- ටෝකියෝ නුවර විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වෙමින් ජපාන අගමැති කියයි
සෙන් ෆ්රැන්සිස්කෝ සමුළුවේදී ශක්තිමත් වූ ජපාන - ශ්‍රී ලංකා මිත්‍රත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ නැවුම් මුහුණුවරකින් ඉදිරියට පැමිණ තිබෙන අතර, එය ශක්තිමත් මිත්‍රශීලි මෙන්ම විශ්වාසනීය සබැඳියාවක් බව ජපාන අග්‍රාමාත්‍යවරයා පවසයි.
ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය (14) රාත්‍රියේ ටෝකියෝ නුවර අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වුණු අතර, එහි දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා විසින් මෙහි දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. මෙහි දී අදහස් දැක් වූ ජනාධිපතිවරයා සඳහන් කළේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආයෝජන සහ සහයෝගීතා වැඩපිළිවෙළ තව දුරටත් ශක්තිමත් කර ගැනීමට පසුගිය දින කිහිපයේ දෙරට අතර පැවැති සාකච්ඡාවල දී එකඟතාවන් රැසකට එළැඹීමට හැකි වූ බවයි.
ජපානය සෑමවිටම ශ්‍රී ලංකාවේ අවංක මිතුරකු ලෙස කටයුතු කරන අතර, ඉදිරියේ දී එම සබඳතා සෑම ක්ෂේත්රයක් තුළින්ම වැඩි දියුණු කර ගැනීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහාය ලබාදෙන ප්‍රධාන රටක් ලෙස ජපානය සහ එම ජනතාව පිළිබඳ ශ්‍රී ලාංකික ජනතාව තුළ ඇත්තේ මහත් ගෞරවයක් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. ශ්‍රී ලංකාවේ 70 වැනි ජාතික නිදහස් සමරුව වෙනුවෙන් සුබ පැතීමට ද ජපාන අග්‍රාමාත්‍යවරයා මෙය අවස්ථාවක් කර ගත්තේය.
ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ ටෙලි නාට්‍යයක් වන ඔෂින් ටෙලි නාට්‍ය මාලාවේ ඔෂීන්ගේ චරිතය නිරූපණය කළ නිරූපණ ශිල්පිණිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ජනපති මෛත්‍රී ජපාන අගමැති හමුවෙයි
ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර නිල හමුව (14) පස්වරුවේ පැවැත්විණි. ටෝකියෝ නුවර පිහිටි ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත අද පස්වරුවේ ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව අගමැති ෂින්සෝ අබේ මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව හමුදා උත්තමාචාර සහිත නිල පිළිගැනීමේ උත්සවය ඉතා අභිමානවත් අයුරින් පැවැත් වුණේ දෙරටේ බැඳීම මැනවින් විදහා දක්වමිනි. නිල පිළිගැනීමේ උත්සවය අවසානයේ නායක දෙපළ සුහද කතා බහකට එක් වූ අතර, ඉන් අනතුරුව රාජ්‍ය නායක දෙපළ අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ඇරැඹිණි.
ඡායාරූප සුදත් සිල්වා
0 Comments