දහසක් සිත් හඬවමින් සුනිල් අභයවර්ධන නමැති සොඳුරු ක්‍රීඩා මාධ්‍යවේදියා හෙට අවසන් ගමන් යයි.
ආදරණීය සුනිල්! වෙන්වීම වේදනාකාරී වූව ද, ඈත වළාකුළු වෙත ඔබ යන අයුරු බලා සිටිමින් මම ඔබට ආචාර කරමි.
සමහර පුද්ගලයන් අපේ ජීවිතවලට පැමිණ අපේ හදවත්වල පා සලකුණු තබා නික්ම යයි. ඔබේ නිශ්ශබ්දතාව ක්‍රීඩා මාධ්‍ය සාකච්ඡාවලදී නොඅඩුව දැනෙනු ඇත.
සබඳ...ඔබ මිය ගිය පමණින් ඔබට ආදරය කිරීම නවත්වන්නට මට නොහැකිය. ඒ, විශේෂයෙන්ම ඔබ, ජීවත්ව සිටින සමහර පුද්ගලයන්ට වඩා හොඳ කෙනෙකු වූ නිසාවෙනි. ඔබ මිය ගියේ මගේ ජීවිතයේ ද යමක් මරා දමමිනි.
අප හදවත් තුළ රිදුමක් ද, සිත් තුළ හැඬුමක් ද නොමැකෙන අයුරින් ඉතිරි කරමින් සුනිල් අභයවර්ධන හැටනව වසරක ජීවිතයක් හැර යන විට ඔහු මෙරට ක්‍රියාකාරීව සිටි වඩාත් ම පරිණත සිංහල ක්‍රීඩා මාධ්‍යවේදියා ව සිටියේය. ප්‍රධාන ඉසව්ව වූ මුද්‍රත ක්‍රීඩා මාධ්‍යයේ මෙන්ම විද්‍යුත් ක්ෂේත්රයේ ද පෙළහර පෑමට ඔහු සමත් විය. ඔහුගේ සේවය ලබා නොගත් මෙරට එෆ්. එම්. ගුවන්විදුලියක් නැති තරම් ය.
1949 වසරේ සැප්තැම්බර් 13 වැනි දින සහෝදරයන් තිදෙනකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවා ලෙසින් වත්තල කෙරවලපිටියේදී උපත ලද සුනිල් අභයවර්ධන, කෙරවලපිටිය විද්‍යාලෝක විදුහලෙන් අධ්‍යාපනයේ බෞතීස්මය ලැබ ඉක්බිති මොනරාගල මහානාම විදුහල හා දෙකටන පද්මාවතී පිරිවෙනින් සිප්සතර වැඩි දියුණු කර ගත්තේය. මුල් රැකියා ස්ථානය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වූවද මාධ්‍ය කලාවට සුනිල්ගේ සිත ඇදී ගියේ ඉබේට ම ය. දක්ෂ නිවේදකයකු ද වූ සුනිල් ප්‍රථමයෙන් ක්‍රීඩාවට සම්බන්ධ වූයේ කෙරවලපිටිය මුදිත එල්ලේ සමාජයේ නිල නිවේදකයා ලෙස එල්ලේ තරග විස්තර ප්‍රචාරය කරමිණි.
සුනිල් අභවර්ධන ගුවන්විදුලියට සම්බන්ධ වන්නේ හැත්තෑව දශකයේ මැද භාගයේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ ගුවන්විදුලි සංස්ථාවේ ‘ක්‍රීඩා සංග්‍රහය’ට පිටපත් රචකයෙක් හා නිවේදකයෙක් ලෙස දායකත්වය ලබා දෙමිනි. ප්‍රේමකීර්ති ද අල්විස්, සමන් අතාවුදහෙට්ටි, මයිකල් කරුණාතිලක, හේමජිත් ප්‍රනාන්දු හා ප්‍රේමසර ඈපාසිංහ ඇතුළු කණ්ඩායම සමග රට පුරා යමින් සුනිල් ‘ක්‍රීඩා සංග්‍රහය’ ඉදිරිපත් කළේය.
මට සුනිල් අභයවර්ධන මුණගැසෙන්නේ ඔහු 1986 වසරේ ලේක්හවුස් ආයතනයේ සතිපතා ‘ක්‍රීඩා’ පත්‍රයට ක්‍රීඩා වාර්තාකරුවකු ලෙස එක්වූ වකවානුවේදීය. ඒ වන විට ඔහු මෙරට ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රෙයේ “සුනිල් අයියා” ලෙසින් ප්‍රචලිතව සිටියේය. අවසානයේ ඔහු ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම යන විට ‘ක්‍රීඩා සඟරාව’ නියෝජ්‍ය කර්තෘව සිටියේය. ඊට පෙර සුනිල්, ‘ශ්‍රී ලංකාදීප’ හා ‘දිවයින’ පුවත්පත්වල ක්‍රීඩා වාර්තාකරු ලෙස කටයුතු කළ අතර ලේක්හවුස් ආයතනයෙන් පසුව ‘රිවිර’ පුවත්පතේ උපකර්තෘවරයෙකු ලෙසත්, ‘ලක්බිම’ පුවත්පතේ මාණ්ඩලික වාර්තාකරුවකු ලෙසත් රැකියාව කළේය. සුනිල් මිය යන තුරු ම ‘දිනමිණ’ට ක්‍රීඩා පුවත් වාර්තා කළේය.
පුවත් පිපාසයෙන් පෙළුණු ‘සුනිල් අයියා’ නැති ක්‍රීඩා මාධ්‍ය හමුවක් තිබුණේ ම නැත. සමහර දිනයන්හි දී ඔහු එකම සැඳෑවක මාධ්‍ය සාකච්ඡා දෙක තුනක ම පෙනී සිටියේ ‘රූප කාය - මනෝ කාය’ මෙනි.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ගණනක් රටට හඳුන්වා දුන් සුනිල් ක්‍රීඩා දත්ත ගබඩාවකි. ක්‍රීඩා පුවත් වාර්තාකරණයට අලුතින් පිවිසි නවකයන්ට ගුරුහරුකම් ලබා දීමට තරම් ඔහු නොමසුරු විය. විදෙස් ක්‍රීඩා තරග රැසක් ආවරණය කළ ඔහු එල්ලේ ක්‍රීඩාවට අමතරව මලල ක්‍රීඩා හා වොලිබෝල් ක්‍රීඩාවන්ට ද කැමැත්තක් දැක්වීය. එහෙත් සුනිල් සිය ආත්මය කර ගත්තේ මෙරට පාපැදි ක්‍රීඩාව ය. පාපැදිය ඉතා හොඳන් දැන අඳුනා ගෙන සිටි ‘සුනිල් අයියා’ට අතීත මෙන්ම වර්තමාන ක්‍රීඩකයන් පිළිබඳ තිබුණේ පුදුමාකාර දැනුම් සම්භාරයකි.
මගේ මාධ්‍ය සගයකු වන ප්‍රින්ස් මට ප්‍රථම වතාවට හඳුන්වා දුන්නේ සුනිල් ය. පසුගිය ශනිදාවේ අවසන් වතාවට මා සුනිල් බැලීමට කළුබෝවිල රෝහලට ගියේද ප්‍රින්ස් සමඟ ය. මෙය දෛවෝපගත සිදුවීමක් නොවේද...සුනිල්?
ඔබේ අවසන් වචන වූයේ ‘මල්ලි, මට මහන්සියි’ කියා බව ගුවන්විදුලි ක්‍රීඩා මාධ්‍යවේදී නුවන් මට රෝහලේ දී කියා සිටියේය. ආදර සුනිල්! ඔබට දැන් මහන්සියක් නැතුව ඇති. ඒ අතින් ඔබ වාසනාවන්තයි. සුවසේ සැතපෙනු මැන... ඔබ.
මිත්‍රයා - වැඩිහිටියා - සහෝදරයා - මචං! ඔබ මිය යාමෙන් මගේ ශරීරයේ කොටසක්ද මිය ගොසින් ඔබ සමඟ යයි. ඔබ යන්නේ කොතැනටද, මම ද එහි යන්නෙමි. ඔබ තනි නොවනු ඇත.
මට අහිමි වූ ඔබ මිය ගියේ නැත. මට වඩා පියවරක් දෙකක් ඉස්සර වූවා පමණි. ඔබ විසින් පාගන ලද පියගැට පෙළ ඇති මාර්ගයේ යාමට දිනෙක මට ද සිදුවනු ඇත.
අපි හෙට ඔබේ සොහොන වෙත එන්නේ “මිනිහෙක් මැරිලා” යැයි දුක් වෙමිනි. නමුත් ඔබ එනතුරු රැස් කකා බලා සිටින දේවදූතයන් සතුටු වන්නේ “මිනිහෙක් ඉපදිලා” කියා ය.
‘දිනමිණ’ ක්‍රීඩා අංශයේ ප්‍රින්ස්, ෆවුස් හා ප්‍රියංකරගේ ද සාතිශය සංවේගී කඳුළින් මේ සටහන තෙත්ව තිබෙන බව අමතක කරන්න එපා...‘සුනිල් අයියා.’
වෙනත් ලොවක දී අපි මේ වගේ ම හමුවෙමු. එතෙක් ඔබට සුබ ගමන්!
0 Comments