ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් නඩු විභාග කිරීමේ දී විදේශ විනිශ්චයකරුවන් සහභාගි වන බවට නොයෙක් උදවිය ගෙනගිය දුර්මත බැහැර කිරීමට අපට හැකි වූ බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කෙළේය.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා විසින් යාවත්කාලීන කළ ලිඛිත වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය විදේශ ඇමැති තිලක් මාරපන මහතා විසින් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ෆයිසර් මුස්තාෆා මහතා මෙසේ ද කීය.
‘මානව හිමිකම් කොමිසමේ 37 වැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කරුණු ඉදිරිපත් කළා. එහි දී විශේෂයෙන්, ශ්‍රී ලංකාව රජයක් හැටියට 2015න් පසුව ගත් ප්රගතිශීලි ඉදිරි ගමන හා සහජීවනය ඇති කිරීමට අවශ්‍ය කරන නෛතික රාමුව සඳහා නීති සම්පාදනය කර ඇති බවත් ඒ සඳහා යම් කාල පරිච්ඡේදයක් අවශ්‍ය බවත් කියා සිටියා. ශ්‍රී ලංකා රජය ගන්නා ඕනෑම ක්‍රියාදාමයක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කරන බව සඳහන් කළා. ඒ නිසා ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් නඩු විභාග කිරීමේ දී විදේශ විනිශ්චයකරුවන් සහභාගි වන බවට නොයෙක් උදවිය ගෙන ගිය දුර්මත බැහැර කිරීමට හැකි වනවා.
තව දුරටත් ප්‍රකාශ කරනවා නම් 30/1 දරන යෝජනා සම්මතයේ ශ්‍රී ලංකාව විදේශ විනිශ්චයකරුවන් ලවා නඩු විභාග කිරීමට එකඟ වූ බවට සඳහන් වූවත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එසේ කටයුතු කළ නොහැකි බව පැහැදිලි වනවා.
ළඟ දී මහනුවර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන්, නීතිය ක්‍රියාත්මක කරන බවට හා නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලිසිය අතින් සිදු වූ අතපසුවීම් සම්බන්ධයෙන් නිසි විභාග කිරීම් සිදුකරන බවටත් විදේශ ඇමැතිවරයාගේ ප්‍රකාශයේ අඩංගු වූ බව මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනවා.’
‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් 37 වැනි සැසිවාරයේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය 21 දා 3.00ට අප ජිනීවා නගරයේ දී එළි දැක්වූවා. මෙය මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවට උත්තර බැඳීමක් ලෙස සලකනවා. විශේෂයෙන් 2015 සිට ශ්‍රී ලංකාව ඉතාමත් ප්රගතිශීලී ගමනක් ගිහින් තියෙනවා. ශ්‍රී ලංකාවේ සහජීවනය ඇති කිරීමටත්, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමටත් සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ගත් ප්‍රගතිය ලෝක ප්‍රජාව පිළිගෙන තියෙනවා. ඒ නිසා මා විශ්වාස කරනවා 37 වැනි මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට කිසිම ප්‍රශ්නයක් සිදු නොවන බව. කලින් වාරවල දී හැමවිටම මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාව දෝෂාරෝපණයන්ට ලක් වුණා. ඒ වගේම, ළඟ දී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරයාගෙන් ප්‍රශ්න කරල තියෙනවා. එහිදීත් අප නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කිරීමේ දී යම් යම් අඩුපාඩු සිදු වූ අවස්ථාවල දී ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්වයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි යන මතය ශ්‍රී ලංකා රජයට ඇති අතර, ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දුවක් දීම තුළින් කිසිම ජාතියකට, ආගමකට, කුලයකට හිරිහැර කිරීමට රජයේ අනුග්‍රහය නොලබන බවත් නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමේ විශ්වාසය පවතින බවත් ප්‍රකාශ කරනවා.
පසුගිය දා සිදු වූ අවාසනාවන්ත සිදුවීම මේ සැසිවාරය වන කාලය සම්බන්ධ කරගෙන සිදුවූවක් කියා මා විශ්වාස කරනවා. ඒ සම්බන්ධයෙන් අපට පැහැදිලි කිරීමක් තුළින් අප ගත් ක්‍රියාමාර්ගය ලෝකයට හෙළිදරවු කිරීමෙන් ප්රගතිශීලී ගමනක් යන්න පුළුවන් යැයි අපි විශ්වාස කරනවා.’
0 Comments