ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් හී ලබන මාසයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගීවීමට සිටි ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක්‍රීඩකයන්ට එම ක්‍රීඩා උළෙල අහිමි කළ නිලධාරියාට එරෙහි විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩා ඇමැති නීතීඥ දයාසිරි ජයසේකර මහතාගෙන් ඉල්ලයි.
ශ්‍රී ලංකාවෙන් ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනකුට අවස්ථාව හිමිව තිබූ අතර, නියමිත වේලාවට ජිම්නාස්ටික් සම්මේලනයේ නිලධාරීන් ක්‍රීඩක හැඳුනුම්පත් සැකසීමට අසමත්වීම හේතුවෙන් එම ක්‍රීඩා උළෙලට යෑමට නියමිතව සිටි ක්‍රීඩකයන් දෙදෙනකුට අවස්ථාව අහිමිවී ඇත.
එහෙත් ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීමකට අනුව සමනලී ගුණතිලක, අමායා සිතුමිනී හා කෞෂි ගමගේ යන ක්‍රීඩිකාවන් තිදෙනාගේ ක්‍රීඩක හැඳුනුම්පත් සැකසී ඇති අතර ක්‍රීඩකයන්ගේ හැඳුනුම්පත් සකස් කර ගැනීමට කිසිදු ඉඩකඩක් ලැබී නොමැත. පොදු රාජ්‍ය මණ්ඩලීය සංවිධායක කමිටුව පවසා ඇත්තේ ශ්‍රී ලංකාව නියමිත වේලාවට හැඳුනුම්පත් ලියා පදිංචිකර නොමැතිවීමෙන් එම අවස්ථාව වෙනත් රටකට ලබාදී ඇති බවය.
මේ පිළිබඳ ජාතික ඔලිම්පික් කමිටුවට චෝදනා එල්ල වෙමින් පවතින නිසා සත්‍ය තත්ත්වය අනාවරණය කර ගැනීමට ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවැසීය. මෙයට අමතරව රගර් කණ්ඩායම තේරීමේදි සිදුව ඇතැයි කියන අසාධාරණයක් පිළිබඳ කරුණු සොයා බලමින් පවතින බවද සිල්වා මහතා ‘දිනමිණ’ට පැවැසීය.
“පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෝල්ඩ් කෝස්ට් වෙත යැවීමටයි අපට අවශ්‍යවී තිබෙන්නේ. ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්රශ්නය අපට හැකි සෑම උත්සහයක්ම ගෙන විසඳුවා. තරගාවලියට යෑමට නොහැකිවූ ක්‍රීඩකයන් පිළිබඳ ජිම්නාස්ටික් සම්මේලනයේ හිටපු සභාපතිවරයා සම්පූර්ණයෙන් වගකිව යුතුයි” සිල්වා මහතා පැවැසීය.
සියලුම ක්‍රීඩා සංගම්වලට කල් වේලා ඇතිව ජාතික ඔලිම්පික් කමිටුව විසින් හැඳුනුම්පත් සැකසීමේ ක්‍රමවේද හා වෙබ් අඩවියට ඇතුළත්වීමේ මුර පද (password) ලබාදී තිබුණද, ජිම්නාස්ටික් සංගමය පමණක් නියමිත වේලාවට තොරතුරු ඇතුළත් කොට ක්‍රීඩක ලියාපදිංචිය සිදුකොට නොමැත.
මේ ක්‍රීඩා උළෙලට මුල් පෙළේ ජිම්නාස්ටික් ක්‍රීඩකයන් වන රුචිර සංජන හා දිල්ෂාන් කාවීන් සහභාගීවීමට නියමිතව සිටියද ඔවුන්ට අවස්ථාව අහිමිවී ගියහ. ජිම්නාස්ටික් නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් ජාතික තලයේ දක්ෂයන්ට ජාත්‍යන්තර දොරටු වැසීම කනගාටුවට කරුණක් බව ජිම්නාස්ටික් සංගමයේ විධායක නිලධාරීන්ගේ මතයවී තිබේ.
ගෝල්ඩ් කොස්ට් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලබන මස 5 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80ක් හා නිලධාරීහූ 39ක් සහභාගීවීමට නියමිතය.
0 Comments