ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සචිත්ර සේනානායකගේ නායකත්වයෙන් යුත් එස්.එස්.සී ක්‍රීඩා සමාජය සමත් විය.
එස්.එස්.සී පිටියේ ඊයේ පැවැති තරගාවලියේ අවසන් මහ තරගයේදී එස්.එස්.සී පිල හමුවේ එන්.සී.සී ක්‍රීඩා සමාජය කඩුලු 4කින් පරාජයට පත්විය.
කාසියේ වාසිය දිනූ එස්.එස්.සී පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එන්.සී.සී පිල ඕවර 48.2කදී ලකුණු 236කට දැවී ගිය අතර එම ඉලක්කය හඹාගිය එස්.එස්.සී පිල පන්දු 25ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුලු 6ක් පමණක් අහිමිකර ගනිමිනි.
එස්.එස්.සී පිළිතුරු ඉනිමේ ලකුණු 54කට කඩුලු 2ක් බිඳ වැටීමෙන් අනතුරුව ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සමග එක්වූ දසුන් ශානක මුළු ලකුණු සංඛ්‍යාව 142 දක්වා ඉදිරියට ගෙන යමින් කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කළේය.
ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා ලකුණු 12කට දැවී ගිය අතර දිමුත් කරුණාරත්නට ලබාගත හැකිවූයේ ලකුණු 14ක් පමණි. ඔවුන් දෙදෙනාම සචින්ත පීරිස්ගේ පන්දු හමුවේ දැවී ගියහ.
ලකුණු 88කින් ගොඩනැගුණු තෙවැනි කඩුල්ලේ සබඳතාව බිඳ දැමීමට දුෂ්මන්ත චමීර සමත්වූයේ දසුන් ශානක පිටියෙන් ඉවත් කරමිනි. පන්දු 53කට මුහුණදුන් ශානක හතරේ පහර සමගින් ලකුණු 26ක් රැස් කළේය. යළි ක්‍රියාත්මක වූ චමීර, මිනෝද් භානුක (3) පිටියෙන් ඉවත් කළේ මුළු ලකුණු 151ක් වෙද්දීය. මිලින්ද සිරිවර්ධනද ලකුණු 3කට දැවී ගිය අතර එස්.එස්.සී. ජයග්‍රහණයේ නියමුවා වූ ධනුෂ්ක ගුණතිලක 6 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 31ක් පමණි. පන්දු 122කට මුහුණදුන් ගුණතිලක හතරේ පහර 13ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 119ක් වාර්තා කළේය.
චරිත් අසලංක නොදැවී ලකුණු 27ක් රැස්කළ අතර ජයග්‍රහණය ඉක්මන් කළ තිසර පෙරේරා පන්දු 9කින් වේගවත් ලකුණු 19ක් රැස්කළේ හතරේ පහර 2ක් හා හයේ පහරක් සමගිනි. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 3ක් හා සචින්ත පීරිස් කඩුලු 2ක් දවා ගත්හ.
පළමුව පන්දුවට පහරදුන් එන්.සී.සී ඉනිමේ ආරම්භක පිතිකරු යුගලය ලකුණු 46ක් තුළ යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට එස්.එස්.සී පන්දු යවන්නෝ සමත්වූහ.
උපුල් තරංග ලකුණු 4ක් ලබාසිටියදී ධම්මික ප්‍රසාද්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දීමට උත්සහ කළ දික්වැල්ල, තිසර පෙරේරාගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී යනවිට පන්දු 30කින් ලකුණු 33ක් රැස්කර තිබිණි.
අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් හුදෙකලා සටනක නිරත වෙමින් රැස්කළ ශතකය හේතුවෙන් එන්.සී.සී පිලට ලකුණු 200 සීමාව පසුකිරීමට හැකිවිය.
ඔහු, මහේල උඩවත්ත (20) සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 34ක්, නායක ඇන්ජලෝ පෙරේරා සමගින් සිවුවැනි කඩුල්ලට ලකුණු 42ක් එක්කළ අතර පිතිකරුවන් එක පෙලට දැවී යද්දී සචින්ත පීරිස් (15) සමගින් 9වැනි කඩුල්ලට ලකුණු 46ක්ද එක් කළේය. මහේල, තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර පන්දු 31කින් ලකුණු 21ක් රැස්කළ ඇන්ජලෝ පෙරේරා සමගින් චතුරංග ද සිල්වා ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට ජෙෆ්රි වැන්ඩසේට හැකිවිය. ඒ වනවිට ලකුණු සංඛ්‍යාව 134ක් විය.
තවත් ලකුණු 14ක් එක්වෙද්දී ධම්මික ප්‍රසාද්ට දෙවැනි කඩුල්ල ලබාදෙමින් තරිඳු කෞෂාල් (5) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය. ලකුණු 3ක් තුළ එන්.සී.සී පිලට කඩුලු 2ක් අහිමිවූයේ 7 වැනි කඩුල්ල ලෙස චාමික කරුණාරත්න (10) ස්ටම්ප් කිරීමට හසුවීමෙන් සහ දුෂ්මන්ත චමීර (2) සචිත්ර සේනානායකගේ පන්දුවකට උඩ පන්දුවක් දීමෙන් දැවී යෑමෙනි. ඉනිම ගොඩනැගීමේ සටනක නිරතවූ චන්දිමාල් මුළු ලකුණු 217දී 9වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට දසුන් ශානක සමත් වූයේ ධනුෂ්ක ගුණතිලක උඩ පන්දුවක් රැක ගැනීමෙනි. පන්දු 123කට මුහුණදුන් චන්දිමාල් හතරේ පහර 5ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 103ක් රැස් කළේය. ලකුණු 15ක් ලබාසිටි ලසිත් මාලිංග, ධම්මික ප්‍රසාද්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී යෑමත් සමග එන්.සී.සී ඉනිම ලකුණු 236කට සීමාවිය.
පන්දු යැවීමේදී ධම්මික ප්‍රසාද් කඩුලු 3ක් දවාගත් අතර ජෙෆ්රි වැන්ඩසේ හා තිසර පෙරේරා කඩුලු 2 බැගින් බිඳ දැමූහ.
එන්.සී.සී. පිල - 236යි. (ඕවර 48.2) දිනේෂ් චන්දිමාල් 103, නිරෝෂන් දික්වැල්ල 33 (ධම්මික ප්‍රසාද් 42/3, ජෙෆ්රි වැන්ඩසේ 34/2, තිසර පෙරේරා 42/2)
එස්.එස්.සී පිල - 239/6යි. (ඕවර 45.5) ධනුෂ්ක ගුණතිලක 119, චරිත් අසලංක නොදැවී 27 (දුෂ්මන්ත චමීර 41/3, සචින්ත පීරිස් 42/2)
0 Comments