Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික ක්‍රිකට් පිලේ අනාගත තරුව චරිත් අසලංක

Author(s): 
ෆවුස් මොහොමඩ්

සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් සම්මාන උළෙල

වසර 2015 සහ 2016 දී පිට පිට දෙවතාවක් සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනූ රිච්මන්ඩ් විදුහලේ චරිත් අසලංක ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අනාගත තරුවක් බවට පත්වීමේ පෙරනිමිති පහළ කරමින් සිටී.

වසර දෙකක්ම පිට පිට සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබා රිච්මන්ඩ් විදුහලට විශිෂ්ට ගෞරවයක් අත්කර දුන් මේ වමත් පිතිකරුවා මෙරට කීර්තිමත් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකට ජාතික කණ්ඩායමට එක්වීමට අඩිතාලම දැමූ ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් දෙවතාවක්ම පිදුම් ලැබූ 7 වැනි ක්‍රීඩකයා වන අතර දශක හතරක මේ සම්මාන උළෙලේ වසරේ ක්‍රීඩකයා බවට පත්වූ පළමු රිච්මන්ඩ් විදුහල් ක්‍රීඩකයා ද වේ.

පිත්තෙන් මෙන්ම සිය දකුණත් පිටදඟ පන්දුවෙන් එකළ පාසල් ක්‍රිකට් පිටිය වර්ණවත් කළ අසලංක දෙවැනි වතාවට ඔබ්සර්වර් සම්මානය දිනූ 2016 දී අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගමාලාව නියෝජනය කළ ශ්‍රී ලංකා පිලේ නායකත්වයට පත්වීම කැපී පෙනේ.

එවර තරගමාලාවේ දී ශ්‍රී ලංකාවට සිවුවැනි තැන හිමිකර ගැනීමට කණ්ඩායම මෙහෙයවූ මේ විශිෂ්ට පිතිකරුවා තරගමාලාවේ වැඩිම ලකුණුලාභීන් අතර 6 වැන්නා බවට පත්වූයේ තරග 6කදී ලකුණු 276ක් රැස් කරමිනි.

ජාතික කණ්ඩායමේ දොරටුවට තට්ටු කරමින් සිටින මේ යොවුන් තුන්ඉරියව් ක්‍රීඩකයා 2015 වසරේ මෙරට සංචාරය කළ අවුරුදු 19න් පහළ පාකිස්තාන පිලට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ලකුණු ද්විත්ව ශතකයක් වාර්තා කිරිමට සමත්විය. හෙතෙම ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් රැස් කළ දෙවැනි රිච්මන්ඩ් ක්‍රීඩකයා බවට පත්විය. ඊට පෙර රිච්මන්ඩ් විදුහලේ හිටපු ක්‍රීඩක යසෝධ ලංකා එම දස්කම පෑවේය.

වසර 2016දීම අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දරමින් එංගලන්තයේ සාර්ථක තරග සංචාරයක නිරතවූ චරිත් අසලංක පසුගිය වසරේදී ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට ඇතුළත්වෙමින් බටහිර ඉන්දීය කොදෙව් දූපත් සංචාරයක නිරතවිය.

වසර 1997 ජූනි මස 29 වැනිදා ඇල්පිටියේ උපන් චරිත් අසලංක පාසල් තරග බිමෙන් ජාතික තලයට පැමිණි ගමන් මගෙහි සංධිස්ථාන රැසකි. ඒ අතර සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන ද්විත්වයට වැදගත් ස්ථානයක් හිමිවන බව නිසැකය. මේ වනවිට 20 හැවිරිදි වියෙහි පසුවන චරිත් අසලංක එස්.එස්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමුපෙළ තරග බිමේ දස්කම් දක්වයි.

වසර 2016දී සිම්බාබ්වේ සංවර්ධන පිලට එරෙහිව ශ්‍රී ලංකා සංවර්ධන පිල නියෝජනය කරමින් හරාරේ නුවරදී පළමුපෙළ තරග බිමට එක්වූ අසලංක මේ දක්වා තරග 23කදී ලකුණු 849ක් ලබා සිටි. ඊට ශතකයක් සහ අර්ධ ශතක 6ක් ඇතුළත්ය. මීට අමතරව ‘ඒ’ කාණ්ඩයේ තරග 25කටත් ක්‍රීඩා කර ඇති චරිත් අසලංක ජාතික කණ්ඩායමට සේන්දු වීමට නියමිත තවත් විශිෂ්ටතම සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානලාභියෙකි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();