උඹ දන්නවනේ මගේ අයියාගේ හැටි දෙන ඒවා ඒවිදිහට කරලා මේක ඉවර කරපං
උඹ දන්නවනෙ මගේ අයියගේ හැටි. දෙන ඒව ඒ විදිහට කරල මේක ඉවරයක් කරපන් කියල තුන්වන විත්තිකරු හරේන් (පළමු විත්තිකරුගේ බිරියගේ සොහොයුරා) තමාට පැවසූ බව රුපියල් මිලියන හැට හතරක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් බලෙන් ලබාගත් බවට ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ හා ව්‍යාපාරිකයකුට එරෙහි නඩුවේ වැඩිදුරටත් සාක්කි දෙමින් ජෙරාඩ් මෙන්ඩිස් මහතා කොළඹ මහාධිකරණයේදී ඊයේ (15) පැවසීය.
තවද පළමු විත්තිකරු ප්‍රසන්න රණතුංග “මේ ගනුදෙනුව ඉවරයි” මේක ඉවරයක් කරල යන්න. “නැත්නම් මගේ හැටි දන්නවනේ” යනුවෙන් පැවසූ බවද සාක්කි දෙමින් කියා සිටි ව්‍යාපාරිකයකු වූ ජෙරාඩ් මෙන්ඩිස් මහතා ඒ නිසා පළමු විත්තිකරුගේ නිල නිවසේදී අකමැත්තෙන් තමා චෙක්පත් 11ම අත්සන් කර ලබාදුන් බව ද කීය.
කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් විකිණීමේදී ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක් බලෙන් ලබා ගැනීම ඇතුළු අධි චෝදනා 15ක් මත නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ සාක්කි දෙමින් සිලිකන් ටෙක්නොලජි නමැති සමාගමේ හිමිකරු ජෙරාඩ් මෙන්ඩිස් මහතා එසේ පැවසීය.
කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා හමුවේ මෙම නඩුව විභාගයට ගැනේ.
ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරීන් ස්ටෙලා රණතුංග ඊයේ (15) අධිකරණය හමුවේ පෙනී සිටි අතර තුන්වන විත්තිකරු වූ හරේන් නමැත්තා නොමැතිව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 241 වගන්තිය යටතේ මෙම නඩුව විභාගයට ගැනේ.
නඩුවේ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගේ සාක්කි මෙහෙයවීම මත වැඩිදුරටත් සාක්කි දුන් ජෙරාඩ් මෙන්ඩිස් මහතා මෙසේ ද පැවසීය.
පසුගිය දින නඩුවේ සාක්කි දෙනවිට ලේඛන කිහිපයක් මා හඳුනා ගත්තා. (සාක්කිකරු හට ඔප්පුවක් පෙන්වා සිටියි.) මෙම ඔප්පුව මම මේ ඉඩම මිලට ගැනීමේ දී ලියූ ඔප්පුවයි. එය මිලියන 21ක් ගෙවා මා මිලට ගත්තෙ. මීට පෙර මා මිලියන 9ක් අනවසර පැදිංචිකරුවන් ඉවත් කරන්න හා මිලියන 10ක් අජිත් පැස්කුවල්ට දුන්නා ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා.
2013/09/20 මෙම ඉඩම මා මිලටගත් අතර ඉඩමේ අනවසර පදිංචිකරුවන් ඉවත් කළේ ඉන් පසුවයි. ඉවත් කළ පවුල්වලට රුපියල් විසිපන්දහස බැගින් ගෙවන්න මා පැස්කුවල්ට මුදල් දුන්නා. ඒ ඉඩම මිලට ගෙන මසකට පමණ පසුවයි. ඉඩමේ සම්පූර්ණ වටිනාකම මිලියන හතළිස් තුනක් පමණ වුවත් ඔප්පු ලිවීමේදී සඳහන් කළේ මිලියන 21ක් ලෙසටයි.
වංචාකාරී ලෙස දුන් තක්සේරු වාර්තාව නිසා සම්පූර්ණ මුදල දුන්නෙ නැහැ. රජයෙන් ඉඩම තක්සේරු කළේ පර්චසය රුපියල් 50,000ටයි. ඉතිරි මුදල මිලියන 13ක් මම ඔහුට ගෙව්වෙ නැහැ. ඒකට තව හේතු තිබුණා. අවබෝධතා ගිවිසුම අනුව අජිත් පැස්කුවල් මට වත්ත විකුණුවට පසු ඔහුත් මේ වත්තේ කොටස්කරුවකු ලෙසට ගිවිසුමේ නම් කරගෙන තිබුණා.
2015/ අප්‍රියෙල්/ 07 මා මේ ඉඩම විකුණුවා. ටෝකියෝ සිමෙන්ති සමාගමටයි ඉඩම විකුණුවේ. මේ ඉඩම විකුණූ අවස්ථාවේ තුන්වන විත්තිකරු වන හරේන් ද හිටියා. විකුණුම්කරය ලියනවිට හරේන් එතැනට ආවේ ගුණරත්න කියන බ්‍රෝකර් මේ ඉඩම විකුණන්න සම්බන්ධ කළේ. පළමු විත්තිකරු ගුණරත්නව හොඳින් දැන සිටිය නිසයි.
මේ ඔප්පු අත්සන් කරනවිට මා බැංකු ණය අරන් තිබූ මූල්‍ය ආයතන දෙකේ නිලධාරීහු ආවා. මේ ඔප්පුව ලියන්න මාස තුනකට වගේ පෙර ටෝකියෝ සිමෙන්ති සමාගම මට රුපියල් මිලියන පහක මුදලක් ලබා දුන්නා.
2014/01/14 ඉඩම සම්බන්ධව අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. බහාලුම් පර්යන්තයක් හදන්න කියා එවූ ලිපියෙන් පසුවයි මෙම ගිවිසුම අත්සන් කළේ.
මේ වත්ත කුලී පදනමට දෙන්න මා තීරණය කළේ වැරැදි තක්සේරු වාර්තාව නිසයි. අනවසර පවුල් ඉවත් කරල වත්ත සුද්ද කරන්න වත්තට යනවිට අඩි 22ක් විතර මඩ ගොහුරක්. බහාලුව පර්යන්තයක් හදල පළාත් සභාවට කුලියට දෙන්න යෝජනාව ගෙනආවේ හෙරේෂ් ෆාරිස් යන තුන්වන විත්තිකරුයි.
මම වත්ත ගත්තේ 2013/09/20 දිනයි. මේ වත්ත ආණ්ඩුවට කුලියට දෙන සාකච්ඡාවලට ගොඩක් සහභාගි වූයේ හරේෂ් ෆාරිස්, වගේ සාමාන්‍යාධිකාරි හා පැස්කුවල් යන අයයි. ඒ සම්බන්ධව පළමු විත්තිකරුත් දැනුවත්ව සිටියා. හරේෂ් තමයි අවබෝධතා ගිවිසුම ගැන සඳහනක් ගෙන ආවේ. මසකට මිලියන 2.4ක් විතර ගන්න කුලියට දෙන්න තමයි ඉඩම සැකසුවේ.
කුලියට දීමෙන් ලැබෙන ආදායම බෙදෙන ක්‍රමය ගැනත් සාකච්ඡා කර එකඟත්වයකට ආවා. මේ ගණනය කිරීම සම්පූර්ණයෙන් මෙහෙයුවේ හරේෂ් විසිනුයි. ඒ වන තෙක් වත්තෙ සියලු වියදම් දැරුවෙ මට අයත් “සිලිකන් ටෙක්නොලජි” ආයතනය නමිනි.
මේ අවබෝධතා ගිවිසුම නිර්මාණය කළේ හරේන් හා පළමු විත්තිකරු වන ප්‍රසන්න රණතුංග යන අයයි. සම්පූර්ණ අයිතිය මා සතු කම්පැණියට හා එහි 59% කොටසක් ද, ඉතිරිය කොටස් ලෙස හරේෂ් ෆාරිෂ් හෝ බිරිඳටත් හා අජිත් පැස්කුවල්ටත් දෙවන විත්තිකාරිය වන මොරීන් ස්ටෙලා රණතුංගටත් ලියුවා.
මේ අවබෝධතා ගිවිසුම අත්සන් කරනවිට විමල් ප්‍රනාන්දු හා අජිත් පැස්කුවල් සිටියා. මා අත්සන් කළ අවබෝධතා ගිවිසුමේ සියලුම අත්සන් යොදා සම්පූර්ණ කළ පිටපතක් ද මට ලැබුණි. මේ ලියනලද අවබෝධතා ගිවිසුම මා දන්නා තරමින් ලියාපදිංචි කර නැහැ.
අවබෝධතා ගිවිසුම අනුව සඳහන් වෙනව එකිනෙකාගේ වැඩ කොටස. ඒ වැඩ කොටස අනුව කිසිදු දෙයක් සිදු වුණේ නැහැ.
වත්ත සකසල පර්යන්තයක් හදාගන්න පළමු ලිපිය එවනවිට කිසිදු පාර්ශ්වයක් සිතුවෙ නැහැ මෙහි අඩි 22ක් වතුර තිබෙන බව. අපි හිතුවෙ ශාක සහ මෘදු පස් සහිත ඉඩමක් ලෙසයි. අනවසර පදිංචිකරුවන් ඉවත්වනතුරු වත්තට යන්න බැරිවුණා. වත්තෙ කෙසෙල් පවා සිටුවා තිබුණා. කොහොමවත් හිතන්න බැරි වුණා දැනගන්න මඩ වගුරු සහිත බිමක් බව.
මේ ඉඩම මා පස් යොදා සම්පූර්ණයෙන් පිරෙව්වා. කොන්ත්‍රාත්කරුවන් කිහිපදෙනෙක් ලවා පස් පිරෙව්වා. සම්පූර්ණ වත්ත පුරවලත් මේ ඉඩම විකුණන්න මම සිතුවෙ ඉඩම පාවිච්චි කරන්න වූ අවසරය ලැබුණෙ නැහැ. එය ලැබුණෙ ඉඩම විකුණුවටත් පසුවයි.
ජෙහාන් සොයිසා හා අජිත් පැස්කුවල් සාකච්ඡා කර මුලින්ම පවුල් 23 ඉවත් කළේ ඉඩමට නීත්‍යානුකූල පාරක් නැති නිසයි. ජෙහාන් සොයිසා හා තුන්වන විත්තිකරු ඥාතීන්. ඉඩමෙන් පවුල් 23 ඉවත් කරන්න ක්‍රම තුනක් තිබෙනව. එකක් නීත්‍යානුකූලව නඩුදාල ඉවත් කරන එක. දෙවන එක බලහත්කාරයෙන් ඉවත් කරන එක හා තුන්වනුව වත්තක් අරන් ඔවුන් වෙනම පදිංචි කරන එක කියල ජෙහාන් සොයිසාම පැවසුව වත්තක් අරන් ඔවුන් වෙනම පදිංචි කරන්න ජෙහාන් සොයිසා කියන්නේ දුමින්ද සිල්වගේ බාල සොහොයුරියගේ ස්වාමියායි.
පළමු විත්තිකරුත් මට උපකාර කළා අනවසර පදිංචිකරුවන් ඉවත් කරන්න. දෙවන උදව්ව තමයි ඉඩම පිරවීමේ අයිතිය ගන්න උපකාර කළ එක. මේ ඉඩම මිලට ගෙන පාර සුද්ද කළවිට පළමු විත්තිකරුත් ඉඩමට පැමිණියා. ඔහු එහි සිටි අනවසර පදිංචිකරුවන් එක්ක ද කතා කළා.
විනිසුරු - තමා කාගේවත් කීමක් මතද ඔය ඉඩම ගත්තෙ.
සාක්කිකරු - අජිත් පැස්කුවල්ගේ ළමයාට උපකාර කරන්න හිතලයි ඉඩම ගත්තෙ.
විනිසුරු - මේ වගේ මිලියන ගාණක ඉඩමක් ගන්න කලින් මෙය මඩ වගුරක් ද නැද්ද? කියල හොයල බැලුවෙ නැද්ද? ප්‍රායෝගිකව ඉඩමට ගියෙ නැද්ද?
සාක්කිකරු - කිහිප වතාවක් ගියා. සම්පූර්ණ ගහකොළ වැවිල, කෙසෙල් ගස් වවල තිබුණ.
විනිසුරුතුමා - ඉඩමට යන්න පාරක්වත් නැති ඉඩමක් ද තමා ගත්තෙ.
සාක්කිකරු - එය තමයි ස්වාමිනී මම කළ ලොකුම වරද. අජිත් පැස්කුවල්ට උපකාර කිරීමේ අරමුණෙන්මයි මේ දේ කළේ.
ඉඩම ගන්න කලින් අජිත් පැස්කුවල්ට මම මිලියන 19ක් දීල තිබුණා. ඔහු කිව්ව ඉඩම විකුණූ පසු එහි බ්‍රෝකර් ගාස්තුවෙන් ගෙවන්නම් කියල. ගැනුම්කරුවන් කිහිපදෙනෙක් පැමිණ මඩ වගුර දැකල දමල ගියා.
පළමු විත්තිකරුගේ නිල නිවසේදී චෙක්පත් 11 ඔහුට භාර දුන්නා. (එම චෙක්පත් 05ක් සාක්කිකරු විසින් අධිකරණයේදී හඳුනා ගන්නා ලදී.) ඉතිරි චෙක්පත් 06යේ මුල් පිටපත් මම දුන්නේ පළමු විත්තිකරුටයි. ඒවායේ ඡායා පිටපත් මට හඳුනාගත හැකියි.
ඉදිරි දින දාල ලියපු චෙක්පත් තිබුණ නිසා තුන්වන විත්තිකරුගෙන් එම චෙක්පත්වල ඡායා පිටපත් පළමු විත්තිකරු ඉදිරියේම ඉල්ලා ලබාගත්තා. (සාක්කිකරු එම චෙක්පත්වල ඡායා පිටපත් හඳුනා ගන්නා ලදී.)
විනිසුරුතුමා - තමා චෙක්පත් කීයක් දුන්න ද?
සාක්කිකරු - 11ක් ස්වාමිනි.
විනිසුරුතුමා - මේ චෙක්පත් 11 අතර ලියූ මිලියන පහේ චෙක් පහක් තිබුණ ද?
සාක්කිකරු - ඔව්. ඒකට මුදල් බැංකුවට කතා කරල ලැබෙන්න සැලැස්සුව. මන්ද මට චෙක්පොත අරන් එන්න කිව්වෙ බ්‍රෝකර් ගාස්තු ගෙවන්න. ඒ දේ මම කළා.
විනිසුරුතුමා - ඉතිරි චෙක් 10ක් හෝ 11 තම කැමැත්තෙන් නෙවෙයිද ලියුවෙ.
සාක්කිකරු - ස්වාමිනි චෙක් 11 ම මම ලියුවෙ අකමැත්තෙන්.
විනිසුරුතුමා - තමන් කියන ලෙස හේතුවක් නැතුව තර්ජනය කළ නිසා ගෙවන්න වුණ නිසා ඇයි ඒ චෙක් ස්ටොප් පේමන්ට් කරන්න උපදෙස් නොදුන්නෙ.
සාක්කිකරු - එහෙම කළොත් ස්වාමිනි වෙන දේ මම දැන සිටියා.
මේ චෙක්පත් ලියූ 2015/04/10 සිකුරාදා දිනයක්. හරේන් ෆාරීෂ් රට යනව කියා මිලියන තුනක් ඉල්ලුව. ඒක චෙක්වලින් හා මුදලින් ඔහුට දුන්න. අනිත් චෙක්පත් ගෙවන ඉදිරි දින දාල තිබුණෙ නැහැ වගේ මතක. ඒ නිසයි ගෙවීම් නවත්වන්න මා උනන්දු නොවුණෙ.
චෙක්පත් 11 ම මම භාර දුන්නේ තුන්වන විත්තිකරුටයි. පළමු විත්තිකරු දෙවන විත්තිකරු හා තුන්වන විත්තිකරු එකතුව මේ දේ කළ නිසා තුන්වන විත්තිකරුට චෙක්පත් දෙන්න කියල විශේෂයෙන් කවුරුත් පැවසුවෙ නැහැ.
තුන්වන විත්තිකරු “උඹ දන්නවනේ මගේ අයියගේ හැටි දෙන ඒව ඒ විදිහට කරල මේව ඉවරයක් කරපන්” කියල තුන්වන විත්තිකරු මේ චෙක් ලබා දෙන්න දින තුනකට පෙර මගේ නිවසට ඇවිත් පැවසුවා.
2015/04/10 දින පළමු විත්තිකරු ගනුදෙනුව ඉවරයි මේක ඉවරයක් කරල යන්න. නැත්නම් මගෙ හැටි දන්නවනෙ කියල පැවසුවා. මම බැලුවෙ සල්ලි ගැන නෙවෙයි මගේ ජීවිතය ගැනයි.
සාක්කිකරු ආවේගයකින් සාක්කි කූඩුවේ සිට සාක්කි ලබාදෙන බව නිරීක්ෂණය කළ විනිසුරුවරයා, සාක්කිකරු අමතා,
“තමාට මෙතැනදී දුකක් ඇති වන බව පෙනෙනවා. නමුත් මේ නඩුව අහන්න ඕනි. ආවේග නොවී අසන ප්‍රශ්නවලට පමණක් පිළිතුරු දෙන්නැයි අවවාද කළේය.
ඉන් අනතුරුව විනිසුරුවරයාගෙන් සමාව අයැද සිටි සාක්කිකරු මදක් නිහඬව සිට හඬමින් ඔහුගේ ලේන්සුවෙන් කඳුළු පිසදමන අයුරු නිරීක්ෂණය විය.
නඩු විභාගය ඊයේ (15) දිනට නතර කළ විනිසුරුවරයා වැඩිදුර විභාගය මෙම මස 29 වැනිදාට කල් තබන ලදී.
විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සමඟ නීතිඥවරු මඬුල්ලක් පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශවේන්ද්‍ර වික්‍රම මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.
0 Comments