මට ඕනෑ වැවිලි අංශයේ වෙනසක් කිරීමට බවත්, ඒ කාර්යයේදී හොඳ කණ්ඩායමක් සිටින බවත්, ලබන සතියේත් තේ වැවිලි අංශයේ වෙනස්කම් රැසක් සිදුවන බවත් වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා අතුරුගිරිය එම්. ඩී. එච්. ජයවර්ධන මාවතේ පිහිටි ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ පැවැති 01 st Sustainable Plantation Management (NSSPM) - 2018 වැඩසටහනට සහභාගි වෙමිනි.
තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
මෙම අවස්ථාවට සහභාගිවීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. ඒ වගේම අද තිරසාර වැවිලි කළමනාකරණය පිළිබඳ මෙම සම්මන්ත්‍රණය පවත්වන්නේ වැවිලි කළමනාකරණ අධ්‍යයනයේ ඉදිරියෙන්ම සිටි NIPM ආයතනය විසින් බව කිව යුතුයි. ඇත්ත වශයෙන්ම තිරසාර වැවිලි කළමනාකරණය කියන්නේ අද දවසට ගැළපෙන යෙදුමක්. මේ මඟින් සිදුවන්නේ වැවිලිකරණයේ අවශ්‍ය දෑ සහ අගය ඉහළ දැමීමේ උපාංග පිළිබඳ අවධානය යොමුකරමින් වැවිලිකරණයේ යෙදීමයි. එබැවින් තිරසාර බව ගැන කතා කිරීමේදී දීර්ඝ කාලීන වශයෙන් පරිසරය ආරක්ෂා කිරීම, මානව සම්පත් සුරක්ෂිත කිරීම සහ අගය එකතු කිරීම කියන කාරණා සාකච්ඡා කෙරෙනවා.
මෙතැනදි වඩාත් වැදගත් වන්නේ වැවිලි කළමනාකරණයේ තිරසාර බව කුමක්ද යන්න සොයා බැලීමයි. ඒ නිසා මේ ප්‍රශ්නය ඉතාමත් සූක්ෂම සහ විස්තරාත්මකව අධ්‍යයනය කිරීමට අවශ්‍යයි. තිරසාර කියන වචනය යෙදීම අද විලාසිතාවක් වෙලා. එවැනි තත්ත්වයක් තුළ වැවිලි කළමනාකරණයේදී අපි නිවැරදිව මේ සංකල්පය භාවිතා කළ යුතුයි. මම හිතන්නේ අපි එහෙම කරනවා. ඒ වුණත් අපි ඊට වඩා එය දියුණු කළ යුතු වෙනවා.
Òවැවිලි කළමනාකරණයÓ මේ වචනයෙන්ම අදහස් කරනවා. ආචාරශීලී හැසිරීමක් ඔස්සේ නිෂ්පාදනය හෝ වැවිලිකරණ වත්කම් ඉහළ නැංවීම කළ යුතුයි. වත්කම්වල ඵලදායී භාවිතය තුළින් ප්‍රතිලාභ ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීම සිදුවනවා. මෙහිදී වඩාත් වැදගත් වචනය තමයි ආචාරශීලී කියන වචනය. මොකද අපි දැකලා තියෙනවා වැවිලි අංශය තුළ ලාභ ලැබීමේ පරමාර්ථයෙන් සිදු කෙරෙන ශ්‍රම සූරාකෑම, වංචාකාරී ලෙස ලාභ ලබාගැනීම කියන දේවල්. රොෂාන් රාජදොරේගේ ඉදිරිපත් කිරීම ඉතා වැදගත්. මම සම්පූර්ණයෙන්ම ඒකට එකඟ වෙනවා. ඒ වුණත් රොෂාන් එතැනදී යම්කිසි අවධානයක් තිබිය යුතු වෙනවා. ඉහළම පෙළේ සිටින ආයතන 4 හෝ 5 ඔවුන්ගේ RPC අගයන් ඉහළ දමමින් ඉන්නවා. මෙතැනදී සාමාන්‍ය අගය 7 ක් වගේ. ඒ වුණත් පහළ මට්ටමේ ඉන්න ආයතන 5 ක් හෝ 6 ක් මේ අගයයන් පහත දමමින් ඉන්නේ. මේ නිසා මේ ඉදිරිපත් කිරීම දිහා බැලුවහම අපට ඉතාමත් සතුටුදායක අදහසක් ඇතිවුණත් මං හිතන්නේ පහළ ස්ථරය නඟාසිටුවන්නට නම් අපි ආණ්ඩුවක් විදිහට නෛතික, උපදේශන සහ සාකච්ඡා ඔස්සේ ගැළපෙන ක්‍රියාමාර්ග, ආදර්ශ හඳුන්වාදිය යුතුයි. මොකද ඔබ ඉදිරිපත් කරලා තියෙන තොරතුරු පහළම ස්ථරය සමඟ ගැළපෙන්නේ නැහැ වගේම මේ ස්ථරයන් තමයි සාමාන්‍ය RPC අගයයන් පහත හෙළන්නේ. මේ නිසා පහළ ස්ථරයට හැකියාව තියෙන්න ඕන ඉහළ ස්ථර දිහා බලලා තේරුම්ගෙන ඉදිරියට යන්න. මොකද පහළ ස්ථරයට ඉඩක් දෙන්න බැහැ සමස්ත අංශයේම ක්‍රියාකාරීත්වය පහළ හෙළන්න. මේ නිසා මෙම ගැටලුව විසඳීම උදෙසා ආණ්ඩුවක් විදිහට අපි ක්‍රියාමාර්ග ගන්නවා. ඒක සිද්ධවෙන්නේ හුදෙක් අහඹුවක් විදිහට නෙවෙයි. කලින් මම සඳහන් කරපු ආකාරයේ ක්‍රියාවලියකින් හෝ සමස්ත පද්ධතියටම හඳුන්වා දෙන තුලන සහ සංවරණ පද්ධතියකින්. අපි හඳුන්වා දෙනවා යහපාලනය, පැවතුම සහ සහයෝගීත්ව වගකීම කියන කාරණාවන්.
එක අතකින් අපි රුපියලක් හම්බ කරනකොට ශත 90 ක් ණය ගෙවන්න සිද්ධවෙලා තියනවා. එතකොට ශත දහයයි ඉතිරි නිදහස් අධ්‍යාපනය, සහනාධාර, සෞඛ්‍යය, සමෘද්ධිය සහ පොහොර සහනාධාරය කියන දේවල් ලබා දෙන්නේ. මේ තත්ත්වය දිගටම තිබුණොත් ඔය ශත 10, ශත 5 ක් බවට පත්වෙනවා. මේක තමයි යථාර්ථය. දේශපාලනඥයෙක් විදිහට මම හුඟක් දුකෙන් කනගාටුවෙන් ඉන්නේ. මොකද මම එජාපයේ හිටියත්, පොදුජන පෙරමුණේ හිටියත්, ජනතා විමුක්ති පෙරමුණේ හිටියත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියත් මේක තමයි යථාර්ථය. යථාර්ථයෙන් මිදිලා සිහින ලෝකයකට යන්න පුළුවන්. විශේෂයෙන්ම මැතිවරණ කාලයට. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා හෙට රට භාරගත්තත් මේකයි තත්ත්වය. මැජික්කාරයෙක් වගේ එතුමට පුළුවන්ද සල්ලි මවන්න. ඉතින් මේකට අලුත් සමීකරණයක් නෑ. ආදායම වැඩි කරන්න ඕනෑ. වියදම අඩු කරන්න ඕනෑ. කළමනාකරණය දියුණු කරන්න ඕනෑ. දූෂණය, නාස්තිය අඩු කරන්න ඕනෑ. අවශ්‍ය තීරණ ගන්න ඕනෑ.
මේ නිසයි මම කැමති මේ අංශය භාර ඇමැතිවරයා විදිහට කටයුතු කරන්න. මේ අංශයට නවෝත්පාදන අවශ්‍යයි. මම හැම වෙලාවේම රාජදොරේ මහත්මයාට කියනවා අපිට මේ සඳහා පෞද්ගලික අංශයේ නවෝත්පාදන අවශ්‍යයි කියලා. 1990 මේවා පෞද්ගලීකරණය කළාට පසුව එවැනි දේ පැවතුණා. ඇත්ත වශයෙන්ම RPC අගයයන් විශාල ප්‍රශ්නයකට මුහුණපෑවා. දැන් අපට අවශ්‍යයි ප්‍රාග්ධනය සඳහා යාන්ත්‍රණයක්. ඒ වගේම ක්‍රියාකාරී පුද්ගලයන් ඉදිරිපත් කිරීමට අවශ්‍ය සානුබල පැවතිය යුතුයි. මහාචාර්ය කරුණාරත්න කියන දේට මම සීයට දෙසීයක් එකඟයි. මොකද ලංකාවේ සංස්කෘතිය තුළ හෝ සමාජය තුළ ව්‍යවසායකත්වයක් නැහැ. මේක හරිම කනගාටුදායක තත්ත්වයක්. අපි පාසල් තුළ ව්‍යවසායකත්වය දිරිගන්වනවාද? නැහැ. ලංකාවේ හොඳ ව්‍යාපාර පාසල් තියෙනවද. සමහර විට කීපයක් තියෙන්න පුළුවන්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිය සහ උපාධි ප්‍රදානය කරන ඇතැම් පෞද්ගලික ආයතන තිබෙනවා. ඒ වුණත් නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය මගේ රටේ දකින්නට නැහැ. අපි කොහොමද මේක වෙනස් කරන්නේ. අපිට මුලින්ම අපේ අධ්‍යාපන ආකෘතිය දිහා බලන්න වෙනවා. මේ කටපාඩම් කරලා විභාග පාස්වෙන ක්‍රමයෙන් මිදෙන්න වෙනවා.
මට අද හුඟක් සතුටුයි. අපිට හුඟක් අභියෝග තියෙනවා. අතිතයෙත් එහෙමයි. මේ අවුරුදු පහ ඇතුළෙදීත් ඒවාට මුහුණ දුන්නේ නැත්නම් රටක් විදිහට හරි අමාරු ඉදිරියට යන්න. අපි ඒවාට කඩිනම් තීරණ ගන්න ඕනෑ. එහෙම නැත්නම් අපිටත් දොර තමයි පෙන්වන්නේ. දැනටත් ටිකක් පෙන්නලා තියෙන්නේ. ඊළඟ පාර කියයි යන්න කියලා. ඊට පස්සේ තව කණ්ඩායමක් එයි. ඒගොල්ලන්ටත් මේ ප්‍රශ්න නම් තියෙයි.
ඉතින් රාජපක්ෂ මහත්තයාත් හිතුවා ව්‍යවස්ථාවත් වෙනස් කරලා තුන්වැනි පාරටත් එන්න. එයාටත් මිනිස්සු දොර තමයි පෙන්නුවේ. අපි ඒක අමතක කරන්න හොඳ නෑ. ඇත්තටම ලංකාවේ ඒ ක්‍රමය හොඳයි. අපිට මූල්‍ය සාක්ෂරතාවය නැති වුණත් ප්‍රජාතන්ත්‍රවාදී සාක්ෂරතාවය තියෙනවා. මිනිස්සු දන්නවා කෙනෙක්ව එළවන්නෙ කොහොමද කියලා. සමහරවිට තායිලන්තයේ එහෙම නැතුව ඇති. හමුදාවයි ඒ රටේ එහෙම දේවල් කරන්නේ. ලංකාවේ සෑම වසර පහකට හෝ හයකට වරක් නායකයෝ එනවා යනවා. හැබැයි මිනිස්සුන්ගේ ජීවිත එහෙමමයි. ඒවායේ වෙනසක් නැහැ.
විශේෂයෙන්ම මම කැමතියි ස්තූති කරන්න තරුණ සභාපති ප්‍රසාද් ධර්මසේනට සහ මේ අවස්ථාවට සහභාගි වුණු හැමදෙනාටම. ඒ වගේම මහාචාර්ය හයුන් චායි මැතිතුමාටත්, මහාචාර්ය කරුණාරත්න මැතිතුමාටත් මම ස්තූතිවන්ත වෙනවා. ඇත්තටම කොයි තරම් වටින බුද්ධිමතුන් ලංකාවේ සිටිනවද? ඒ හැමදෙනාම ලංකාව අතෑරලා යනවා. ඔව්. ඔවුන් අනෙකුත් අයගේ දායකත්වය ලබාදීම සඳහා ක්‍රියා කරනවා තමයි. ලංකාවේ බුද්ධි ගලනය ඉතාමත් ඉහළයි. නමුත් ඔවුන් ලංකාවේ හිටියා නම් මීට වඩා දායකත්වයක් ලබා දෙන්න තිබුණා. ලංකාවේ තියෙන ඇතැම් පර්යේෂණ ආයතන, රබර් පර්යේෂණ ආයතනය, තේ පර්යේෂණ ආයතනය, පොල් පර්යේෂණ ආයතනය සහ සීනි පර්යේෂණ ආයතනය වැනි ආයතනවල ආචාර්යවරුන්ට ගෙවන්නේ ඉතාමත් සුළු වැටුප්. සමහර විට ඩොලර් 500 - 600 වගේ. එච්චරයි. රුපියල් 50,000 - 60,000 වැඩිම වුණොත් රුපියල් 80,000 ක්. ඒ ගාන අද මොකක්ද? ඔවුන්ට මීට වඩා උපයන්න පුළුවන් වෙන ඕනෑම රටකදී. ඒ වුණත් ලංකාවේ හිටියොත් ඔවුන්ට පුළුවන් තමන්ගේ සම්පූර්ණ දායකත්වයම ලබා දෙන්න.
ඒ නිසා බාධක මධ්‍යයේ වුණත් අපේ ආයතනය තුළ සේවය කරන ආචාර්යවරුන්ට මම ස්තූතිවන්ත වෙනවා. ඒ බාධක ගැටලු ගැන මම කනගාටු වෙනවා. අපි දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% ක්වත් පර්යේෂණ සඳහා වැය කරන්නේ නෑ. 0.25% වගේ ප්‍රමාණයක් තමයි වැය කරන්නේ. ඒ වගේ පර්යේෂණවලට, මිනිසුන්ට, නව තාක්ෂණික ක්‍රමවලට ආයෝජනය නොකර කොහොමද රටක් දියුණු වෙන්නේ. මේ තත්ත්වය හරිම කනගාටුදායකයි. ඒ වුණත් ඉන් මිදෙන්න අපි ක්‍රියා කළ යුතුයි. එවැනි තත්ත්වයක් තුළ තරුණ නායකත්වය, ව්‍යවසායකත්වය සහ නව වැවිලිකරුවන් මේවා තමයි ලංකාවේ බලාපොරොත්තුව.
0 Comments