තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනතාව වෙත තොරතුරු ලබාදීමේ ක්‍රියාවලිය සක්‍රීයව සිදු කළ අමාත්‍යාංශ අතර ප්රමුඛ ස්ථානය අධ්‍යාපන අමාත්‍යාංශයට හිමිව තිබේ.
ජනතාව සමඟ සම්බන්ධ අමාත්‍යාංශ 32ක් මූලික කරගනිමින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සිදු කළ සමීක්ෂණයක දී මේ බව අනාවරණය වී තිබේ.
සාපේක්ෂව ජනතාවගේ වැඩිම තොරතුරු ඉල්ලීම් ප්‍රමාණයක් ලද ප්රමුඛ අමාත්‍යාංශ අතර පිළිවෙළින් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවතී.
ඉන් ජනතාවගේ තොරතුරු ඉල්ලීම් සදහා පසුගිය වසරේ වේගවත් ලෙස ප්‍රතිචාර දක්වමින් තොරතුරු ලබා දීමේ සාමාන්‍ය අගය අතින් ද ප්‍රථම ස්ථානයට පත්වීමට ද අධ්‍යාපන අමාත්‍යාංශයට හැකි වී තිබෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව ලෝක බැංකුව සහ වරයිට් රිසර්ච් ආයතනය සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵලවලට අනුව තොරතුරු ලබාගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමේ සමස්ත ක්‍රියාවලියේ සාර්ථකම අමාත්‍යාංශ ත්‍රිත්වය අතරට ද අධ්‍යාපන අමාත්‍යාංශය ද ඇතුළත් ව තිබේ. එහි පළමු ස්ථානය සෞඛ්‍ය අමාත්‍යාංශයටත් දෙවන ස්ථානය ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයටත් හිමිව තිබේ.
ජනතාව වැඩි වශයෙන් තොරතුරු ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ගනුදෙනු කරන බැවින් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම තොරතුරු ලබා දීම සඳහා විශේෂ ඒකකයක් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාපිත කිරීමට පසුගිය වසරේ පියවර ගනු ලැබිණි.
මීට අමතරව අධ්‍යාපන ඇමැතිවරයාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය තොරතුරු ඉල්ලීම් සමාලෝචන කමිටුවක් පත්කිරීමට පසුගිය වසරේ අප්‍රේල් මස පියවර ගත් අතර, එම කමිටුවට අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරුන් පත්කිරීමට ද පියවර ගනු ලැබීය.
කමිටුව හරහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන අනුව මෙම කාර්යය සඳහා රාජකාරීමය වශයෙන් ප්‍රමුඛතාව ලබා දෙන ලෙස අධ්‍යාපන ඇමැතිවරයා උපදෙස් ලබා දී ඇති අතර සමාලෝචන කමිටුවේ කටයුතු පිළිබඳ සෑම මාසයකම තමාට වාර්තා කරන ලෙසත් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
0 Comments