Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝක පුරපතිනි නාමාවලියට අපෙන් එක්වන

 

කොළඹ මහ නගර සභා ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ දෙවැනි වතාවට හා කොළඹ වාණිජ අගනගරයේ ප්‍රථම වරට කාන්තාවක් පුරපතිනිය ලෙස මහජන ඡන්දයෙන් මෙවර කොළඹ නගර සභාවට පත්ව සිටී. ඇය කවරකුවත් නොව, වත්මන් අග්‍රාමාත්‍ය කාර්ය සාධක මණ්ඩලයේ සිටි, උප ප්‍රධානි ලෙස සේවය කළ , සහසක් දන, ‘රෝසි සේනානායක’ යන නමින් දන්නා, හඳුනන, අමතන, බර්නදින් රෝස් සේනානායකය.

ඇය කොළඹ නගර සභාවේ 30වැනි පුරපතිනිය ලෙස තව නොබෝ දිනකින්, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන සමාරම්භක උළෙලේ දී දිවුරුම් දීමට නියමිතය.

කොළඹ, විවිධ පැතිකඩවලට දිවෙන ස්වරූපයෙන් යුත්, උද්යෝගිමත් නගරයකි. එසේම ශ්‍රී ලංකා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයත්, පරිපාලන මධ්‍ය වන්නේත් කොලොම්පුරයයි. ශ්‍රී ජයවර්ධනපුරය, ශ්‍රී ලංකාවේ අග නගරය ලෙස නම් කරන්නන්ට පෙර අගනුවර වූයේ කොළඹයි. අදත් අපේ රටේ විසල් හදවත වන්නේ කොළඹමයි.

නගර සභාවට මුල පිරූ යුගයේ සිට මේ වනතුරු අග-නගරයේ ප්‍රධාන පුරවැසියා - ‘නගරයේ පිතෘවරයා ’ තනතුර දැරුවේ මහත්තැන් කෙනෙකි. එහෙත් මෙදා මුල්වරට කාන්තාවක්, ‘නගරයේ මාතෘ’ තනතුර හොබවන්නී, කාටත් අලුත් අත්දැකීමක් එක්කරමිනි.

වර්ෂ 1980 දශකයේ ‘ශ්‍රී ලංකා රූ රැජින’ වී සම්මානයට පත් ඇය , වර්ෂ 1981 “ආසියානු පැසිෆික් රූ රැජින” කිරුල දිනා, සිය මවුබිම, ආසියානු කලාපය තුළ බැබළ වූ ඕ, ලෝකයේ ප්‍රථම වරට සංවිධානය කළ, හවායි-හොනලුලුවල වර්ෂ 1985 දී පැවැති ‘විවාහක ලෝ රූ රැජින’ තරගයට සහභාගි වී, ‘ලෝකයේ ලස්සනම විවාහක කාන්තාව’ ලෙස කිරුල දිනා, ශ්‍රී ලංකාවෙත්, ඇයගෙත් කීර්තිනාමය අහස උසට ඔසවන්නට සමත්වූවාය.

මෙතෙක් කොළඹ මහ නගර සභාවට පත් වූ නියෝජිත පිරිසට වඩා ප්‍රමාණයෙන් වැඩි පිරිසක් එනම් නියෝජිතයන් 119ක් පුරවරයේ හෙට දවස ගැන බලන්නට මහජන ඡන්දයෙන් පත්ව සිටින අතර, අනිවාර්ය කළ සියයට විසිපහේ (25 %) කාන්තා නියෝජනය නිසා මෙදා පුර සබයට විවිධ ක්ෂේත්‍රවල දස්කම් - විස්කම් පාන කාන්තාවන් තිස් දෙනෙක්, නියෝජනයවීම සැබෑම අරුමයකි. එම කාන්තා නියෝජනයෙන් 16ක් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර දිනූ කාන්තාවන්ය. ඉතිරි 14 දෙනා නියෝජනය කරන්නේ විපක්ෂයයි.

පුරපතිනි අසුන මතුදා දරන ‘රෝසි’, ලොව ඇතැම් රටවල අගනගරයන්හි බලය දරන ලෝක නගරාධිපතිනියන්ගේ සංඛ්‍යාවට ඇතුළුවන නවක නගරාධිපතිනිය වන්නීය. අග නගරවල පුරපතිනි තනතුර දැරූවන් ගැන ලියවුණු ඓතිහාසික සටහන්වලට අනුව, කාන්තාවන් පුරසබවල මුල් පුටුව අරාසිටින්නට මුල පුරා ඇත්තේ 19වැනි සියවසේ සිටය. තක්කයටම සඳහන් කරන්නේ නම් වර්ෂ 1862 දී සිටය. ලෝකය පුරාවට දැන් කාන්තා නියෝජනය සියයට විස්සේ (20% ) තලයට ඔසවා ඇතත් (අපේ රටේ සියයට විසිපහකි 25 %) ලෝක පුරපතියන්ගේ සමස්ත සංඛ්‍යාව තුළ, පුරපතිනි සංඛ්‍යාව සියයට පහටත් (5%) අඩුය. දැනට අප අතර ගැවසෙන දත්තවලට අනුව, ඔස්කලූසාලෝවාවල, නගරාධිපතිනිය ලෙස වර්ෂ 1862 මහජන ඡන්දයෙන් තේරී පත් වූ ‘නැන්සි ස්මිත්’ පුරපතිනිය ලෙස දිවුරුම් දීම ප්‍රතික්ෂේප කළාය. එහෙයින් ඉතිහාසකරුවන් ලොව ප්‍රථම පුරපතිනිය ලෙස සලකන්නේ/ නම් කරන්නේ, වර්ෂ 1887 දී එක්සත් ජනපදයේ, අර්ගෝනියා, කන්සාසාහි පුරපතිනිය ලෙස මහජන ඡන්දයෙන් පත් වූ සුසානා මදෝරා සාල්ටර් මහත්මියයි.

කොළඹ පුරවරයේ පුරපතිනියවීමට ජනවරම ලද රෝසි සේනානායක මහත්මියගේ සමකාලීයන් වන කාන්තා පුරපතිනියන් අතර වර්ෂ 2017 සිට නිව් ඔර්ලයන්ස්වලට පත්ව සිටින ලාටෝයෝ කැන්ට්‍රෙල්; ලෝකයේ දෙවැනි අති විශාලම නගරය ලෙස සැලකෙන, ස්පාඤ්ඤයේ බර්සලෝනාහි පුරපතිනි අදා ක්ලව් මෙන්ම වර්ෂ 2012 දී බෙත්ලෙහෙම් නගරයේ ප්‍රධාන පුරවාසිනිය වූ වේරා බබවුන් යන ඇත්තියන් වේ.

අනාගත පුරපතිනිය ලෙස නම්කර එක්සත් ජාතික පක්ෂයෙන් පුරසබයට තරග වැදුණු කණ්ඩායමේ නායිකාව, සියල්ලන් මවිත කරමින් අති විශිෂ්ට ජයක් එක්සත් ජාතික පක්ෂයට ලබා දුන්නේ, ‘තමන් පෙනී සිටින කාරණයට, සද්භාවයෙන් පෙනී සිටිනවා නම්, වුවමනාව, උනන්දුව හා කැපවීම ඇත්නම්, කාන්තාවන්ට කළ නොහැකි දෙයක් නැත’ යන්න තහවුරු කරමිනි.

ඇයගේ නායකත්වයෙන් තරග වැදුණු එජාප කණ්ඩායම සියලු නාගරික කොට්ඨාස ජය ගනිමින් නියෝජිතයන් 60 දෙනකු කොළඹ නගර සභාවට පත්ව සිටියි. ඉන් පනස් එක් දෙනෙක් (51) කොට්ඨාස නියෝජනය කරමින් පත්ව සිටින අතර, සෙසු නවදෙනා (9) පත්ව ඇත්තේ ලැයිස්තුව හරහාය.

වර්තමාන නගර සභාවේ නියෝජිත සංයුතිය මෙසේය: එජාප 60, ශ්‍රීලපොදුජන 23, පොදු පෙරමුණ 12, යූපීඒ 10, ජවිපෙ 06, යූපීඒ 02 , එන්එෆ්ජීජී 01, සීඩබ්ලිව්සී 01, එස්එල්එන්එෆ් 01 සහ ස්වාධීන දෙවැනි කණ්ඩායම 01.

නොබෝ දිනකින් කොලොම්පුරේ අගනගරේ පුරපතිනිය ලෙස අසුන දරනට නියමිත, කොළඹ මහ නගර සභා මැතිවරණයට තරග වැදුණු එජාප කණ්ඩායමට නායකත්වය දෙමින්, බම්බලපිටිය කොට්ඨාසය වෙනුවෙන් තරග වැදුණු රෝසි සේනානායක මහත්මිය, රට පුරා ඇති, මහනගර සභා 24ක, නගර සභා 41ක හා ප්‍රාදේශීය සභා 270ක සභික තනතුරක් සඳහා සිරිලක තුළ මෙදා තරග වැදුණු කාන්තාවන් දාහත්දහස (17,000)

අතර එක් කාන්තවකි. (අධිකරණ නියෝගයක් මත ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා මැතිවරණය නොපැවැත් වුණු බව සටහන් කළ යුතුය.)

අති විශිෂ්ට ජයක් එජාපයට ලබාදුන් ඇය, අපේ රට තුළ බිහි වුණු දෙවැන පුරපතිනියයි. ඒ එසේ වන්නේ ඇයට පෙර යාපනයේ මහා නගර සභාවේ පුරපතිනිය ලෙස පත් වීමේ ගෞරවය සරෝජිනී යෝගේස්වරන් මහත්මියට හිමිවන නිසාය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් තරග වැද වර්ෂ 1997 දී යාපනයේ නගරාධිපතිනිය වූ ඇයව, විමුක්ති කොටි දෙමළ ඊළාම් සංවිධානය විසින් වර්ෂ 1998 මැයි 17 වැනිදා ඝාතනය කරන ලදී. කොටි සංවිධානය විසින් ඇයගේ සැමියා වෙට්ටුවෙලු යෝගේස්වරන්ව ද, වර්ෂ 1987 දී මරාදමන ලදී.

මෙදා පැවැති පළාත් පාලන මැතිවරණයේ තවත් එක් සුවිශේෂී ලක්ෂණයක් නම්, හතළිස් එක් වසරකට (41) පමණ පසුව කොට්ඨාස ක්‍රමයට සියයට හැටක් (60%) ද පක්ෂ නාම ලේඛනයට අනුව සියයට හතළිහක් (40%ක්) නියෝජිතයන් තෝරා ගන්නා පිළිවෙළට මැතිවරණය පැවැත්වීමයි. පළාත් පාලන ආයතනවලට තෝරාපත්කර ගන්නා සභිකයන් අතරට සියයට විසිපහක (25%) කාන්තා නියෝජනයක් තිබීම අනිවාර්යවීම අනිත් වැදගත් ලක්ෂණයයි.

ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක් වන ඇය ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකුව සේවය කළ දිවංගත එරික් ක්ලෝඩ් රාමනායක හා එම මහත්මියට දාව උපන් දරුවන් හයදෙනා අතර දෙවැන්නාව වර්ෂ 1958 ජනවාරි 05 වැනිදා උපන් රෝසි, සිය ලදරු අධ්‍යාපනය අම්පාර පුරවරයේදී ලබා, ඇඹිලිපිටිය මහා විද්‍යාලයෙන් හා , රත්නපුර ෆර්ගසන් උසස් පාසලෙන් ද්වීතිය අධ්‍යාපනය හදාරා මුහුදෙන් එතෙර එංගලන්තයේ දී සිය උසස් අධ්‍යාපන කටයුතු කරගැනීමට ගියේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මහජන සම්බන්ධතා නිලධාරිනියක ලෙස සේවය කරමිනි.

වර්ෂ 1980 දශකයේ පැවැති ලංකා රූ රැජින තරගයට නමෝ විත්තියෙන් සහභාගිවී වර්ෂ 1980 ‘ශ්‍රී ලංකා රූ රැජින’ ලෙස ඔටුනු පළන් ඈ, වර්ෂ 1981 දී පිලිපීනයේ පැවැති “ ආසියා-පැසිපිකයේ මානවිය” වී, වර්ෂ 1985 දී හවායි, හොනොලුළුහි ප්‍රථම වතාවට සංවිධානය කරන ලද ‘ලෝකයේ විවාහක කාන්තාව’ තරගයට ඉදිරිපත් වී සිය උපන් බිම වන ශ්‍රී ලංකාවට ගෞරවාභිමානයත්, තමන්ට කීර්තිය හා ප්‍රශංසාව ලබාගත්තේ ‘ලෝකයේ ලස්සනම විවාහක කාන්තාව’ කිරුල අත්පත්කර ගනිමිනි.

කාන්තා හා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින ප්‍රතාපවත් චරිතයක් ලෙස දනන් තුඩග රැඳි යකඩ ගැහැනියක් වූ ඇය, එවක මෙරට මුල්කත ලෙස නම්දැරූ එලිනා ජයවර්ධන ආර්යාව නායකත්වය දුන් සේවා වනිතා සංවිධානයට යාවජීව සාමාජිකාවක ලෙස බැඳී සේවය කළ රෝසි, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් ලක් වනිතා ව්‍යාපාරයට එක්ව, එහි සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස කටයුතු කළේ හේමා ප්‍රේමදාස ආර්යාවගේ ද අනුග්‍රහයෙනි. මේ සම්බන්ධතාව ඇයව දේශපාලනමය වශයෙන් එජාපයට ලංවීමට හේතුවක් වූ අතර, එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සමාජිකාවක් ලෙසත්, වර්ෂ 1997 දී බටහිර කොළඹ එජාප සංවිධායකවරිය ලෙස පත් කිරීමටත් හේතු විය.

ඇයගේ අනුපමේය මහජන සේවාවට අගය එක්කරමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වර්ෂ 1998 දී ‘සහෘදිනි තානාපතිනි’ ලෙස ඇය නම් කළ අතර, වර්ෂ 2001 දී මෙරට පාලනය කළ එජාප රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ඇයව පත් කළේය. ශ්‍රී ලංකාවේ කීර්තිය පතල කරමින් ඇය වර්ෂ 2002 සිට 2004 දක්වා රට වෙනුවෙන් එරට සේවය කළාය.

වර්ෂ 2009 දී පවත්වන ලද බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී එජාපයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වැද, දිනා බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායිකාව ලෙස කටයුතු කරමින් සිටියදී, වර්ෂ 2010 පාර්ලිමේන්තු මහ මැතිවරණයට එජාපයෙන් කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වී, දිනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත් වූවාය. වර්ෂ 2010 ජුනි 26 සිට 2015 අගෝස්තු 17 දින දක්වා, මන්ත්‍රිවරියක, ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිවරිය ලෙස ඇය රටට සේවය කළාය.

රාමනායක පවුලේ දෙවැන්නිය ලෙස උපන් රෝසිට දේශපාලනය අලුත් දෙයක් නොවේ. ඊට හේතුව නම් දේශපාලනය පවුල තුළම දෝලනය වෙමින් තිබීමය. ඇයගේ තාත්තාගේ ලොකු අක්කා එස්මි රාමනායක විවාහ වූයේ සී. පී. ද සිල්වාගේ මලනුවන් වූ මින්නේරියේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි මෙරිල් සිල්වා සමඟය.

රෝසි රාමනායක / සේනානායක වන්නේ හිටපු පොලිස්පතිගේ පුත් අතුල සමඟ වර්ෂ 1981 සැප්තැම්බර්වල දී, එංගලන්තයේ දී විවාහවීම නිසාය. අතුලගේ මව, මායා කුලරත්න, කොළඹ නාලන්දා විදුහලේ නිර්මාතෘ, කලක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස සේවය කළ පී. ද. එස්. කුලරත්නගේ දුවය. රෝසි සේනානායක කනිෂ්ක, තිසාක්යා හා රාධ්‍යගේ අම්මාය.

වර්ෂ 1865 නොවැම්බර් මස 25 වැනි දින, ස්ථාපිත කරන ලද කොළඹ නගර සභාවට (පළාත් ආණ්ඩු සභාව) තිබු‍ණේ , නියෝජිත කොට්ඨාස නවයක් (9) ක පමණි. ඒවා නම් කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය, සාන්තබස්තියම, කොටුව, පිටකොටුව, සාන්ත පාවුළු පෙදෙස, කොටහේන, මරදාන හා නව බසාර් වීදියයි.

නගර සභා ඉතිහාසයට අනුව, කොළඹ නගර සභාව - මහ නගරසභාව වශයෙන් හඳුන්වන්නට පටන්ගන්නේ වර්ෂ 1935 සිටය. කොළඹ මහ නගර සභාවේ පළමු පුරපති ලෙස හඳුන්වා ගැනීමේ වාසනාව හිමිවූයේ ශ්‍රී ලාංකිකයකු වන රත්තජෝති සරවනමුත්තුටය. වර්ෂ 1954 දී කොළඹ පුරපති අසුනේ ඉඳගන්නේ කලක් අපේ රටේ මුදල් ඇමැතිවරයාව සිටි ලංකා සමසමාජ පක්ෂයේ නායක ඇන්. ඇම් පෙරේරා මහතාය. අනතුරුව වර්ෂ 1956 රට තුළ සිදු වූ මහා පෙරළියත් සමඟ කොළඹ මහා නගර සභාවේ පුරපති වන්නේ වී. ඒ. සුගතදාස සිරිමතුන්ය.

‘නගරයේ පිතෘ’ යන නම දරමින්, (ඉදිරියේදී ‘නගර මාතෘ’) තනතුරේ කටයුතු කිරීම සරල සුගම කටයුත්තක් නොවේ. පුරපති /පුරපතිනි අසුන රෝසමල් යහනාවක් නොව, නිතර උනුසුම් වන අසුනකි. මහ නගර සභා සීමාව තුළ දිවි ගෙවමින්, බදු ගෙවමින් ජීවත්වන පුර වැසියන්ගේ අවශ්‍යතා සපුරාලීම, ඔවුන් උදක්ම බලාපොරොත්තුවේ. ඔවුන් ඉල්ලා සිටින්නේ නගර වැසියන්ට ගෞරවාන්විත සේවාවකි.

පෙරදා සිටි නගරාධිපතිවරුන්ගේ ගමන්මඟේ ඉතා ප්‍රඥාවන්තව ගමන් කරමින් තව නොබෝ දිනකින් පුරපති අසුන දරන්නට එන රෝසි සේනානායක මහත්මිය, කාලය බොහෝ වෙනස්ව ඇති බව හොඳින් අවබෝධ කරගෙන, තමන් හමුවට එන සියලු දේ බාධක නොව අභියෝගයන් ලෙස බාරගෙන, කිතුනු බැතිමතියක ලෙස ඒවාට විශ්වාසයෙන් මුහුණදිය යුතුය. හමන සුළඟ රළුය, උණුසුම්ය, විටෙක සිසිල්ය. නගර සීමාව, වපසරිය තුළ, වැදෙන සුළං රළ නිසිව හඳුනා ගැනීමට තමන්ගේ තීක්ෂණ ඥානය මෙහෙයවිය යුතුය. නගරාධිපතිනි අසුනට නවකයකු වන, ජනතා වරමින් පදවිප්‍රාප්තවීමට නියමිත සේනානායක මහත්මිය, නිහතමානීව හා චිත්ත ශක්තියෙන් යුතුව පැමිණෙන ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්නට ශක්තිමත් විය යුතුය. අනිත් අයට වැරදුණු තැන්වලින් පාඩම් ඉගෙන ගෙන, ඔවුන්ගේ අත්දැකීම් තමන්ගේ ආරක්ෂක වළලු සේ සලකමින් දශක ගණනාවක් තිස්සේ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීන් ලෙස සේවය කළ/ කරන ඇත්තන්ගේ දැනුම තමන්ට ශක්තියක් කර ගත යුතුය.

මෙහි දී පුරහල ගැනත් කිසියම් සඳහනක් කිරීම අනුචිත නොවේ. දැන් නගරාධිපතිතුමාගේ නිල කාර්යාලය, නාගරික මන්ත්‍රීන් රැස්වන ශාලාව ඇතුළු විශේෂාංග රැසකින් යුත් පුරහල, ශ්‍රී ලංකාවට අමුතු, බ්‍රිතාන්‍ය ගොඩනැගිලි සම්ප්‍රදාය පිළිබිඹු කරයි.

ඓතිහසික තොරතුරු සඳහන් කර ඇති අන්දමට ලෝක ප්‍රකට නගර සැලසුම් ශිල්පී මහාචාර්ය පැට්‍රික් ගෙඩ්ස්ගේ අනුමැතිය අනුව යමින් නගර සභා ගොඩනැගිල්ල සඳහා සුදුසු සැකිල්ලක් තෝරා ගැනීමට වර්ෂ 1921 දී ගොඩනැගිලි ශිල්පීන් අතර නිර්මාණ තරගයක් 1922 දී සංවිධානය කර ඇත. ඒ හරහා ලැබුණු 32ක් නිර්මාණ අතරින්, ඉහළින්ම උචිත යැයි තෝරාගනු ලැබුවේ, ඔබත් මාත් දකින පුරහල චිත්‍රණය කළ අයදුම්පතය. රල්ෆ් බූටි සමාගම වෙනුවෙන් එය ඉදිරිපත් කර තිබුණේ, නිර්මාණ ශිල්පී එස්. ජේ . එඩ්වඩ්ස්ය.

වත්මන් පුරහල සඳහා මුල් ගල තැබුණේ වර්ෂ 1924 මැයි මස 24 වැනි දා එවක පුරපති නිලදැරූ ටී. රීඩ් ( සීසී එස්) මහත්මා විසිනි. ගොඩනැගිල්ල තනා නිම වූයේ වර්ෂ 1927 දී ය.

වත්තල ඇ. වීරප්පෙරුම 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();