Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමාජය විනාශ කරන ප්‍රවාහ පාලනයට ක්‍රමයක් අවශ්‍යයි

මහනුවර සහ අම්පාරේ ඇති වූ සිදුවීම්වලින් පසුව ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව තහනම් කිරීම ඉදිරි දින කිහිපයේ දී ඉවත් කරන බවත්, සමාජ යහපත වෙනුවෙන් වන ප්‍රවාහයකට ඉඩ දුන්න ද සමාජය විනාශ කරන යම් දෙයක් වේ නම් එය පාලනය කිරීමට යම් ක්‍රමවේදයක් අවශ්‍ය බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර හමුවක් ඊයේ(13) පස්වරුවේ ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේ දී පැවැත්වුණු අතර එහි දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජංගම දුරකථන, පරිගණකය, අන්තර්ජාලය, සමාජ මාධ්‍ය නිර්මාණය වූයේ මානව සමාජයේ යහපත සඳහා බවත්, එයින් ලෝකයක දැනුම තමන්ට අත්කර ගත හැකි වුව ද අවාසනාවකට ශ්‍රී ලංකාවේ ඇතැම් දෙනා මෙම සම්පත් භාවිත කරන්නේ රට විනාශ කිරීමට බව ද ජනාධිපතිවරයා මෙහි දී පැවැසීය. එබැවින් මෙම සම්පත් නිසි ලෙස භාවිත කිරීම පිළිබඳ නව වැඩපිළිවෙළක් ඉදිරි සති කිහිපය තුළ රටට හඳුන්වාදීමට අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඒ සඳහා රජය මෙන්ම සියලු පුරවැසියන් ද තම වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

ජාතික සමගිය නැති කිරීම, ජාතික ආරක්ෂාවට හානි කිරීම, පුද්ගලයන්ට කරන බරපතළ නින්දා කිරීම් වැනි දේ ඉවත් කර යහපත් සහ නිවැරදි දේ පමණක් හුවමාරු කෙරෙන මාධ්‍ය වැඩි වැඩියෙන් අවශ්‍ය බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයන්, ශිෂ්‍ය සංගම් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන පිරිස් මෙම හමුවට එක්ව සිටි අතර ඔවුන් ඉතා හරසරින් යුතුව ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මාතෘ භූමියේ කිර්තිනාමය රැක ගනිමින් රට වෙනුවෙන් ඉටුකරන මෙහෙවර ද මෙහි දී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්විය.

තම ක්ෂේත්‍ර තුළ කටයුතු කරගෙන යාමේ දී මුහුණදීමට සිදුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳ ද මෙහි දී ඔවුන් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර, එම ගැටලු විසඳීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ‍වරයා සඳහන් කළේය. එම ක්ෂේත්‍රවල නියෝජිතයන් මීට පෙර ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ දී ඉදිරිපත් කළ ගැටලු කිහිපයකට විසඳුම් ලබාදීමට ද ජනාධිපතිවරයා කටයුතු කර තිබූ අතර ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පිරිනැමීමට ද ඔවුන් මෙය අවස්ථාවක් කර ගත්තේය.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, තිලක් මාරපන, මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();