ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එන්.සී.සී ක්‍රීඩා සමාජය සහ එස්.සී.සී ක්‍රීඩා සමාජය ඊයේ සමත් විය. දෙපිල අවසන් අවසන් තරගය හෙට (25) එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
ඊයේ කටුනායක පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් එන්.සී.සී පිල සැරසන්ස් ක්‍රීඩා සමාජය ලකුණු 89කින් පරාජයට පත්කරමින් අවසන් තරගයට පිවිසි අතර එස්.එස්.සී පිල අවසන් තරගයට එක්වූයේ කෝල්ට්ස් පිටියේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය කඩුලු 8කින් පරාජයට පත්කරමිනි.
සැරසන්ස් - එන්.සී.සී. තරගයේ පළමුව පන්දුවට පහරදුන් එන්.සී.සී. පිල කඩුලු 5ක් දැවී ලකුණු 327ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සැරසන්ස් පිලට ඕවර 43.3කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 238ක් පමණි.
සැරසන්ස් පිළිතුරු ඉනිමේදී අශේන් බණ්ඩාර ලකුණු 51ක් රැස් කරමින් වැඩිම ලකුණුලාභියා විය. ඔහු නවනිඳු විතානගේ (30) සමග එක්ව 5 වැනි කඩුල්ලට 75ක සබඳතාවක් පිහිටුවීය.
සාලිය සමන් ලකුණු 25ක්, ඇන්ඩි සොලමන්ස් හා රොෂාන් ජයතිස්ස ලකුණු 22ක බැගින් ඉනිමට එක් කළහ.
එන්.සී.සී පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන් නිරෝෂන් දික්වැල්ල හා උපුල් තරංග පළමු කඩුල්ලට ලකුණු 108ක් එක් කළහ. ලකුණු 56ක් ලබාසිටි තරංග දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණද විශිෂ්ට ඉනිමක් දියත් කළ දික්වැල්ල ලකුණු 110ක් රැස් කිරීමට සමත් විය. පන්දු 132කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් ඇතුළත් විය.
තරංගගේ දැවී යෑමෙන් අනතුරුව තෙවැනි කඩුල්ලට නායක ඇන්ජලෝ පෙරේරා හා මහේල උඩවත්ත සමගින් එක්ව ලකුණු 117ක් එක් කිරීමට දික්වැල්ලට හැකි විය. ලකුණු 41ක් ලබාසිටියදී පෙරේරා තුවාල ලබා පිටියෙන් ඉවත්වූ අතර දික්වැල්ල දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 245ක් විය.
මහේල සමගින් සිවුවැනි කඩුල්ලට එක්වූ චතුරංග ද සිල්වා පන්දු 32කින් වේගවත් ලකුණු 81ක සබඳතාවත් පිහිටුවීය. පන්දු 22කදී හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 58ක් ලබාගැනීමට චතුරංග සමත්වූ අතර හතරේ පහර 8ක් සමගින් ලකුණු 50ක් රැස්කළ මහේලගේ ඉනිමට වැයවූයේ පන්දු 28ක් පමණි. දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහරදුන් හලාවත ක්‍රීඩා සමාජය ඕවර 41කදී ලකුණු 138කට සීමාකළ එස්.එස්.සී ක්‍රීඩකයෝ ඕවර 23කදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුලු 2ක් පමණක් අහිමිකර ගනිමිනි.
ධනුෂ්ක ගුණතිලක හතරේ පහර 6ක් හා හයේ පහර 4ක් සමගින් පන්දු 70කදී නොදැවී වේගවත් ලකුණු 78ක් රැස්කළ අතර දසුන් ශානක නොදැවී ලකුණු 26ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 17ක් ඉනිමට එක් කළහ.
ඕෂද ප්‍රනාන්දු ලකුණු 43ක් රැස්කරමින් පළමුව පන්දුවට පහරදුන් හලාවත ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. නායක ෂෙහාන් ජයසූරිය ලකුණු 25 හා සචිත්ර සේරසිංහ ලකුණු 24ක් ඉනිමට එක් කළහ.
එස්.එස්.සී කඩුලු 8කින් දිනයි
හලාවත පිල - 138යි. (ඕවර 41) ඕෂද ප්‍රනාන්දු 48, ෂෙහාන් ජයසූරිය 25 (සචිත්ර සේනානායක 16/2, ධම්මික ප්‍රසාද් 23/2, දසුන් ශානක 28/2, ජෙෆ්රි වැන්ඩසේ 37/2)
එස්.එස්.සී පිල - 140/2යි. (ඕවර 23) ධනුෂ්ක ගුණතිලක නොදැවී 78
එන්. සී. සී ලකුණු 89කින් දිනයි
එන්.සී.සී. පිල - 327/5යි. (ඕවර 50) නිරෝෂන් දික්වැල්ල 110, චතුරංග ද සිල්වා 58, උපුල් තරංග 56, මහේල උඩවත්ත 50, ඇන්ජලෝ පෙරේරා 41 (චතුර රන්දුනු 65/2, ඇන්ඩි සොලමන්ස් 71/2)
සැරසන්ස් පිල - 238යි. (ඕවර 43.3) අශේන් බණ්ඩාර 51 (ෆර්වේස් මහරුෆ් 36/2, දුෂ්මන්ත චමීර 41/2, ලසිත් මාලිංග 51/2)
0 Comments