1997 වසරේ ප්‍රාථමික අධ්‍යාපන නවීකරණයේ දී හඳුන්වාදුන්, ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි විෂය පාසල්වල ක්‍රියාත්මක කිරීම සදහා මෙතෙක් ඉගෙනුම් සම්පත් මූලාශ්‍ර අධ්‍යාපන පද්ධතිය වෙත හඳුන්වා දී නොතිබූ බැවින් අධ්‍යාපන ඇමැතිවරයාගේ උපදෙස් සහ මෙහෙයවීම මත ජාතික අධ්‍යාපන ආයතනය පාසල්වල ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම සදහා මෙම පොත් කට්ටල සහ සංයුක්ත තැටි නිෂ්පාදනය කොට තිබේ.
ඒ අනුව, දිවයිනේ ප්‍රාථමික ශ්‍රේණි සහිත සෑම පාසලකම 01 සහ 02 ශ්‍රේණි සදහා මෙම පොත් කට්ටල සහ සංයුක්ත තැටි භාවිතයට අවස්ථාව සලසා දීමට නියමිත ය. ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ගේ භාවිතයට ගැළපෙන ඉංග්‍රීසි ළමා ගීත පොත් 2ක්, ඉංග්‍රීසි කතාන්දර පොත් 10ක්, සංයුක්ත තැටි 3ක් සහ ගුරුවරුන් සදහා වන ගුරු අත් පොතක් මෙම ඉගෙනුම් ද්‍රව්‍ය කට්ටලයට ඇතුළත් ය. මෙම පොත් සහ සංයුක්ත තැටි භාවිතය සම්බන්ධව ගුරු උපදේශකවරුන් දැනුවත් කිරීම සහ ඔවුන් මගින් ප්‍රාථමික ගුරුවරුන් දැනුවත් කිරීමට ද කටයුතු යොදා තිබේ.
උත්සවයෙන් අනතුරුව මීපේ දකුණු ආසියානු සංවර්ධන මධ්‍යස්ථානයේ ඉදි කිරීමට යෝජිත නව නේවාසිකාගාරයට මුල්ගල තැබීම ද අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සිදුවිය.
අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය ඇතුළු නිලධාරීහු රැසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.
සිතාරා සේනානි
0 Comments