ගැටුම්කාරී තත්ත්වය අවසන් නිසා අවහිර කර තිබූ සමාජ මාධ්‍ය ජාලය නැවත යථා තත්ත්වයට පත් කරන ලෙස ජාතික හෙළ උරුමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී.
අන්තර් ජාලය භාවිත නොකර ශ්‍රී ලංකාවට ඉදිරියට යා නොහැකි බව මතක තබා ගත යුතු බව ප්‍රකාශ කළ ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා ගැටුම්කාරී වාතාවරණයන් පවතින අවස්ථාවේ රජය සමාජ මාධ්‍ය ජාලවලට පැනවු තහනම නිවැරදි යයිද ප්‍රකාශ කළේය. සමාජ මාධ්‍යවලින් රජයට එල්ල වන චෝදනාවලට ක්ෂණිකව පිළිතුරු දීමේ ක්‍රමයක් රජය අනුගමනය කළ යුතු බව ද පැවැසීය. මහනුවර සිද්ධියට මුල් වූ බව පැවසෙන මහසොහොන් බලකායේ සැබෑ තත්ත්වය පිළිබඳ ඉදිරියේ දී හෙළිවනු ඇති බව ද කීය.
සමාජ මාධ්‍ය සඳහා නව නීති ගෙන ආ යුතු බව ද ඒවායේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැනට තිබෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා සහ වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා අයි.සී.සී.පී.ආර් පනත උපයෝගී කරගත හැකි බව ද ජාතික හෙළ උරුමයේ සම සභාපති නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය.
මෙම අදහස් පළ වූයේ ඊයේ (13) බත්තරමුල් ජාතික හෙළ උරුමය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති පාඨලී චම්පික රණවක මහතා - මහනුවර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයත් සමඟ සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම අපත් අනුමත කරනවා. ලෝකය තුළ ගැටුම්කාරී වාතාවරණයන් ඇති වූ විට මේ ආකාරයට කටයුතු කිරීම් සඳහා උදාහරණ තිබෙනවා. ඉන්දියාව වරක් හින්දු, මුස්ලිම් ගැටුම් පාලනය කිරීම සඳහා එස්.එම්.එස් පණිවුඩ පවා පාලනය කළා. මෙවැනි ක්‍රියා හේතුවෙන් සැලැකිය යුතු පිරිසක් අපහසුවට පත්වනවා.
මහනුවර සිද්ධිය දැන් අවසන්. මහනුවර ගැටුම පිළිබඳ පශ්චාත් ක්‍රියාවලිය ශක්තිමත් කරන අතරේ ෆේස් බුක්, වට්ස් ඇප්, වයිබර් ආදියට පනවා තිබෙන තාක්ෂණික බාධකය ඉවත් කරන ලෙස අප ඉල්ලා සිටිනවා. ඒ වගේම සමාජ මාධ්‍ය ජාල පාලනය කිරීම සඳහා පියවර ගණනාවක්ද ගත යුතු බව අප ප්‍රකාශ කරනවා. මහනුවර සිද්ධියට සම්බන්ධ සියලු දෙනාම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු අතර ජනතාවට මේ සිද්ධිය සම්බන්ධයෙන් හෙළි දරව් කිරීමක් කළ යුතුයි.
බොහෝ දෙනෙකුට නවීන තාක්ෂණ ලෝකය පිළිබඳ අවබෝධයක් නැහැ. වර්තමානයේ ලෝකයේ තිබෙන ප්රමුඛ ව්‍යාපාර අන්තර්ජාලය උපයෝගී කර ගනිමින් කටයුතු කරනවා. භාණ්ඩ නිපදවීමත් සිදුවන්නෙ අන්තර්ජාලය හරහා. විදෙස් රටවල සිටින මිත්‍රයින්ට, නැදෑයන්ට කතා බහ කිරීමේ දී, අධ්‍යාපන කටයුතු සඳහා අන්තර්ජාලය උපයෝගි කර ගන්නවා. මූල්‍ය කටයුතු සඳහාද යොදා ගන්නවා. වෛරී ප්‍රකාශ කිරීම සඳහා මෙන්ම හොඳ දේවල් සිද්ධ කිරීම සඳහා ජනතාව සමාජ ජාල භාවිත කරනවා. අන්තර් ජාලය උපයෝගි කර ගන්නෙ නැතිව ලෝකයේ ඉදිරියට යා නොහැකි බව අප මතක තබාගත යුතුයි.
චීනය අන්තර්ජාලය භාවිත කිරීමේ දී තමන්ගෙම වූ ජාලයක් භාවිත කරනවා. වී චැට් ඔවුන් භාවිත කරනවා. අප ගූගල් භාවිත කරනවා වගේ ඔවුන්ගේම සර්ච් එන්ජින් භාවිත කරනවා. අපට ඒ වගේ තත්ත්වයක් තවම නැහැ. එහෙත් අන්තර්ජාලය භාවිතාවෙන් සිදුවන අයහපත්කාරී තත්ත්වයන් වැළැක්වීමට පියවර ගත යුතුයි. ඒ සඳහා තිබෙන නීතිය ක්‍රියාත්මක කරමින් නව නීති ගෙන ආ යුතුයි. ලෝකයේ මැතිවරණ පැවැති බොහෝ අවස්ථාවල දී අන්තර්ජාලය නිසා ගැටලු ඇතිවූ අවස්ථා තිබෙනවා.
විදේශීය ඔත්තු සේවාවන් ඒ සඳහා මැදිහත්වීම් සිදුකරනවා. එවැනි දේ අපේ රටෙත් සිදුවිය හැකියි. පසුගිය මැතිවරණවල දී අපේ රටේ ඇතිවූ සිද්ධීන් ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකියි. පසුගිය ජනාධිපතිවරණයේ දී රනිල්, මෛත්‍රී, සම්බන්ධන් ගිවිසුමක් තිබෙනවා කියා විශාල ඝෝෂාවක් ගෙන ගියා. ඒක සිදුකළේ මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමේ පිරිස්. මෙම වංචනික ක්රියාවළිය නොතිබුණා නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය තවත් වැඩි වෙනවා. මේ රටේ මැතිවරණ සාධාරණව පවත්වන්න අවශ්‍ය නම්, යහ පාලනය පවත්වාගෙන යාමට අවශ්‍ය නම් අසීලාචාර දේශපාලන සුකරයින්ගෙන් සංවර දේශපාලනයක් ඇතිකර ගන්න අවශ්‍ය නම් සමාජ ජාල මාධ්‍ය සම්බන්ධයෙන් නව නීති රීති අවශ්‍ය වෙනවා.
රජය වහාම මේ සඳහා ක්‍රියාත්මක විය යුතුයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අන්තර්ජාල මාධ්‍ය උපයෝගී කරගෙන දෛනික ගැටලුවලට පිළිතුරු ලබාදෙනවා. කවුරු හෝ බොරුවක් කියාගෙන එන විට එය නොවෙයි ඇත්ත කියා ප්‍රතිචාර දැක්විය හැකි ක්‍රමවේදයක් අපත් අන්තර්ජාලය භාවිතයෙන් සිදුකළ යුතුයි. වහාම ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේදයක් ආණ්ඩුව අනුගමනය නොකළහොත් විය යුතු සියල්ල සිදුවී හමාර විය හැකියි. ආණ්ඩුව ඩිජිටල් ෆ්ලැට් ෆෝම් එකකට අප ගෙන යනවා.
කළින් තිබුණා රාවණ බලකාය කියල එකක්. එයට අරමුදල් හා අමාත්‍යාංශ වාහන සැපයූ බවට ඇතැම් සුකර දේශපාලඥයින් දැන් චෝදනා ලබනවා. මහසෝන් බලකායක් පිළිබඳ දැන් කතා කරනවා. මෙහි ඇත්ත නැත්ත පිළිබඳ ඉදිරියේ දී හෙළිවෙයි. මේ පිළිබඳ සොයා බැලීම පොලිසියේ වගකීමක්. මේවා පිටුපස සිටින දේශපාලනඥයින් අප හඳුනාගත යුතුයි. රජය දැන් පැරණි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කරන්න යනවා. එහි දී අප රජයට යෝජනා කර තිබෙනවා නවීන තාක්ෂණයෙන් යුත් ත්රස්තවාදයට ඔබින ලෙස එය සකස් කළ යුතු බව. දේශපාලන පක්ෂවලට අයත් නම්වලට වඩා වැදගත් ඒවායේ ක්රියාකාරීත්වයයි.
හිටපු ආරක්ෂක ලේකම්තුමා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ රාම් නගුලන් ඇතුළු එල්.ටී.ටී ඊ සාමාජිකයින්ට මුදල් දුන්නා, වැටුප් දුන්නා. එම ඝාතකයින්ව නිදැල්ලේ පවත්වාගෙන ගියා. විවිධ අන්තවාදි සංවිධානවලට වාහන අරමුදල් සැපයූවා. මේවා පිළිබඳ සොයා බැලිය යුතුයි. විපක්ෂයට සම්බන්ධ පිරිස් තෙල්දෙණිය දිගන සිද්ධින් පසුපස කටයුතු කළා.
ජාතික හෙළ උරුමයේ සම සභාපති නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා - මහනුවර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසු එම ගැටුම් පැතිරයාම වැළැක්වීමේ පියවරක් ලෙස සමාජ මාධ්‍ය ජාල තාක්ෂණික වශයෙන් අවහිර කිරීමක් ජනාධිපතිතුමාගේ උපදෙස් පරි දී විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සිදුකළා. මෙම ත්ක්ෂණික යුගයේ ගැටුම් වර්ධනය වීමට මෙන්ම පැතිරයාමටද සමාජ මාධ්‍ය හේතු වී තිබෙන බව පෙනෙනවා. මෙය තාවකාලික පියවරක් බව අප මීට ඉහතදීද ප්‍රකාශ කළා.
ජාතිවාදය, ආගම්වාදය පැතිරවීමට ක්‍රියාකරන කීප දෙනෙක් සමාජ මාධ්‍ය තුළින් එම කටයුත්ත සිදුකරනවා. මෙවැනි තත්ත්වයන පාලනය කර ගැනීමට තවම ක්රමාණුකූල යන්ත්‍රණයක් අපේ රටේ ක්‍රියාත්මක වන්නෙ නැහැ. සමාජ මාධ්‍ය අක්‍රීය කරවීම මේ යුගයේ කරන්න පුලුවන් දෙයක් නොවේ. එය සූදුසු දෙයකුතු නොවේ. එවැනි තත්ත්වයන් ප්රජාතන්ත්රවාදයටත් අහිතකරයි. අවහිර කර තිබෙන සමාජ මාධ්‍ය ජාලය නැවත සක්‍රීය කළ යුතු බව අපේ අදහසයි. මේ වන විට පැවැති ගැටුම්කාරී තත්ත්වය සමනය වී සිටින නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා අවහිර වී තිබෙන සමාජ මාධ්‍ය ජාලය නැවත සක්‍රීය කරන ලෙස.
සමාජ මාධ්‍යයෙන් ඇතිවන අහිතකර බලපෑම් වළක්වා ගැනීමට අපට ක්‍රම වේදයක් තිබිය යුතුයි. මෙවැනි තත්ත්වයන් වැළැක්වීමට අපේ රටේ නීතියක් තිබෙනවා. 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය කියා නීතියක් දෙදහස් හත වර්ෂයේ දී සම්මත කර ගත්තා. එයට කියන්නෙ අයි.සී.සී.පී.ආර් පනත කියා. එහි තුන්වන වගන්තියේ පැහැදිලිව සඳහන් කරනවා කිසියම් තැනැත්තෙකු විසින් යුද්ධය පැතිවරවිම හෝ වෙනත් ලෙස සැළකීමට, එදිරිවාදිකම් හෝ ප්රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්තවන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම් නොකළ යුතු බව. ඒ නිසා වෛරී ප්‍රකාශ මේ රටේ කරන්න බැහැ.
මේ පනත යතේ වරදකරුවකුට අවුරුදු දහයට නොවැඩි බරපතළ වැඩ සහිත සිර දඬුවම් දෙන්න පුලුවන්. අවාසනාවකට මේ නීතිය යටතේ මාගේ දැනුමේ හැටියට කිසිවකුට දඬුවම් දීල හෝ අත්අඩංගුවට ගෙන නැහැ. මේ නිසා පොලීසිය බාර නව අමැතිතුමාගෙන් අප ඉල්ලා සිටිනවා පොලීසියට මේ නීතිය පිළිබඳ අවබෝධයක් ලබාදෙන ලෙස. අසත්‍ය, ද්වේශ සහගත ප්‍රකාශ ඉදිරිපත් කරන සමාජ මාධ්‍යවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මෙම නීතිය ප්‍රමාණයවත් නොවනවා නම් මෙය උපයෝගී කරගෙන නව නීතියක් සැකසිය හැකියි.
උපාලි කරුණාරත්න සහ සඳුන් රමේෂ්
ඡායාරූපය- සිරිපාල හල්වල
0 Comments