Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමැති ෆොන්සේකාගේත් හිටපු ඇමැති මර්වින්ගෙත් ප්‍රකාශ අනුව විමර්ශන ඉදිරියට

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධව ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගෙන් සහ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගෙන් ලබාගෙන තිබෙන ප්‍රකාශ සටහන් ඔස්සේ විමර්ශන කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බව ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතන නඩුව ඊයේ (15) යළි කැඳ වූ අවස්ථාවේ දී රහස් පොලිසිය ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතාට දන්වා සිටියේ ය.

තවදුරටත් රහස් පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ, උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාලගෙන් ප්‍රකාශ ලබා ගන්නා විට ඔහු විසින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා තමාට ක්ෂේත්‍ර සටහන් පොත අස්ථාන ගත කිරීමට සහ බල අපරාධ පොතේ පිටු ගැලවීමට අනුබල ලබා දුන් බවට කරුණු හෙළි කළ බවයි.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාරගෙන් 2018/03/08 දින ප්‍රකාශ ලබා ගැනීමට ගිය මුත් එදින ඔහු අසනීප තත්ත්වයෙන් සිටි නිසා ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වූ බව ද රහස් පොලිසිය ප්‍රකාශ කර සිටියේ ය.

රහස් පොලිසිය තවදුරටත් ප්‍රකාශ කර සිටියේ 2009/03/03 2009/04/06 ,2009/04/29 යන දිනයන්හි ප්‍රගති සමාලෝචන රැස්වීම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර පවත්වා ඇති මුත් ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය පිළිබඳ විමර්ශන කටයුතු පවත්වන ලෙසට කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බව උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල ප්‍රකාශ ලබා දීමේ දී හෙළි කළ බවයි.

එමෙන්ම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළව අත්තිඩිය ප්‍රදේශයෙන් සොයාගත් යතුරුපැදි පිළිබඳ විමර්ශන කටයුතු කරගෙන යන අවස්ථාවේදී පෙර කරන ලද පරීක්ෂණ තුළින් පල්සර් වර්ගයේ යතුරුපැදි භාවිත කර ඝාතනයට පැමිණ ඇති බවට කරුණු හෙළි වුව ද ඝාතනය සිදු කිරීමට රන මෝටර් වර්ගයේ යතුරු පැදියක් සහ TVS යතුරු පැදියක් පැමිණ ඇතිබව ද එම යතුරු පැදිවල සටහන්ව තිබූ අංක තහඩු ව්‍යාජ ඒවා බවට ද කරුණු හෙළි වී ඇති බව රහස් පොලිසිය ප්‍රකාශ කර සිටියේ ය.

තවද යුද්ධ හමුදාවේ 112 බල සේනාවේ මෝටර් බයිසිකල් සංචිතය පිළිබඳ විමර්ශන කටයුතු පවත්වන බවත් දැනට නිලධාරීන් 7 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් ලබාගෙන ඇති බවත් ද රහස් පොලිසිය ප්‍රකාශ කර සිටියේ ය.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට සැකපිට මීට පෙර අත්අඩංගුවට ගත් ජේසුදාසන් ස්වාභාවික හේතුන් මත මිය ගිය බවත්, ඝාතනයට පැමිණි යතුරු පැදියේ අයිතිකරුවන් දෙදෙනා ද ඝාතනය කළ බැවින් උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාලගේ සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාරගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට රහස් පොලිසිය ප්‍රකාශ කර සිටියේ ය.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාරගේ පෙර වැරදි පිළිබඳ විමර්ශන පැවැත්වීමේ දී උප පොලිස් පරීක්ෂකවරයකුව සිටි අවධියේ මනුෂ්‍යය ඝාතනයකට ප්‍රසන්න නානායක්කාර සම්බන්ධ වී තිබෙන තොරතුරු අනාවරණය වී ඇති බව ද රහස් පොලිසිය ප්‍රකාශ කර සිටියේ ය.

එම අවස්ථාවේ දී ප්‍රසන්න නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි ජනපති නීතිඥ අනුර මැද්දෙගොඩ ප්‍රකාශ කර සිටියේ ප්‍රසන්න නානායක්කාර උප පොලිස් පරීක්ෂකවරයකු වී සිටිය දී මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධව චෝදනා ලැබ සිටියා නම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වැනි තනතුරක් ඔහුට ලබාගත නො හැකි බවයි.

තවදුරටත් ජනපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා ‍රහස් පොලිසියට ප්‍රකාශ කර සිටියේ, ප්‍රසන්න නානායක්කාර අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඔහු පිළිබඳ පවත්වාගෙන යන විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසයි. විමර්ශන කටයුතු කඩිනම්ව සිදුකරන ලෙසට මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළ සිටි අතර එළැඹෙන 29 යළි නඩුව කැඳවීමට නියම කළේ ය.

රිද්මි අමෝදා

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();